පුර පෑළවිය සඳ - 04 කොටස
සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා
ලියැවුණු නවකතාව
බඩල්ගම විපුලසිරි හිමි
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද,
සද්ධර්ම භාණක,
අභිධර්ම භාණක
සිරි උපාලි ධර්මාශ්‍රමය, ආණමඩුව
නන්ද හාමුදුරුවෝ නම් කියන්නේ අපි ගරු කළ යුත්තේ ශීලයට, ගුණයට ප්‍රතිපත්තියට මිස වෙන
වෙන දේවල්වලට නොවේ ය කියා යි. බුදු හාමුදුරුවෝ උගන්වා ඇත්තේ එසේලු.
ලොකු හාමුදුරුවන්ටත්, නන්ද හාමුදුරුවන්ටත් වඩා ලොකු බලයක් ඉන්තේරුවෙන්ම මුදලාලි
මහත්තයාට තිබේ. නැතිනම් සිරිමල් මාමා වගේ වීරයෙක් මෙතරම් බයාදුව හැසිරෙන්නට හේතුවක්
නැත.
“ ඇයි බං, උඹලටවත් තෙරෙන්නෙ නැද්ද ?
උඹලගෙ ලොකු හාමුදුරුවන්ට සිවුරු පොරවන්න වෙන එකෙක් උන්නේම නැද්ද ?
ගස්ගඳ ගහන එව්වන්ට සිවුරු දාන්නෙ.
අනික බං උන් අඩු එව්වො. “
සිරිමල් මාමා තමන් දෙස බැලුවේ දත් මිටි කන්නා සේ ය.
“ හ්ම්.. හ්ම්.. යං එහාට. මෙතන බහිරවය වගේ බලන් ඉන්නවා. ලොකු හාමුදුරුවෝ දුන්නු
ගාථා ඉවර ද පාඩම් කරලා.. “
දැන් නම් මාරු වී යන එක හොඳ ය. මොකක් හෝ අමුත්තක් තිබේ. සමහර විට තමන් දාන ශාලාවෙ
ඉන්නවාට මුදලාලි මහත්තයා කැමැති නැතුව ඇත. ඉස්සර බාප්පා සමඟ බංගලාවට ගිය විටත්
කන්නට බොන්නට දුන්නේ කුස්සිය පැත්තෙ හෝ ට්‍රැක්ටර් මඩුවේ ය. මුදලාලි මහත්තයාටත්,
සිරිමල් මාමාටත් තරහ ඇවිස්සෙන්නට ඇත්තේ තමන් එහි සිටි නිසා ය.
දමිත සාමණේරයන්ට නොතේරෙන බරපතළම කාරණය නම් “ අඩු එව්වෝ” යැයි කී වචනය ය.
අනිත් මිනිස්සුන්ට ඇති දේවලින් කුමක් හෝ දෙයක් තමන්ට අඩුවී තිබෙනවා වන්නට ඇත. ඔය
වචනය ඇසුණු විට බොහෝ තැන්වල ඒ කුමක්දැයි හිතුවත් හිතාගන්නට බැරිවිය. වෙලාවක ලොකු
හාමුදුරුවන්ගෙන් හෝ නන්ද හාමුදුරුවන්ගෙන් හෝ අහන්නට ඕනෑ.
“ උඹවත් ටිකක් මෙව්ව කියල දීපන් ලොකු හාමුදුරුවන්ට ..
ඉස්සරහට දානෙවත් හම්බෙන එකක් නෑ පන්සලට.”
“ මාත් ඕකමයි කියන්නෙ මුදලාලි මහත්තය. කෝ ලොකු හාමුදුරුවෝ අහන එකක් යැ. අද උදේ මං
යද්දි වඳුරු මොටෙක් වගේ දං ගහේ.......”
සිරිමල් මාමා ප්‍රවෘත්ති වාර්තාකරණය ආරම්භ කළේ ය.
ඔව්වා අසා සිටින්නට ඕනෑ නැත. අසා සිටියොත් සිද්ධවන්නේ දමිත සාමණේරයන්ගේ පුංචි හිත
තවතවත් රිදෙන එක ය. උපන් දා පටන් හොඳටෝම බැනුම් අහලා පුරුදු සාමණේරයන් හට දැන්
වඩාත් දුක දැනෙන්නේ, දාන ශාලාවේ ඇපල් ගෙඩියක් තනිකර දමා යන්නට වීම ගැන ය.
මුදලාලි මහත්තයා ඇවිත් ගිය මොහොතේ පටන් ලොකු හාමුදුරුවෝත් බර කල්පනාවක ය. නන්ද
හාමුදුරුවන් ඒ බව දුටුවේ දහවල් බුද්ධ පූජාව විහාරයෙන් ඉවත් කරන්නට පැමිණි මොහොතේ ය.
අනිවාර්යයෙන් ම ලොකු හාමුදුරුවන්ගේ නොසන්සුන් බවට හේතුව මුදලාලි මහත්තයා කී දෙයක්
වන්නට ඇත. එයත් බොහෝ දුරටම දමිත පොඩි හාමුදුරුවන් සම්බන්ධ ව චෝදනාවක් විය හැකි ය.
ඉදලත් රේක්කයත් දෑතට ගත් නන්ද හිමියන් වඩින්නේ විහාර මන්දිරය පිටුපස කුණුගොඩ ඇදීමට
ය.
බොහෝවිට සිතෙහි සඟවා ඇත්තේ ද කුණු ගොඩකි. මුදලාලි මහත්තයත් ඒ ජාතියේ දායකයින් අතර
ප්‍රධානම දායකයෙකි.
“ නන්ද හාමුදුරුවනේ , මං රේක්කෙ ගන්න ද? “
ඒ අසන්නේ දමිත සාමණේරයෝ ය. පාඩම් වැඩ කරන්නට මොනතරම් කම්මැලි වුවත් මෙවැනි බාහිර
වැඩවලට නම් කිසිදු කම්මැලිකමක් දමිත සාමණේරයන් තුළ ඇත්තේම නැත.
ගෙදර ඉන්න කාලයේ වත්තේ පිටියේ සියලූම වැඩ බාප්පා කරවා ගත්තේ දමිත ලවා ය. කොයිතරම්
අමාරු වැඩක් වුවත් නොකෙරුවොතින් වදින්නේ වයර් පාර ය. නැත්තං ගස්බැඳ දමන්නේ දිමි
ගොටු ය. අම්මා සිටියත් බාප්පාට යකා වැහුණු විට තමාට බේරුමක් නොමැති බව ඔහු දැන
සිටියේ ය. ඒ අපායෙන් මිදුණේ නම් පෙර පිනක් නිසා යැයි සාමණේරයන්ට දැන්නම් සිතෙයි.
“ දමිතට පුලුවන් නම් වීල්බැරෝව පොඩ්ඩක් අරන් එනවද? “
“ එහෙමයි නන්ද හාමුදුරුවනේ”
සාමණේරයන් හදන්නේ දුවන්නට ය. දඟකාරකමයි නැටිල්ලයි පොඩ්ඩක්වත් අඩු වී නොමැත.
“ හා හා... දුවන්න බෑ. දැන් පැවිද්දෙක්නෙ. හිමින්, හිමින්., හිමින් වඩින්න”
නන්ද හාමුදුරුවෝ පවසන්නේ සිනාසෙමිනි.
“ කමන්නෑ , .. දුවන්නෙ නැතිව.,
එහෙනම් පොඩ්ඩක් හයියෙන් වඩින්න.. කමන්නෑ..
හැබැයි ඉතින් සිරිමල් ට්‍රැෆික් සාජන්ට නොපෙනෙන්න”
සාමණේරයන්ටත් සිනා ය. ඒ සිනාව හරිම අව්‍යාජ ය. දඟකාර නමුත් අවිහිංසක ය.
අද අඟහරුවාදා දවසක් බැවින් දායකයින් බෝධි පූජාවට එන්නේ නැත. විහාර මන්දිරය අවට
සුද්ධ පවිත්‍ර කිරීමෙන් නන්ද හිමියන්ගේ සිතට දැනුනේ සැහැල්ලුවකි. පිරිසුදු වී ලොකු
හාමුදුරුවන් වෙතට වැඩියේ ගිලන්පස අවශ්‍ය දෙයක් සකසා පූජා කරන්නට ය. එය නන්ද
හාමුදුරුවන් විසින් පුරුදු පුහුණු කර ගෙන එන ආචරිය වතෙහි කොටසකි.
“ පොඩි හාමුදුරුවෝ , එහෙමනම් අර මුදලාලි ගෙනාව හොඳ දෙළුම් ගෙඩි දෙකක් ඇති. ඔක්කොටම
එක්ක ඒක හදන්න. “
ලොකු හාමුදුරුවන් කී පරිදි දෙළුම් යුෂ සකසන්නට දානශාලාවට ගියත්, ෆ්‍රිජ් එකේ ඇත්තේ
එකම එක දෙළුම් ගෙඩියක් පමණි. එක ගෙඩියෙන් සියල්ලන්ට ම ගිලන්පස සකසන්ට නොහැකි ය.
පොඩි ගෙඩියක් බැවින් දෙදෙනකුට පමණ අවශ්‍ය නම් සැකසිය හැකි ය.
සිරිමල් මාමාත් කොහේ හිටියත් ගිලන්පස සකසන වෙලාවට දාන ශාලාවට එන්නේ ය. නන්ද
හාමුදුරුවන් ගිලන්පස සකසා ලොකු හාමුදුරුවන්ට පිදූ විට ඉතිරියෙන් කොටසක් තමන්ටත්
ලැබෙන නිසා වන්නට ඇත.
දෙළුම් ගෙඩි දෙකෙන් එකක් නොමැති යැයි, සිරිමල් මාමා දැනගත හොත් ඇතිවන්නේ නැති
ප්‍රශ්නයකි. පහුගිය දින ටිකේම ෆ්‍රිජ් එකේ දැමූ බොහෝ දෑ අතුරුදන් වී තිබුණි. ඒ අතර
යෝගට්, අයිස්, මිදි, ඇපල් ආදී බොහෝ දේ විය. ඒ හැම වතාවක ම ප්‍රධාන සැකකරු වූයේ දමිත
සාමණේරයන් ම ය.
“ අදත් එක දෙළුම් ගෙඩියක් හොරකම් කරල නේද ? “
ෆ්‍රිජ් එක හැර බලන්නේත් නැතුව, තමන් ඒ බව කියන්නේත් නැතිව, සිරිමල් මාමා ඒ ගැන
දැනගත්තේ කෙසේදැයි නන්ද හාමුදුරුවන්ට පුදුම ය.
“උන්නාන්සෙ හදන්න බෑ.
ලොකු හාමුදුරුවන්ට පිස්සු.. මුඩුක්කුවල උපන් ගතිය අරින්න පුලුවන්ද දෙයි
හාමුදුරුවන්ටවත්.
කවදහරි මේ පන්සල ම වනසනවා...”
සිරිමල් මාමා කෑ ගසන්නෙ මහා අපරාධයක් වූ පරිද්දෙනි.
“ සද්ද කරන්න ඕනෙ නෑ සිරිමල් මාමේ. මේක ඇති ලොකු හාමුදුරුවන්ට ...
කෑව නම් කන්න ඇත්තෙ කාපු කෙනා ආසාවට හරි බඩගින්නට හරි. ඕක දැන් ලොකු හාමුදුරුවන්ට
කියන්න යන්න ඕනෙ නෑ.”
යනුවෙන් නන්ද හිමියන් කීවත්, සිරිමල් මාමා ඊට අඩංගු නැත.
“ඔබ වහන්සේ තමයි ඔක්කොම වැරැදි වහලා, පන්සල් වනසන්න පාර කපන්නෙ. ඔබ වහන්සෙලට හොඳයි
නම් මට මොකද?
කවද හරි තේරෙයි දන්පොදක් පන්සලට නොලැබෙන තැනට වැඩ වෙච්චි දාක”
සිරිමල් මාමා එළියට බැස්සේ පුපුරමිනි. කියන්නේ නෑ කීවාට සිද්ධිය ගිහින් ලොකු
හාමුදුරුවන්ගේ කනේ දෙකතුන කොට තියන්න නම් බැරි නැත.
නඩුව විසඳන වෙලාවේ ලොකු හාමුදුරුවෝ සිටියේ බොහෝම තරහනි. සාමණේරයන් පැවිදි කිරීම
නිසා දායකයින්ගෙන් දෝෂාරෝපණය ලබන්නට වීමත්, සාමණේරයනුත් නොනවත්වා ම කෑමවර්ග සොරකම්
කිරීමත් යන දෙකම ඒ සඳහා බලපා තිබුණි. |