නොතැවෙන නොරිදෙන සිතක් ලබන්නට බුදු ගුණ සිතමින් බෝ මළුව
අමදින්න - මහමෙව්නාව භාවනා අසපුවාසී අංකුඹුරේ
අමිතදීප හිමි
අපගේ
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සම්බෝධියට සෙවණ දුන් නිසයි ශ්‍රී මහා බෝධියට බෝධි
වෘක්ෂය කියා කියන්නේ. බෝධි වෘක්ෂය තව ආකාරයකින් හඳුන්වනවා අවබෝධයේ වෘක්ෂය කියලා.
අනවබෝධයක් තුළ හිරවෙලා, සංසාර ගමනක පැටලිලා අනේක දුක් ගැට ගැසුණු අපට බෝධි වෘක්ෂයේ
ආශිර්වාදය කොතරම් සැනසිල්ලක් ගෙන දෙනවාද? මේ ඒ පිළිබඳ කළ සාකච්ඡාවක් ඇසුරිණි.
අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා බෝධින් වහන්සේට පුද සත්කාර කර තිබෙනවා.
උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පුරා සතියක් දෙනෙත් නොසළා බෝධින් වහන්සේ දෙස බලා
සිටියා. කිසිදු සජීවි වස්තුවක් දෙස පුරා සතියක් එසේ බලා සිටියේ නැහැ. ඒ විජය ශ්‍රී
ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ගුණ අපමණ යි. බෝධින් වහන්සේ නමකගේ ආශ්චර්යය විශ්මිත
යි.
බෝධින් වහන්සේගේ ආශ්චර්යය
අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝ රුක් සෙවණේ මුලින් ම වාඩිවන විට සම්බෝධියට පත් නොවී
කෙලෙස් සහිතවයි බෝ මුල වාඩි වුණේ. ඒ මහා බෝසතාණන්ට සෙවණ සදා දෙමින් බෝ රජුන් වැඩ
සිටියා. ඒ වන විට බෝ රජුන්ගේ වයසත් අවුරුදු 35ක්. හොඳින් අතුපතර විහිදී ගිය විශාල
බෝධින් වහන්සේ නමක්. ඒ සෙවණේ අපගේ මහා බෝසතුන් වහන්සේ වාඩි වූ බව ලෝකයේ කාට නො
දැනුනත් එක් අයකුට ඒක දැනුණා. ඒ පවිටු මාරයා. ඔහු කැළඹිලා ආවේ දස බිම්බරක් මාර
සේනාව සමඟ බෝධිසත්ත්වයන් වහන්සේ බිය කරවන්නටයි. ඒ සඳහා නොයෙක් දේ කළා. සසර ගමනේ
පිරූ පාරමිතා බල මහිමයෙන් ඒ සියල්ල ම සමථයකට පත්වුණා. පසුව මාරයා කල්පනා කළා
"මේ මහා පුරුෂයා සමඟ නම් මුහුණට මුහුණ සටන් කරන්න බැහැ. ඒ නිසා මේ මහා පුරුෂයාට මම
ගින්නක් එවන්න ඕන" සිතා මාරයාගේ ආනුභාවයෙන් අවීචියේ ගිනිදැල් උඩට ගත්තා. නිරයේ
ගිනිදැල් අපේ පෘථිවියේ ගින්නට වඩා සැඩ ගින්නක්.බීධි සත්ත්වයන් වහන්සේට නො පෙනෙන ලෙස
පිටුපසින් ඒ ගිනිදැල් දැවෙන්නට සැලසුවා. බෝසතාණන් වහන්සේගේ පිටුපසින් වැඩ සිටියේ
බෝධින් වහන්සේ. ගින්න පිටුපසින් දැවෙන විට මුලින්ම දැනෙන්නේ බෝධින් වහන්සේට යි.
නමුත් ඒ විශ්මිත වෘක්ෂයේ තිබූ ආනුභාවය කෙ තරම්ද යත්, අවීචියේ ඒ මහා ගින්න බෝ රුක
උරා ගත්තා. අපගේ බෝසතාණන් වහන්සේ වෙත සමීප වුණේ නැහැ. ඒ විජය ශ්‍රී ජයශ්‍රී මහා
බෝධින් වහන්සේට ඔබත් ගෞරවයෙන් උපස්ථාන කරන්න. වන්දනා කරන්න.
මේ සසර ගමනේ ඇවිද යන අපට බෝරජාණන් වහන්සේ නමක් මුල් කරගෙන දිවි ගමනට කෙතරම්
ආශිර්වාද සලසා ගන්න පුලුවන් ද කියා හොඳින් තේරෙන්නේ "සකංසමජ්ජක" කියන මහරහතන්
වහන්සේගේ උදානයෙන්. ඒ මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ අතීත පුවතක් ගැන මෙසේ වදාළා.
මෙය සඳහන් වෙන්නේ අපදාන පාලියේ යි.
පෙර පින් ඇති බව
අතීතයේ වැඩ විසූ විපස්සී බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝධිය වූයේ පාඨලී වෘක්ෂය යි.
නැත්නම් පළොල් රුකයි. පළොල් කියන රුක් සෙවණේ දී තමා මීට අනූ එක් කල්පයකට පෙර
විපස්සී සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්බෝධියට පත් වුණේ.
දිනක් ඒ උතුම් බෝ සෙවණට එක් තැනැත්තෙක් පැමිණියා. ඔහු රැගෙන ගියා මුස්නක්. (ඉදලක්
හෝ කොස්සක්) ඒ මුස්නෙන් බෝ මළුව ගෞරවයෙන් ඇමදුවා. ඊටපස්සේ බෝධින් වහන්සේට ඉතාම
ගෞරවයෙන් හිත පහදවා ගෙන වන්දනා කොට අඩි පාරක් දිගේ ආ ගමන යන්න පිටත් වුණා. ටික
දුරක් යද්දී ඝෝර පිඹුරෙක් තනියම ගමන් කළ ඔහු වෙළා ගත්තා. පිඹුරාගේ ග්‍රහණයට ටික ටික
ගොදුරු වෙද්දී ඔහුට සිහියට නැඟුණේ උපස්ථාන කළ බෝධින් වහන්සේ පමණයි. මරණින් මතු බෝ
රජුන් පිදූ පිනෙන් ඔහු දෙව්ලොව උපන්නා.
නවතා ගත නොහැකි උවදුරු
ඇතැම්විට මේ ජීවිතයේ දී අපගේ ඉලක්ක සාර්ථක කර ගැනීම පිණිස අප බොහෝ කැපකිරීම්,
දරාගැනීම් කරනවා. එහෙත් මේ ජීවිතය ගලාගෙන යද්දී අපට නවතා ගන්න බැරි උවදුරුවලටත්
මුහුණ දෙන්න වෙනවා. ඒ අතරේ තිබෙනවා ලෙඩදුක්.
මේ සියලු ලෙඩ රෝග අතරේ බොහෝ පීඩාවට පත්වෙන රෝගයක් චර්ම රෝගය කියන්නේ. හමේ රෝගයක් හට
ගත්තට පස්සේ විශේෂයෙන් තරුණ දරුවන්ගේ සිත් දුකට පීඩාවට පත් වෙනවා. මේ ශරීරයට
හැදනෙවා හමේ පොතු ගැලවී යන රෝගයක්. ඒ රෝගය සිතට පුදුම වෙහෙසක් ගෙන දෙනවා. සිහින
කෝටියක් තිබුණත් ඒ සියල්ල එක නිමේෂයකින් නවතා දමන්න ලෙඩදුක්වලට පුලුවන්.
ඒ සකංසමජ්ජ මහ රහතන් වහන්සේ බෝ මළුවක් ඇමදීමෙන් තමන් වහන්සේ රැස්කර ගත් පිනේ අනුසස්
මෙසේ වදාළා.
"මම නො කැළඹෙන සිතක් ලැබුවා." මේ දීර්ඝ සංසාරේ එනවිට ඒ සිත විසිරෙන්නේ, කැළඹෙන්නේ
නැහැ. සිත හරි සනීපයි. සිත කවදාවත් වදයක් වෙලා නැහැ.
"මගේ සිත හරියට පිරිසුදු වුණා." සුදු පිරිසුදු ඇඳුමක් දුටුවාමත් අපට සතුටක්
ඇතිවෙනවා. පිරිසුදු සිතක කොතරම් සතුටක් ඇද්ද? ඒ බෝධින් වහන්සේ වැඩ සිටින මළුව
ඇමදීමේ පිනයි.
ඒ වගේම "මට නොතැවෙන නිර්මල සිතක් ලැබුණා." අසවලා මට රැව්වා. අද සිනාසුණේ නෑ. කතා
කළේ නෑ සිතමින් නිතර ම කුඩා කටු අපේ සිතේ ඇන ගන්නවා. ඒ විඳවිලි නැති බව මේ රහතන්
වහන්සේට ලැබුණේ බෝ මළුව ඇමදීමේ පිනෙන්. ගෞරවයෙන් බුදුගුණ සිතමින් බෝ මළුවක් අමදිනවා
නම් සිතක තිබෙන බොහෝ ප්‍රශ්න විසඳෙනවා.
උන්වහන්සේ වදාළා "මට සසරේ බොහෝ කාලයක් ශෝක හුලෙක් තැවෙන්න වුණේ නැහැ" යනුවෙන්.
ශෝකය කියන කාරණය අමතක කර ගන්න බැරි වුණොත් තමා ශෝක ගින්න හට ගන්නේ. එවැනි ශක්තිමත්
සිතක් ලැබුණේ බෝ මළුව ඇමදීමේ පිනෙන්.
"චිත්ත පීඩා දැවිලි කියා කියන්නේ කුමක් ද කියා මා නො දන්නෙම්" කියා උන්වහන්සේ
වදාළා. අපි නම් චිත්ත පීඩා කුමක්ද කියා හොඳින් දන්නවා. නමුත් මේ රහතන් වහන්සේ වදාළා
එදා මම බෝ රුක ඇමදූ පිනෙන් මේ ගෙවා ආ සසරේ චිත්ත පීඩා, දැවිලි කුමක්ද කියා දන්නේ නෑ
කියලා.
ඒ වගේම බෝමළුව සතුටු සිතින් ඇමදීමේ පිනට "මගේ ශරීරයේ කුෂ්ඨ රෝග හට ගත්තේ නෑ." අප
දන්නවා කුෂ්ඨ රෝගය මහා වදයක්. කෙ තරම් කැසුවත් එයින් ගැලවීමක් නැහැ.
මේ සසර ගමනේ "මගේ සිරුරේ ගෙඩි රෝග නො සෑදුණි". එක එක ගෙඩි හටගෙන ශරීරය විකෘති වීම
උන්වහන්සේට සසරේ හටගත්තේ නැහැ කියා වදාළා. ඔබත් මෙවැනි රෝගයකින් පීඩා විඳිනවා නම්
බෝ මළුව ගෞරවයෙන් අමදින්න. රෝග සුවවීමට එහි ආශිර්වාදය ලැබෙනවා.
උන්වහන්සේ වදාළා "එදා ගෞරවයෙන් බෝ මළුව ඇමදීමේ පිනෙන් මේ සසර ගමනේ දී කැසිළි රෝග
කිසිවක් මේ ශරීරයේ හට ගන්නේ නැහැ" කියලා.
ඒ වගේම "අපස්මාරය නම් රෝගය මට නො සෑදුණි." අපි දන්නවා, ඒ රෝගය හැදුනාම තමාට මොකද
වුණේ කියල තමන් දන්නේ නැහැ. තම නො සිතූ වෙලාවක ඒ රෝගයට බිලි වෙන්න පුළුවන්.
උන්වහන්සේ වදාළා සසර ගමනේ දී කුෂ්ඨ රෝගයක් තමාට නො සෑදුණු බව. ඒක පොතුකබර වගේ
රෝගයක්. ඒ රෝගයෙන් සමේ පොතු ගැලවී හැලෙනවා. සමේ තිබෙන සුමට ගතිය සම්පූර්ණයෙන් නැති
වෙනවා. ශරීරය ස්පර්ෂ කරන විට තමාට පවා පීඩාවක් දැනෙනවා. අනාගතයේ අපි පවා මෙවැනි
රෝගයකට ගොදුරු වෙන්න පුලුවන්. එනිසා පුලුවන් සෑම විටම බෝ මළුව ගෞරවයෙන් අමදින්න. බෝ
මළුව ලස්සනට ඇමදලා සිතින් සතුටු වෙන්න.
ඒ වගේම උන්වහන්සේ වදාළා "මේ සසර ගමනේ දී උන්වහන්සේට ශෝක වැළපීම්වලින් පෙළෙන හෘදයක්
නො ලැබුණු" බව. එලෙසම සිතේ තැති ගැනීම් නැති, ඍජු තීරණ ගත හැකි සිතක් ලැබුණ බව
සිත තම පාලනයට ගන්න බැරි නම් බෝමළු නිතර අමදින්න. ඒ පිනෙන් සියල්ල සම්පූර්ණ වෙනවා
කියලා නොවේ මේ කියන්නේ. අපගේ ප්‍රශ්නය විසඳා ගන්න උපකාරයක් ලැබෙනවා. දද, කුෂ්ඨ,
තැවිලි ආදී රෝග තිබෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන ගමන් බෝමළු අමදින පිනත්
කරන්න. ඒ පින චර්ම රෝග සුවවීමට උදව් කරනවා.
සකංසමජ්ජ මහ රහතන් වහන්සේ මෙසේ ද වදාළා.
"මම භාවනාවට වාඩිවෙන කොට මගේ සිත ඉතාම පැහැදිලියි. සිතේ බොර, අවුල් නැහැ. විසිරෙන
බව නැහැ. මම කැමැති සමාධියක් සුව සේ ලබා ගන්නේ බෝධින් වහන්සේ් වැඩ සිටින මළුව
ඇමදීමෙන් කර ගත් පිනෙන්."
අනූ එක් කල්පයකට පෙර කරගත් ඒ උදාර පිනේ අසිරිය බලන්න. ඒ කාලය පුරාවට ම මම දුගතියක්
නො දුටුවෙමි. සුගතියේ පමණක් උපත ලැබුවෙමි. මා කරගත් පිනට අමතරව සත්පුරුෂ ඇසුර ද මට
ලැබුණි.
මම කෙලෙස් සියල්ලම සිඳ දැමුවෙමි. සියලු භවයන් නැසුවෙමි. දැන් මම හැම බන්ධනයකින්ම
මිදුණෙමි. ඇත් රජෙක් වගේ වැඩ සිටිමි. මම උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වුණෙමි.
ඒ මහ රහතන් වහන්සේ උදාන පාඨ දෙසූ සේක.
- නයනා නිල්මිණී |