Print this Article


සෑම ඉරියව්වක දී ම ඔබගේ භාවනා අරමුණ මතකයේ රඳවා ගන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 12 කොටස :

සෑම ඉරියව්වක දී ම ඔබගේ භාවනා අරමුණ මතකයේ රඳවා ගන්න

නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල බව නිසාම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත ර්ඪදඤටභතදඥඵඵ ඪද නතචඪද ඡ්දඨතඪඵඩ (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන අතර මේ එම ලිපි මාලාවේ දොළොස් වැන්නයි.

සම්ප්‍රදායානුකූල ඉරියව්

ආසියාවේ සම්ප්‍රදායට අනුව බිම වාඩිවීමේ දී ඔබගේ පිට කොන්ද ලිහිල්ව ඔසවා තැබීම (කෙලින් තැබීම) සඳහා පොඩි කොට්ටයක් අවශ්‍ය වේ. මසා නිමකළ විට අඟල් 3ක් පමණ ඝනකමින් යුක්ත, සාමාන්‍ය තද ගතියක් ඇති කොට්ටයක් තෝරා ගන්න. එරමිණියා ගොතාගෙන කොට්ටයේ ඉදිරි කෙළවරින් වාඩි වී හරස් කරගත් දෙපා පොළොව මත පතිත වන්නට ඉඩ හරින්න. පොළව මත බුමුතුරුණක් ඇත්නම් එය ඔබගේ දෙදණ හා වළලුකර පීඩනයෙන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් වෙයි. එසේ නැතහොත්, ඔබගේ දෙපා සහ පොළව අතරට තරමක් ඝනකමින් යුත් ඇතිරිල්ලක් අවශ්‍ය වනු ඇත. නැවූ ඇඳ ඇතිරිල්ලක් මේ සඳහා පාවිච්චි කළ හැකියි. කොට්ටයේ පසු කෙළවරට වී වාඩි නොවන්න. එය කලවාවල නහර තදවීම නිසා දෙපාවල වේදනාව ඇති කිරීමට ඉඩ තිබේ.

දෙපා නවා ගත හැකි ක්‍රම ගණනාවක් තිබේ. ඒවා වැදගත්කමේ පිළිවෙලින් ගත් කල:

අමෙරිකානු ශෛලිය

ඔබගේ වම් පාදය දකුණු දණහිස යටින් හා දකුණු පාදය වම් දණහිස යටින් තබා ගැනීම.

බුරුම ශෛලිය

දෙපා ඉදරියට දිගු කර, එකිනෙකට ආසන්න ව, සමගාමී ලෙස තබා ගැනීම.

අර්ධ පද්මාසනය

දෙදණ පොළවට වදින සේ එක පාදයක් අනෙක් පාදයේ බත් කෙණ්ඩට සමගාමීව තැබීම.

පූර්ණ පද්මාසනය

දණහිස් බිමට සිටින සේ, පාදයන් බත් කෙණ්ඩ මතින් එකිනෙක හරස්වී, වම්පාදයේ පිටිපතුල දකුණු කලවය මත හා දකුණු පිටිපතුල වම් කලවය මත තබා ගැනීම. යටිපතුල් උඩු අතට තිබිය යුතුයි.

සෑම ඉරියව්වක දී ම, ඔබගේ අත්ල උඩු අතට සිටින සේ එකක් මත එකක් තබා දෑත උකුල මත රැඳවිය යුතු ය. මේ ආකාරයෙන් දෑත් තබා ගැනීමෙන් උඩුකයට ශක්තිමත් බවක් ලබා දෙයි.

ඔබගේ බෙල්ලේ හෝ උරහිස්වල හෝ මස් පිඬු තද නොකරන්න. බාහු ලිහිල් ව තබා ගන්න. උඩුකය උපරිම ලෙස ප්‍රසාරණය වී ලිහිල් ව තබා ගන්න. උදරය පෙදෙසේ ආතතියක් ගොඩනැඟීමට ඉඩ නොහරින්න. නිකට කෙළින් තබා ගන්න. දෑස් වසා ගෙන හෝ විවෘත ව තබා ගත හැකියි. දෑස් විවෘත ව තබා ගන්නා විට නාසය අග හෝ තරමක් ඉදිරියෙන් කෙළින් තිබෙන ලක්ෂයක් මත දෑස් යොමු කරන්න. ඔබ කිසිවක් දෙස බලා සිටිනවා නෙවේ. දෑස් යොමු කළ යුත්තේ බලන්න තරම් දසුනක් නැති ස්ථානයක වීම වැදගත් ය. දැඩි ලෙස වෙහෙස නොවන්න. ඔබගේ සිරුර දරදඬු කර නොගත යුතුයි. ලිහිල් ව විවේකයෙන් හිඳීන්න. සිරුර නම්‍යශීලී ව හා ස්වභාවික ව ඍජුව තබා ගන්න.

ආසියාවේ සම්ප්‍රදායික ව භාවිත වන භාවනා ඉරියව් වන්නේ අර්ධ හා පූර්ණ පද්මාසනයයි. වඩාත් යෝග්‍ය ඉරියව්ව ලෙස සැලකෙන පූර්ණ පද්මාසනය, සියලුම ඉරියව් අතරින් වඩාත් ශක්තිමත් ආසනය ද වෙයි. මෙම ආසනයේ වාඩි වූ විට දිගු වේලාවකට නොසෙල්වී සිටීමට ඔබට හැකි වෙයි. විශාල වශයෙන් සිරුරේ නම්‍යශීලී බවක් අවශ්‍ය කරන බැවින් සෑම පුද්ගලයකුට ම මෙම ආකාරයට වාඩි වීමට නුපුළුවන් විය හැකි යි. එමෙන්ම, ආසනයක් තේරීමේ දී වඩාත් වැදගත් වන්නේ ඔබගේ පහසුව මිස අන් අය ඒ පිළිබඳ පවසන දේ නොවේ.

නොසෙල්වී, වේදනාවකින් තොරව ඔබට දිගු කාලයක් වාඩිවී සිටිය හැකි ඉරියව්වක් තෝරා ගන්න. ඉරියව් කිහිපයක් අත්හදා බලන්න. පුහුණුවත් සමඟ ඔබගේ නම්‍යශීලී බව වැඩි වන නිසා පසු කාලයක දී පද්මාසනය පුරුදු වීමට ඔබට ද ඉඩකඩ සැලසෙනු ඇත.

පුටුවක් භාවිත කිරීම

වේදනාව හෝ වෙනත් හේතුවක් නිසා බිම වාඩිවීමට අපහසු නම් එහි ගැටලුවක් නැත. ඒ වෙනුවට පුටුවක් පාවිච්චි කළ හැකියි. අත් ඇඳී නැති, පිටි ඇන්ද හා ආසනය කෙළින් ඇති පුටුවක් තෝරා ගන්න. පිටි ඇන්දට හේත්තු නොවී වාඩිවීම වඩා හොඳ ය. පුටුවේ වාඩිවන කොටස ඔබගේ කලවාවලට තද නොවී තිබීම පහසුවට හේතු වේ. දෙපා එකිනෙකට ළඟින්, පතුල් බිමට සිටින සේ තබා ගන්න. ඔබගේ දෑත් එකක් මත එකක් තබා උකුල මත රඳවා ගන්න. බෙල්ල හෝ උරහිස් තද නොකර බාහු ලිහිල් ව තබා ගන්න. දෑස් විවෘත ව හෝ වසා තබා ගත හැකියි.

ඉහත සඳහන් කළ සෑම ඉරියව්වක දී ම ඔබගේ භාවනා අරමුණ මතකයේ රඳවා ගන්න. නිඳා නොවැටී ඔබගේ සිරුර සම්පූර්ණයෙන් ම නිශ්චල ව තබා ගැනීම අවශ්‍යයි. මඩ වතුර පිළිබඳ උපමාව සිහිකර ගන්න. සිරුර මුළුමනින් ම නිශ්චල ව තබා ගනිමින් ඒ අනුව මනස නිශ්චල කර ගැනීම ඔබට උවමනා ය. ඔබ බලාපොරොත්තු වන ආකාරයේ පැහැදිලි මානසික තත්ත්වයක් ලබා දිය හැකි ශාරීරික අවදියක් පවත්වා ගත යුතුයි. සිරුර, ඔබ කැමැති මානසික තත්ත්වයක් වඩා ගැනීම සඳහා මෙවලමක් ලෙස ක්‍රියා කරයි. එය ඥානවන්ත ව භාවිත කරන්න.

මනස පිළිබඳ කළ යුතු දේ

මෙහිදී අප උගන්වන භාවනා ක්‍රමය විපස්සනා නමින් හැඳීන්වේ. කලින් සඳහන් කළ පරිදි භාවනාව සඳහා භාවිත කළ හැකි අරමුණු අසීමිත ය. කාලාන්තරයක් තිස්සේ ඒවායින් විශාල ප්‍රමාණයක් භාවනාව සඳහා පාවිච්චි කර ඇත. විපස්සනා සම්ප්‍රදාය වුව ද වෙනස් ක්‍රම පවතී. උදරය පිම්බීම හා හැකිලීම නිරීක්ෂණය කිරීම මඟින් හුස්ම අධ්‍යයනය කිරීමට උගන්වන ගුරුවරු ද සිටිති. තවත් සමහරු, වාඩි වී සිටින කොට්ටය, සිරුර හා ස්පර්ශ වන තැන නැතහොත් දෑත් එකිනෙකට ස්පර්ශ වන තැන හෝ දෙපා එකිනෙකට ගැටෙන තැන හෝ කෙරෙහි අවධානය යොමු කරන ලෙස උගන්වති.

අප මෙහි සඳහන් කරන ක්‍රමය ඉතාමත් සම්ප්‍රදායානුකූල එකක් ලෙස ගිණිය හැකියි. සමහරවිට මෙය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් තම අනුගාමිකයන්ට ඉගැන්වූ ක්‍රමය වීමට ද ඉඩ ඇත. උන්වහන්සේ දෙසූ සතිපට්ඨාන සූත්‍රයේ පවසන අන්දමට, මුලින්ම තමාගේ හුස්ම කෙරෙහි සිහිය පිහිටුවීමෙන් පටන් ගෙන, පසුව සිරුරේ හා මනසේ ඇතිවන අනෙක් සිදුවීම් වෙත අවධානය යොමු කරන ලෙස වදාරා ඇත.

වාඩි වී අප, නාසය තුළින් ඇතුළුවී පිටවී යන හුස්ම දෙස බලා සිටිමු. බැලූ බැල්මට මෙය කිසිම වැදගැම්මකට නැති ක්‍රියාවක් ලෙස ඔබට පෙනීමට පුළුවන. විස්තරාත්මක උපදෙස් කෙරෙහි යොමුවීමට පෙර, එසේ කිරීමට හේතුව කිමෙක්දැයි විමසා බලමු. කුමක් හෝ කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයි ද යන්න අපගේ හිත් තුළ පැන නඟින මුල්ම ප්‍රශ්නය විය හැක. කෙසේ වෙතත්, අප වැඩීමට බලාපොරොත්තු වන්නේ දැනීමයි. එසේ නම් වාඩි වී, සිත් තුළ සිදුවෙන සෑම දෙයක් ගැන ම සිහියෙන් නොසිටින්නේ ඇයි? ඇත්තෙන්ම එවැනි භාවනා ක්‍රම ද ඇත. ඒවා ව්‍යුහගත නොකළ භාවනා ලෙස හැඳීන්වෙන තරමක් අපහසු ක්‍රම වෙති. අපගේ සිත උපායශීලීයි. සිතිවිලි ස්වභාවයෙන් ම සංකීර්ණ ක්‍රියාවලියකි. මා ඉන් අදහස් කළේ අප සිතිවිලිවල ඇලී ගැලී පැටලී යන බවයි. එය සිතිවිල්ලෙන් සිතිවිල්ල අපව කෙළවරක් නැති සිතිවිලි මාලාවකට යොමු කරවයි. විනාඩි 15කට පමණ පසු, හදිසියේ ඉන් අවදි වන අප දවල් සිහිනයෙක හෝ ලිංගික මනඞකල්පිතයක හෝ මුදල් ප්‍රශ්නයක හෝ වෙනත් එවැනි කල්පනාවක හෝ පැටලී මුළු කාලය ම ගෙවා ඇති බව තේරුම් ගනිමු.

සිතිවිල්ලක් ගැන සිහියෙන් සිටීම හා සිතිවිල්ලක් සිතීම අතර ඉතා සියුම් වෙනසක් ඇත. මූලික වශයෙන් එය දැනීම පිළිබඳ කාරණයකි. නිර්මල අවධානයකින් යුතු සිහියෙන් දැනගන්නා සිතිවිල්ල සැහැල්ලු ය. සිතිවිලිවල හා එය දකින සිහිය අතර පරතරයක් පවතී. බුබුලක් මෙන් සැහැල්ලුවෙන් නැඟී එන එය සිතිවිලි දාමයේ ඊළඟ සිතිවිල්ල ජනිත නොකර ම පහව යයි. සාමාන්‍යයෙන් සිතන සිතිවිල්ල මෙයට වඩා බරෙන් වැඩියි. එය ඕනෑකමින් හිතාබලන, විධානය කරන හා බලකරන සුලු ය. එය ඔබ රවටා, ඔබගේ උඩුහිතේ පාලනය සියතට ගනී. ස්වභාවයෙන් ම එය නොවැළැක්විය හැකි වන අතර ඔබට දැනෙන පරතරයක් නොතබා, ඊළඟ සිතිවිල්ල උපදවයි.

සිතන සිතිවිල්ල මස්පිඬු හැකිලීම හෝ පපුවේ ගැස්ම වැඩි කිරීම වැනි ඊට අනුරූප ව ආතතියක් සිරුරෙහි ඇති කරයි. සාමාන්‍ය සිතිවිල්ලෙහි තිබෙන ඇලීම් ස්වභාවය නිසා, මෙම ආතතිය වේදනාවක් බවට හැරෙන තෙක් ඔබට එය නොදැනෙයි. ඔබගේ මුළු අවධානය ම අල්ලා ගන්නා එය, එහි පල විපාක දැකීමට ඔබට ඉඩ නොදෙයි.

සිතිවිල්ලක් දැනගෙන සිටීම හා සිතිවිල්ලක් සිතීම අතර සැබැවින් ම වෙනසක් පවතින නමුත්, එහි සියුම් බව නිසා එය දැකීම අතිශයෙන් අසීරුයි. අවධානය, එය දැකීමට රුකුල් දෙන උපකරණයකි.

ගැඹුරු චිත්ත ඒකාග්‍රතාව, සිතීමේ ක්‍රියාවලියේ වේගය අඩු කර, එය දැන ගැනීමේ වේගය වැඩි කරයි. එහි ප්‍රතිඵලය වන්නේ, වඩා හොඳීන් සිතිවිලි ක්‍රියාවලිය විමර්ශනය කිරීමේ හැකියාව ලැබීමයි. චිත්ත ඒකාග්‍රතාව සිතෙහි සියුම් අභ්‍යන්තර ස්වභාවයන් පැහැදිලිව බලා ගත හකි අන්වීක්ෂයකි. අපි, සන්සුන් ව, නිරන්තර අවධානය යොමු කිරීම මඟින් සිතේ එකග බව අත්පත් කර ගැනීමට අවධානයේ එල්ලය ම භාවිත කරමු.

හුස්ම අපගේ ඉලක්කය ලෙස භාවිත කරමු. සිත ඉබාගාතේ යන විට, නැවත කැඳවා ගෙන එන අත්‍යවශ්‍ය ලක්ෂ්‍යයක් ලෙස එය ක්‍රියා කරයි. සිත පිටතට විසිර යෑම, විසිර යෑමක් බව දැකීමට නම් එය කේන්ද්‍රගත ව තිබිය යුතු ලක්ෂ්‍යයක් තිබිය යුතුයි. එය අපගේ සාමාන්‍ය සිතිවිලි ක්‍රියාවලියේ කොටසක් වන නිරන්තර වෙනස්වීම් හා බාධාවන් නිරීක්ෂණය කිරීමට මූලික රාමුව ලෙස ක්‍රියා කරනු ඇත.

පැරැණි පාලි පොතපතෙහි භාවනාව, ඇතකු හීලෑ කිරීමේ ක්‍රියාවලියට සමාන කර ඇත. ඒ සමයේ දී අල්ලා ගන්නා අලියා, ශක්තිමත් කඹයකින් ගසක බඳීනු ලබයි. මෙම ක්‍රියාවෙන් අසතුටට පත්වන සතා දින ගණනක් ගතවෙන තුරු කෑගසමින්, අඩි පොළවේ ගසමින් කඹයෙන් අදියි. අවසානයේ දී තමාට බේරී යා නොහැකි බව තේරුම් ගන්නා ඌ සන්සුන් වන්න පටන් ගනියි. මේ අවස්ථාවේ දී අලියාට කෑම බීම දී, ආරක්ෂාකාරීව ඌ හීලෑ කිරීමේ කටයුතු කිරීමට හැකි වෙයි. තරමක කාලයකට පසුව, කඹය ලිහා දමා, විවිධ කාර්යයන් කරවා ගැනීම සඳහා අලියා පුහුණු කර ගැනීමට හැකියාව ලැබෙයි. මේ අන්දමින් ප්‍රයෝජනවත් වැඩ කර ගත හැකි, හීලෑ අලියකු ලැබෙනු ඇත.

මෙම උපමාවේ එන අලියා ඔබගේ සිතයි. කඹය ඔබගේ සිහිනුවණයි. අලියා බඳීන ගස හෝ කණුව හෝ ඔබගේ භාවනා අරමුණ වන හුස්මයි. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන හීලෑ අලියා නොහොත් හොඳීන් පුහුණු කළ හෝ ඒකාග්‍ර වූ සිත, යථාර්ථයට අකුල් හෙලන මුළාවේ කඩතුරාව ඉරා දැමීම වැනි දුෂ්කර කාර්යයන් සඳහා, එවිට භාවිත කළ හැකි වනු ඇත. භාවනාව ඔබගේ සිත හීලෑ කරයි.

මූලික භාවනා අරමුණ ලෙස හුස්ම භාවිත කරන්නේ කුමන හේතුවක් නිසා ද යන්න ඔබගේ ඊළඟ ප්‍රශ්නය විය යුතු ය. මීට වඩා රසවත් දෙයක් තෝරා නොගත්තේ ඇයි? එයට පිළිතුරු බොහෝ ඇත.

ඵලදායී භාවනා අරමුණක තිබිය යුතු ලක්ෂණ වන්නේ සිහිය දියුණු කළ හැකි වීම, පහසුවෙන් එහා මෙහා ගෙන යෑමේ හැකියාව, නිතරම පවතින දෙයක් වීම හා එය මිල අධික භාණ්ඩයක් නොවීමයි. එය අප නිදහස් වන්නට තැත්කරන තණ්හාව, කෝපය හා මුළාව වැනි ස්වභාවයන් සමඟ අප ව ගැටුමට පත්නොකරන වස්තුවක් වීම ද වැදගත් ය.

හුස්ම මේ සියලුම අංගයන් සෑහීමට පත්කරන අරමුණකි. හුස්ම ගැනීම සෑම මනුෂ්‍යයකුට ම පොදු වූ ලක්ෂණයකි. අප යන සෑම තැනකට ම එය ද අප හා ගමන් කරයි. උපතේ සිට මරණය දක්වා නොනැවතී සෑම මොහොතක ම අප සමඟ සිටින එයට කිසිම මුදලක් වැය නොවෙයි.

මනෝභාවාත්මක නොවන හුස්ම ගැනීම, සිතිවිල්ලකින් තොරව ඍජුව ම අත්දැකීමට පුළුවන. ජීවිතයේ නිරන්තරයෙන් ම වෙනස් වන එක අංගයක් වන එය ඉතා සජීවී ක්‍රියාවලියක් වෙයි. එය චක්‍රාකාර ක්‍රියාත්මක වෙයි. ආශ්වාස කිරීම, ප්‍රාශ්වාස කිරීම නොහොත් හුස්ම ඇතුළු වීම හා හුස්ම පිටවීම වශයෙනි. එම නිසා එය ජීවිතයේ ඉතා කුඩා ආකෘතියක් ලෙස සැලකිය හැකියි.

හුස්ම දැනීම ඉතා සියුම් වූව ද, එය සංජානනයට ඉගෙන ගත් විට පැහැදිලි ව දැකිය හැකියි. එය සොයා ගැනීම තරමක් දුරට වෙහෙසකර ය. නමුත් සෑම කෙනෙකුට ම එය කළ හැකියි. එය මහත් අසීරු කාර්යයක් නොවන නමුත් දිගටම එහි යෙදී සිටිය යුතු ය. මේ සියලු හේතූන් නිසා හුස්ම වඩාත් සුදුසු භාවනා අරමුණක් වනු ඇත.

ආශ්වාස ප්‍රාශ්වාසය තමාගේ මෙහෙයවීමෙන් තොරව එයට ම ආවේණික, ඉබේ සිදුවන ක්‍රියාවලියකි. එසේ නමුත් හිතාමතා කරන එක ක්‍රියාවකට එහි වේගය අඩුකිරීම හෝ වැඩි කිරීම හෝ එය දිගු සහ සුමට කිරීම හෝ කෙටි සහ ගොරෝසු කිරීම කළ හැකියි. ඉබේ ඇතිවන හුස්ම ගැනීම හා උවමනාවෙන් සිදුකරන හුස්ම ගැනීම අතර පවතින්නේ සියුම් වෙනසකි. මෙහිදී අපට අධිෂ්ඨානය හා ආශාව පිළිබඳ ඉගෙන ගැනීමට පාඩමක් ඇත. මෙහිදී නාසය අග තිබෙන ලක්ෂ්‍යය, අපගේ අභ්‍යන්තර හා බාහිර ලෝක අතර පවතින කවුළුවක් ලෙස දැකිය හැක. එය “තමා” යන්නෙහි කොටසක් බවට පත්වීම සඳහා පිටත ලෝකයෙන් ද්‍රව්‍ය ඇතුළුවන හා “තමා” වෙතින් බැහැර පිටත ලෝකය සමඟ එක්වීමට පිටව යන, ශක්තිය මාරුවන හා සම්බන්ධ වන ස්ථානයක් ලෙස ක්‍රියා කරයි. “මම” යන සංකල්පය හා එය සෑදෙන ආකාරය අපට ඉගෙනීමට ඇති පාඩම් ය.

හුස්ම ගැනීම, සෑම සංචේතනික ජීවියකුටම පොදු ක්‍රියාවකි. එය අත්දැකීම තුළින් අවබෝධ කර ගැනීම ඔබව අනෙක් ජීවීන් වෙත සමීප කරවයි. එය සියලුම ජීවීන් සමඟ ස්වාභාවික ව පවතින ඔබගේ බැඳීම පෙන්වා දෙයි. හුස්ම ගැනීම මේ දැන් පවතින ක්‍රියාවලියකි. එයින් අදහස් කළේ හුස්ම මේ දැන් මෙතැන පවතින බවයි. සැබැවින් ම අපි වර්තමානයේ ජීවත් නොවෙමු. අප අපගේ කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ අතීත සිහිවටනවල ඇලී ගැලී හෝ අනාගතය ගැන සිහින මවමිනි. හුස්මට වෙනත් වේලාවක් නැත. සත්‍ය වශයෙන් ම, අප හුස්ම දෙස බලා සිටින විට අප ව ඉබේම වර්තමානයේ රඳවා තබයි. එය අපව මනෝරූප මඩගොහොරුවෙන් මේ දැන් මෙතැනට ඇද දමයි. එලෙස ගත්කල හුස්ම සජීවී යථාර්ථය ය. එවැනි, ජීවිතයේ කුඩා අනුරුවක් හොඳ සිහිනුවණකින් යුතුව නිරීක්ෂණය කිරී ම ඔබගේ ඉතිරි ජීවන අත්දැකීම් සඳහා අවශ්‍ය වන විනිවිද දක්නා බුද්ධිය ඔබට ලබා දෙනු ඇත.