Print this Article


කාරුණික හදවත් ඕනෑ

කාරුණික හදවත් ඕනෑ

දරුවන් යනු නරක අය නොවේ. මනෝ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ “දරුවන්ගේ සිත් හරියට හිස් කොළයක් වැනියි” යනුවෙනි. එයට හේතුව හිස් කොළයක ලස්සන චිත්‍රයක් මෙන් ම රළු දේත් ඇඳිය හැකි ය. ලිවිය හැකි ය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ද අපේ සිත ස්වභාවයෙන් ම ප්‍රභාශ්වර බව යි. පිටතින් එන කෙලෙස්වලින් සිත අපවිත්‍ර වන බව යි.

විදේශගත වන දරුවන්ගේ මානසික මට්ටම පරීක්ෂා කළ යුතු බවට මේ දිනවල කථිකාවක් ඇති වී තිබේ. එයට ආසන්නතම හේතුව වී ඇත්තේ කැනඩාවේ දී ශ්‍රී ලාංකික තරුණයකු විසින් පවුලක් ඝාතනය කිරීමේ සිදුවීම යි. මේ සාහසික ක්‍රියාව පිළිබඳ ලංකාවේ අපිට එ තරම් සිතට නො දැනුනේ අපේ දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද සිත් කරුණාවෙන් ඈත් වී ගෙන යන නිසා බව මාගේ හැඟීම යි.

ඉහත පුවත පිළිබඳ කැනේඩියානු අගමැතිවරයා පවා ශෝකය පළ කරමින් කම්පා වු පුවත දැක ගැනීමට හැකි විය. එරට එවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාව එය විය. මෙය අපට සාමාන්‍ය දෙයක් වී ඇත්තේ පසුගිය දින හැත්තෑවක දී වෙඩි තැබීම් තිහක් සිදු ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරන නිසා විය හැකි ය. ධර්මදීපයට සිදුවූයේ කුමක් දැයි විමසා බැලිය යුතු ය.

ඉහත සිදුවීම පිළිබඳ විමසා බැලූ කැනඩා රජය එම මිනීමැරුම සිදුකළ පුතාගේ යූ ටියුබ් නාලිකාව තහනම් කොට ඇත. ඒ දරුවා පරිගණක ක්‍රීඩාවලට යොමුවී ඇති බවත්, ඒ තුළින් ඔහු සාහසික වී ඇති බවට දැනට ලද තොරතුරු අනුව නිගමනය කොට ඇති නිසයි.

එසේනම් අපේ දරුවන් ගැනත් අප සිතා බැලිය යුතු ය. මෙවැනි සිදුවීම් පමණක් නොව සියදිවි නසා ගැනීම් ද බොහොමයක් පරිගණක ක්‍රීඩා නිසා සිදුවූවත් අපට එය ප්‍රවෘත්තියක් පමණි. ඒ සඳහා ගත් පියවරක් නොමැතිවීම කනගාටුවට කරුණකි.

සිය බිරිඳ සමඟ දරුවන් මරා දැමූ මිනීමරුවාට හිංසනයක් නො කරන ලෙස තුවාල ලබා රෝහලේ සිටින දරුවන්ගේ පියා ප්‍රකාශ කළ පුවත කො තරම් සංවේදි දැයි බලන්න. තමන්ගේ සතුරාටත් මෛත්‍රි කරන කාරුණික හදවත් ඇති පවුලක් ඝාතනය කොට ඇත.අපට අවශ්‍ය වන්නේ මනුෂ්‍ය ඝාතන කරන හදවත් ඇති දරුවන් නොව සතුරාටත් මෛත්‍රී කරන කාරුණික හදවත් ඇති දරුවන් බව තරයේ සිතට ගනිමු.