Print this Article


සම්බුදු සසුනට පූජා කෙරෙන දේවමුල්ල සුමංගලාරාම සෑ රදුන් වහන්සේ

සම්බුදු සසුනට පූජා කෙරෙන දේවමුල්ල සුමංගලාරාම සෑ රදුන් වහන්සේ

විහාරස්ථ දායක සභාවේ - ලේකම්
කේ.ජී. වරුණ ප්‍රසන්න ගයාෂිනී වික්‍රමආරච්චි

 

කොබවක ශ්‍රී භාරතීෂ්වර විනයකීර්ති ශ්‍රී සුදර්ශි සරණපාල සිරිසුමනාභිධාන රයිගම් පස්යොදුන් හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක මා හිමිපාණන් වහන්සේගේ වස් වැසීමෙන් දේවමුල්ල ශ්‍රී සුමංගලාරාමය ආරම්භ වූයේ 1938 වසරේ ජූලි 12 වැනි දිනය.

මුල් කාලයේ දි අප විහාරස්ථානය ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය මෙන් ම විෂයානුබද්ධ දැනුම ලබා දීම සඳහා රජයේ පාඨමාලාවක් බවට ද පත්ව තිබිණි.

1954 නොවැම්බර් 27 වන දින අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ඉතාමත් ගෞරව සම්ප්‍රයුක්ත ව වැඩමවා සුබ මොහොතින් 1954 දෙසැම්බර් 10 දින රෝපණය කොට බෝධි වන්දනාව සඳහා සැදැහැවතුනට අවස්ථාව සැලසිණි. අද ද අප වන්දනා කරනු ලබන්නේ එම උතුම් බෝධීන් වහන්සේ ය.

ඉන් අනතුරුව 1955 මැයි 30 දින අභිනව බුද්ධ මන්දිරය සඳහා එවකට අධ්‍යාපන ඇමති ව සිටි සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිඳුන් මුල් ගල් තැබීමෙන් ආරම්භ ව 1972 මැයි 14 වන දින ඉතා දර්ශනීය බුද්ධ මන්දිරය විවෘත විය.

මෙලෙස පාරිභෝගික හා උද්දේසික චෛත්‍යයන් අප විහාරස්ථානය තුළ පිහිටිය ද ශාරීරික ධාතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා චෛත්‍යයක් අප විහාරස්ථානය තුළ නො තිබීම ඉතා බලවත් අඩුපාඩුවක් විය.

දේවමුල්ල ශ්‍රී සුමංගලාරාමයේ සුමංගලාරාම සෑ රජාණන් ඉදිකිරීම සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදීමට දේශශක්ති, සාමවිනිසුරු දයානන්ද බෝඹුවල මහතා හා අනුෂා විජයන්ති පෙරේරා මැතිණිය ඉදිරිපත්වීම අප දායක දායිකාව ලැබූ වාසනාවකි.

ඒ අනුව 2023 සැප්තැම්බර් 01 දින යෙදුන සුබ මොහොතින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය පින්වත් දයානන්ද බෝඹුවල මහතාගේ සුරතින් සිදු විය. එතැන් සිට ඉතා කෙටි කාලයක් තුළ සෑ රජාණන්ගේ ඉදිකිරීම් සම්පූර්ණ විය.

වර්ෂ 2024 ක් වූ ජනවාරි 12 දින ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් ගර්භ නිධානය සිදු කළ අතර, 2024 මාර්තු 07 වන දින සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම හා කොත්වහන්සේ පැළඳවීම සිදු විය. මෙදින ස්වාමීන් වහන්සේ හැත්තෑ නමකට අධික පිරිසක් වැඩමවීම විශේෂ වූයේ දයානන්ද බෝඹුවල මහතාගේ ජන්ම දිනය මාර්තු 03 දිනට යෙදී තිබීම නිසා ය.

ඉන් අනතුරුව අද මැදින් පුර පෝදා උතුම් සුමංගලාරාමා සෑ රජාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කරමින් සම්බුදු සසුනට පූජා කිරීම සිදු කරනු ලබයි. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගෞරවාර්හ අගලකඩ සිරිසුමනාභිධාන නා හිමියන්ගේ සුරතින් පෙරවරු 10.05ට යෙදෙන සුබ මොහොතින් සිදු කරනු ලබයි.

මේ සඳහා පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක, විහාරාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, නවදගල චන්ද්‍රසිරි මා හිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් පුණ්‍යෙීත්සවය සංවිධානය වේ.

මෙම සෑ රදුන් ඉදිකිරීමේ නිර්මාණශීලිත්වය ලබාදුන්නේ කලාකීර්ති, ශාසනබන්ධු ශ්‍රීමත් සුමිත් අක්මීමන මහතායි.