Print this Article


ජීවිතයට ධාර්මික වටිනාකමක් දෙන්න

ජීවිතයට ධාර්මික වටිනාකමක් දෙන්න

මැනවින් ප්‍රකාශිත දහමක් ලෙස බුදුදහම හැඳින්වෙන්නේ එය හුදෙක් මිනිස් දිවිය හා ප්‍රායෝගික වන බැවින් ය.

ගිහි ජීවිතය පැවිදි ජීවිතයක් ලෙසම ගත කළ යුතු යැයි, බුදු දහම කිසිදු තැනක නොදක්වයි. එහෙත් ගිහි ජීවිතයට ද ධාර්මික වටිනාකමක් ලැබිය හැකි ලෙස ජීවත්විය යුතු බව අවධාරණය කරයි.

නීතියක් නොවේ

බුදු දහමෙහි ඉගැන්වීමට අනුව තිසරණ සරණ ගිය සැදැහැති බෞද්ධයාගේ ජීවිතයේ සදාචාරාත්මක පදනම පංච සීලය යි. ඉතා නිවැරැදි ජීවිතයක් ගොඩනැඟීමට බෙහෙවින්ම අත්‍යවශ්‍ය වටිනා උපදේශ පහක් පංච සීලය තුළ ගැබ්ව පවතියි.

කෙලෙස් ගිනි නිවන සිසිලස

සීලය යනු උතුම් පිළිවෙතකින් තමා ගේ කය, වචනය හික්මවා ගැනීම යි. කෙලෙස් ගිනි නිවන සිසිලසක් සීලයෙහි පවතියි. හිස සුන් කල්හි ජීවිතය නොරඳන්නාක් මෙන් සීලය නොමැති කල්හි ගුණධර්ම නමැති සිරුරක් ද නොරඳන්නේ ය.

ජීවත්වීමේ නිදහස

සෑම දෙනකුම නිතරම උත්සාහවන්ත වන්නේ කරදර බාධක නොමැති ව ජීවත්වීමට යි. එබැවින් ජීවිතයට බෙහෙවින් ම පි‍්‍රයකරන සත්ත්ව වර්ගයා ඝාතනය කිරීම මහා බරපතළ අකුසල කර්මයකි.

සැමගේ කැමැත්ත

පුහුදුන් සැවොම තමා සන්තකයෙහි තිබෙන මිල මුදල්, විවිධාකාර උපකරණ හා භාණ්ඩවලට ඇලුම් කරති. එය වෙනත් අයකු සොරකම් කිරීමෙන් ඒවායෙහි හිමිකරුවාට ඇතිවන්නේ සිත් පීඩාවක් හා පාඩුවක් ය. එය බුද්ධිමත්ව තේරුම් ගත් කෙනකු කිසිදාක සොරකමට යොමු නොවේ.

සුහදතාව රැකෙන්නට

කය ද කායික වින්දනය ද වැරැදි ලෙස භාවිත කිරීමෙන් වැළකීමට තෙවැනි සිල් පදයෙන් උපදෙස් ලැබෙයි. මෙම සිල් පදය විවාහ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් එකසේ බලපායි.

රැවටීම ද වැරැද්දකි

අන්‍යයන් රවටන හැඟීමෙන් වංචාකාරීව යමක් පැවසීම බලවත් අකුසලයකි. සිදු වූ දෙයක් සිදු නොවූ දෙයක් ලෙසත්, දුටු දෙයක් නොදුටු දෙයක් ලෙසත්, නුදුටු දෙයක් දුටු දෙයක් ලෙසත් ප්‍රකාශ කිරීම මෙයින් අදහස් කෙරේ. බොරු කීම පමණක් නොව අද සමාජයේ බහුල වශයෙන් ක්‍රියාත්මක වන බොරු ලිවීම හා බොරු පොරොන්දු දීම ද මීට ඇතුළත් වෙයි.

මනස අඳුරු වුණොත්

පෙර කිසිදාක නොවූ විරූ ආකාරයේ මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිතය නිසා ස්වකීය වුවමනාවෙන් ම මනස අඳුරු කරගත් පුද්ගලයාට තවත් විපත්ති සයකට මුහුණදීමට සිදු වේ. ඔහුගේ ධනය බලා සිටිය දීම විනාශ වෙයි. කලකෝලාහලවලට යොමු වෙයි. ශරීරය විවිධ රෝගාබාධවලට ආයතනයක් වෙයි. ලජ්ජාව හා බිය රහිත පුද්ගලයකු බවට නිතැතින් ම පත් වෙයි. ඔහුගේ නුවණ ඉක්මනින් දුර්වලවීමට හා ඔහු පිළිබඳ අපකීර්තිය සමාජය පුරා පැතිර යාමට ද එය ප්‍රධාන හේතුවක් වෙයි.