Print this Article


ජීවිතයේ ගුණ සුවඳ වියැකී නොයන්නට ...

ජීවිතයේ ගුණ සුවඳ වියැකී නොයන්නට ...

අප හිතන තරම් අප ජිවත් වන මේ සමාජය සුන්දර නැහැ. ලස්සන නැහැ. සමාජයේ සෑම තරාතිරමකම ඇතැම් කෙනෙක් වැඩි වශයෙන් දූෂණයට, වංචාවට, අල්ලසට, අකටයුතුකම්වලට යොමු වෙලා. මේ නිසා පොදුවේ සමාජයේ සතුටින්, සමාදානයෙන් ජීවත් විය නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.

මේ කරුණට බොහෝ සෙයින් අද අප ජිවත්වන මේ ලෝකයේ ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාලා ද වගකියුතු මට්ටමකට පැමිණ තිබෙනවා. ළමා මනස විකෘති කරන නොයෙක් සිදුවීම් අනවශ්‍ය ලෙස උපුටා දක්වමින් මේ මාධ්‍ය ජාලාවන්හි ප්‍රදර්ශනය වෙනවා. මේ බොහෝ මාධ්‍ය ආයතනවල අපේක්ෂාව වී තිබෙන්නේ කොහේ හෝ සිදුවන අප්‍රසන්න දෙයක් කුතුහලය දනවන අයුරින් ජනතාව වෙත ආකර්ෂණය කර දැක්වීම යි. මේ නිසා කිසිම භයක් හෝ ලජ්ජාවක් නොමැති ව අපේ ළමා පරපුර වැඩි වැඩියෙන් දහමෙන් ඈත් වෙනවා.

බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළේ ලෝකය පාලනය වන්නේ අවි ආයුධවලින්, ත්‍රාසයෙන්, භිතියට පත් කරලීමෙන් නොව හිරි ඔතප් කියන මේ ලෝක පාලක ධර්ම දෙක මඟින් බව යි. මේ කරුණට ජාති ආගම් භේදයක් නැහැ. විශේෂයෙන් ඇතැම් බිය ජනක කුරිරු ඝාතන, වෙනත් කාමුක හැඟිම් කුළුගන්වන දර්ශන විවිධ මාධ්‍ය ජාලයන්හි ප්‍රදර්ශනය වෙනවා. මේ නිසා ළමයින්ගේ පවා සිත්වල ඝාතන බිය සැක දුරස් වෙමින් පවතිනවා. දිනෙන් දින මේ ඇති වන අපරාධ රැල්ල සමාජයේ ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වා බොහෝ පිරිස් අතර සමාන්‍ය සිදුවීම් ගණනට ක්‍රියාත්මක වෙනවා. අද තිබෙන බැරෑරුම් ම ප්‍රශ්නය වන්නේ මේ තත්ත්වයට හේතු වී ඇත්තේ කුමක් ද? කියන එකයි. මෙවැනි කරුණු පිළිබඳ සොයා විමසා බැලීමේ දී මෙයට බලපාන ප්‍රධාන ගණයේ හේතුවක් වන්නේ විශේෂයෙන් පුද්ගලයා කෙරෙහි බලපාන පාපමිත්‍ර ආශ්‍රය යි. බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලිව මංගල සූත්‍රයේ දී අපට පෙන්වා දී තිබෙනවා.

අසේවනා ච බාලානං-පණ්ඩිතානඤ්ච සෙවනා යන මේ බුද්ධ භාෂිතයෙන් කියවෙන්නේ ඒ කරුණ යි.

බුද්ධ දේශනාවේ පදනම හේතුඵලවාදය යි. එහෙම නම් මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයක් ඇතිවීමට හේතූන් මොනවාද යන්න අපේ විමසුමට ලක් කළ යුතු වෙනවා. මෙහි දී බොහෝ හේතුන් තිබිය හැකි වුවත් ප්‍රධාන වශයෙන් සමාජයේ ඇති වී තිබෙන පාපමිත්‍ර සේවනය කිසිසේත් බැහැර කරන්නට හැකියාවක් නැහැ. මෙහි දී අප කාගේත් අවධානයට යොමු කර ගත යුතු දේශනාවක් ලෙස කල්‍යාණමිත්ත සූත්‍රය පෙන්වා දිය හැකි වෙනවා.

දවසක් සැවැත්නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන කාලයේ රටේ රජතුමා නැති නම් කොසොල් මහ රජතුමා සිරිත් පරිදි බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණියා.

ස්වාමීනී, බුදුරජාණන් වහන්ස, මම හුදකලාව මාළිගාවේ සිටින අවස්ථාවක මට මෙහෙම සිතිවිල්ලක් ආවා. ඔබ වහන්සේ විසින් දේශනා කරලා තිබෙන මේ සම්බුදු දහම කොතැනකවත් කවරකුටවත් ඇදක් කුදක් වරදක් සොයන්නට බැරි ආකාරයෙන් මුල, මැද, අග යන තුන් තන්හි ම මනාකොට දෙසූ යහපත් දහමක්.

හැබැයි ඒ දහම අනුව ජීවත් වන්නට නම් ඔහුට කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර ඉතාමත් අවශ්‍ය යි. ඒ විතරක් නොවෙයි. කල්‍යාණ මිත්‍රයා කවුද කියා පැහැදිලි ව හඳුනා ගෙන, ඔහු කෙරෙහි නැමුණු හෙවත් අවනත, කීකරුකමක් ඇති අයට පමණ යි මේ දහමෙන් ප්‍රයෝජනයක් ගත හැකි වන්නේ. අසත්පුරුෂ පවිටු මිත්‍රයන් ඇති අයට කවරම අයුරකින්වත් ඒ සුපරිසුද්ධ දහමෙන් පලක්, ප්‍රයෝජනයක් ඇත්තේ ම නැහැ. එයින් පලයක් වන්නේ කල්‍යාණ මිත්‍රයන් ඇති අපට පමණක් බව යි මට වැටහුණේ කියා බුදුරජාණන් වහන්සේට කියා සිටියා.

ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක හරි මහරජතුමනි, මම මගේ ධර්මය මැනවින් දෙසූ දහමක්. එය කල්‍යාණ මිත්‍රයාට පමණක් අදාළ වන්නක්. ඒ විතරක් නොවේ. කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි අවනත වූ අයට, කල්‍යාණ මිත්‍රත්වයට සහාය ව ක්‍රියා කරන අයට පමණක් වැඩ ගන්නට හැකි ප්‍රයෝජනවත් දහමක් කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා.

එමෙන් ම බුදුරජාණන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරනවා මහ රජතුමනි, එක දවසක් මම මේ කොසොල් රටේ ශාක්‍ය ජනපදයෙහි නගරක කියන නමක් තියෙන ගමේ වාසය කළා. ඒ දවසේ එක වේලාවක ආනන්ද ස්ථවිරයන් වහන්සේ මා සිටි ස්ථානයට එළඹිලා එකත් පසෙක හිඳගෙන මගෙන් මෙන්න මෙහෙම විමසා සිටියා.

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් මනුෂ්‍ය ප්‍රජාව වෙත අනුකම්පාවෙන් දේශනා කරලා තිබෙන මේ බ්‍රහ්මචරියාව අඩක්වත් සම්පුර්ණ කර ගන්නට නම් ඊට ඒකාන්ත වශයෙන් කල්‍යාණ මිත්‍රත්වය අවශ්‍යයි කියලා. මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ලබා දුන් ඉතාමත් කෙටි පිළිතරු වුණේ මේ මා කියා දී ඇති බ්‍රහ්ම චරියාව සම්පූර්ණ කර ගැනීමේ දී අඩක් නොවේ සම්පූර්ණයෙන් ම බලපා තිබෙන්නේ කල්‍යාණ මිත්‍රත්වය, කල්‍යාණ මිත්‍රයාගේ එක්වීම, කල්‍යාණ මිත්‍රයාට අවනතවීම මත පමණක් යන උත්තරය යි. ඉතින් එහෙම නිසා අප පළමුවෙන් ම මේ කල්‍යාණ මිත්‍රයා තේරුම් ගෙන ක්‍රියා කිරිම අත්‍යවශ්‍ය කරුණක්.

වඩාත් කලණ ගුණ ඇති මිත්‍රයාගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ වරදින් මුදවා ගැනීමට ක්‍රියා කිරීම යි. ඉතින් ඒ ගුණය මව්පියන් තුළින් ද ප්‍රකට විය යුතු යි.

දරුවට අකුරු කරවන පාසලේ ගුරුවරයාගෙන් ප්‍රකට විය යුතුයි. සැබැවින් ම ගුරුවරයාත්, සැබෑ කල්‍යාණ මිත්‍රයායි.

ඉතින් අද දවසේ මුදල් පසුපස හඹා යන අපේ බොහෝ වාණිජවාදි චින්තනයට ගොදුරු වී ක්‍රියා කරන ජනප්‍රිය ගණයේ අතළොස්සක් ගුරුවරුන් මේ තත්වය කොතරම් දුරට සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරනවා ද? ඒ අතලොස්සක් ගුරුවරුන් වටා තමයි අපේ යොවුන් දරු පිරිස එක් රොක් වී සිටින්නේ.

ඉතින් කල්‍යාණ මිත්‍රයා හැම විට ම සහායකයා කෙරෙහි දක්වන්නේ දැඩි සෙනෙහසක්. ඒ නිසා ම නිරතුරුව ම ඔහු තම සහායකයා කෙරෙහි දක්වන මේ බැඳීම හේතු කර ගෙන ආදරය, කරුණාව දක්වාලමින් ක්‍රියා කරනවා. මේ කල්‍යාණ මිත්‍ර ගුණ ඇති ගුරුවරයා, මව, පියා වුණත් තම සහායකයා විපතට පත්වන හැමවිට ම ඔහු අත් නොහැර සිටිමත් තම සහායකයාට ලැබෙන සැප සම්පත් දුටු විට එයින් ප්‍රමුදිත වීම වගේ ම දුකේ දී, විපතේ දී ඒ දුක බෙදා හදා ගැනීමට ක්‍රියා කිරීමත් මේ කලණ ගුණ අතරට එක් වෙනවා.

තවද උපකාරයක් අවශ්‍ය වූ විට තම මිතුරාට උපකාරි විමත් කිසි විටෙක තම සහායක මිතුරා අත් නොහැර ජීවත් වීමත්, මේ කල්‍යාණ මිත්‍රයාගේ ගුණයන් වෙනවා.

මහායාන ධර්මයෙන් මේ කලණ ගුණ ඇති මිතුරාගේ ලක්ෂණ පිළිබඳ අපූරු ඉගැන්වීමක් ප්‍රකාශ වෙනවා. මහායාන ඉගැන්වීම්වල අභිනිෂ්ක්‍රමණ සූත්‍රයේ දී මෙහෙම කියැවෙනවා.

අපි සඳුන් සුවඳ අතින් ස්පර්ශ කරන විට අපේ අත් දෙකෙන් ද සඳුන් සුවඳ නිකුත් වෙනවා වගේ දැනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තමා මේ කලණ ගුණ යුතු මිතුරන්ගේ ඇසුරට අපි එක් වුණහම ඔවුන් සතු ඒ යහපත් කලණ ගතිගුණ අප තුළ පැළපදියම් වන්නේ කිසිදු ආයාසයකින් තොරව යි. එහෙම වුණත් අප ජීවත් වෙන මේ සමාජයේ මේ මිතුරන් අතිශයන් දුර්ලභ බව පෙනෙනවා.

අපට බොහෝ විට කපටි ගතිගුණ ඇති, තෘෂ්ණවෙන් බරිත, අප ඉදිරියේ අපේ නැති ගුණ පවා කියමින් අපව රවටන, සූදුව, සුරාව වගේ අනවශ්‍ය ගමන් බිමන්වලට අපව එක් කරමින් හුදු පහත් විනෝදය පිණිස යොදවන්නට මාන බලන පිරිස් තමා මිතුරන් ලෙස පෙනී සිටින්නේ.

මේ අතර තවත් හේතුවක් විදිහට සමාජය සත්පුරුෂ ධර්මයන්ගෙන් ඈත්වීම ද පෙන්වා දෙන්නට හැකියාව පවතිනවා. ඒ නිසා අපි ඉදිරියේ පවතින ජනමාධ්‍යට පවා මෙහි දී වැදගත් කාර්යයක් ඉටු කරන්නට පුළුවන්.

මෙහි දී ළාබාල දරුවන්ගේ පිරිසුදු මනස සමාජ සත්චාරිත්‍ර ධර්ම කෙරෙහි යෙදවීම පිණිස විශාල කාර්යභාරයක් කරන්නට එම මාධ්‍යයන්ට හැකියාව පවතිනවා.

එදා රූපවාහිනී මාධ්‍ය නො පැවැති, ගුවන් විදුලි සේවයෙන් පමණක් වුව ද ළා බාල අවදියේ සිට ළමා මනස තුළ සාරධර්ම ගොඩ නඟන්නට නොයෙක් ළමා වැඩ සටහන් ක්‍රියාත්මක වුණා. මේ තත්වය ද සමාජය කල්‍යාණ ගුණයන්ගෙන් ඈත් කිරිම කෙරෙහි බලපාන බව සක්සුදක් සේ පැහැදිලි යි. සමාජය ධර්මයට යොමු කරවීම කෙරෙහි සමාජ මාධ්‍යයන්ට කළ හැකි කාර්ය භාරය විශාල යි.