තරුණයා සහ බාලයා
පාලි සූත්‍රවල සුසු, තරුණ, යුවා, යොබ්බන, බාල, කුමාර, දහර යනාදී නම් තරුණයන්
හැඳින්වීම සඳහා යෙදේ. බාල යන පදය ද මීට සමගාමී ව යන තවත් පදයකි. එහි ප්‍රධාන අරුත්
දෙකක් ඇත. ඉන් එකක් වන්නේ කුඩා ළමයා යන්නයි. අනෙක් තැනැත්තා අඥානයා, බුද්ධියෙන් අඩු
තැනැත්තා, සිතීමේ විමසීමේ ශක්‍යතාවයෙන් හීන තැනැත්තා හෝ ගුණාත්මක බවින් අඩු
තැනැත්තා යන්නයි.
මෙහි ප්‍රතිවිරුද්ධ පදය වන්නේ පණ්ඩිත යන්නයි. බාල යන පදයෙහි අර්ථය සංකීර්ණ වන්නාක්
මෙන් ම පණ්ඩිත යන්නෙහි අරුත ද සංකීර්ණ ය. බුද්ධියෙන් වැඩි, ආධ්‍යාත්මික වශයෙන්
පිරිපුන්, උගත්, ශික්ෂිත යථාර්ථ එහි ඇත.
පණ්ඩිත නමින් ගැනෙන පුද්ගලයා ජීවිතය හසුරුවා ගන්නා අයුරු දනී. එසේම ඔහු සමාජ
ප්‍රගමනය හා එහි සුවදායි පැවැත්ම වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි. ඔහුගේ හෝ ඇයගේ
කායික, වාචසික, මානසික සියලු ක්‍රියාදාමයන් යහපත් වන බව අංගුත්තර නිකායේ තික
නිපාතයෙහි දැක්වේ. මෙසේ නොකරන තරුණයෙක් වේ නම් ඔහු බාලයෙක් හෙවත් අඥානයෙක් වේ. සමහර
තරුණයෝ මසින් ලෙයින් මහත් වුවත් දැනුමෙන් ඉතා කෘශ වූවෝ වෙති. එබඳු සමහර තරුණයෝ
කිසිවක් දන්නේ නැත. එහෙත් දන්නා අය ලෙස පෙනී සිටිති. යමක් දන්නා අයට ද උපහාස කරති.
එසේම කර්මය කර්මඵලය බුදුන්, දහම්, සඟුන්, දෙවියන්, භූතයන් ආදී කිසිවක් ගැන නොදනිති.
විශ්වාස නොකරති. එකදු වුවත් දන්නා හා විශ්වාස කරන්නන් තත්ත්වයෙන් හෙළා කතා කරති.
මෙය ලෝකයේ පවතින අතිශය ඛේදජනක තත්ත්වයක් වේ.
මිනිසුන්ට ඇතිවන මද රාශියක් පිළිබඳ පාලි සූත්‍රාන්ත දේශනාවල සඳහන් වේ. ජාති මදය,
ග්‍රෝත්‍ර මදය, අරෝග්‍ය මදය, ජීවිත මදය, ලාභ මදය, සත්කාරක මදය, සෘද්ධි මදය, ශිල්ප
මදය, ආරෝහ පරිණාහ මදය, යශස්මදය, රූප මදය ආදී අනේක විධ මද අතර යොබ්බන මදය ද එකකි.
තරුණ වියෙහි සිටින සෑම පුද්ගලයකුට ම ඇතිවන පදනම් විරහිත මානසික තත්ත්වයක් ලෙස
බුදුදහම යෞවන මදය (යොබ්බන මද) හඳුනා ගනී.
අත්ථි භික්ඛවේ සත්තානං යොබ්බනෙ යොබ්බන මදො) මෙම වයසේ දී සාමාන්‍ය වශයෙන් සෑම
පුද්ගලයකු ම හිතුවක්කාර නැතහොත් දඟකාර වේ. ඇතැම් අය තුළ කායික සංයමයක් සහිත
හිතුවක්කාරකම් ද ඇතැම් අය තුළ කායික සංයමයක් රහිත හිතුවක්කාරකම් ද පවතී. කෙසේ වුවත්
මෙම මානසික වියරුවෙන් සිටින අය අඩු වැඩි වශයෙන් කායික, වාචසික, මානසික, දුශ්චරිතවලට
පෙළඹෙති. මම තවම තරුණ ය. එහෙයින් පින් කිරීම අවශ්‍ය නැත. ඊට තවම කල් ඇත. යනුවෙන්
ඇතැම් අය සිතනුයේ මෙම මදය හෙවත් තරුණ බවින් මත්වීම නිසා ය.
මත් වූ හස්තියකු විලංගු දැමීමෙන් වුව ද වලංගු නොවන්නාක් මෙන් මෙම තරුණයෝ ද වලංගු
නොවෙති. තමන් සියල්ල දන්නාක් මෙන් මෙකල ඔවුහු උපකල්පනය කරති. වැඩිහිටියන්, ශ්‍රමණ
බ්‍රාහ්මණයන් දතයුතු වටිනාම දෙය නම් සියල්ල දැන ගැනීමට තරම් තවමත් ඔවුන් තරුණ නොවන
බවයි.
නූතන අධ්‍යාපනයේ දී යොවුන් ප්‍රජාවට බොහෝ විට උගන්වනු ලබන දෙය නිසරු ය. එහි මලක්
නෙළා ගැනීමට උගන්වනු මිස පැළයක් වගා කොට තමන්ගේ ම පැළයකින් මලක් නෙළා ගැනීමට
නූගන්වයි. පොදු සම්මතය අනුව තරුණ වියේ දී කෙනෙකුට යමක් ඉගෙන ගත හැකි ය. එහෙත් ඒ
පිළිබඳ අවබෝධයක් ඇතිවන්නේ මහලු වියට පත් වූ කල්හිය.
තරුණ වියෙහි සිටින අය බුදුදහමෙහි උගන්වන යොබ්බන මදය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා
ගැනීම අතිශය ප්‍රයෝජනවත් වේ. මද යන්නෙහි සැබෑ අරුත නම් අවිඥානික බව යන්නයි. සිහි
කල්පනාවක් නැතිව ක්‍රියා කරන බව යන්නයි. උමතු බව හෙවත් මනස අවුල් වූ යන්නයි. මද යන
පාලි වචනයේ ධාතුව මද යන්නයි. ඉංගී‍්‍රසි අකුරෙන් මෙය ලියන්නේ මෑඩ් යනුවෙනි. මෑඩ්
යනුවෙන් උසුරුවනු ලබන එහි තේරුම ප්‍රමත්ත, උමතු, උන්මත්තක, කුපිත, පිස්සු යථාර්ථ
ශබ්දකෝෂවල සපයා නැත. එබැවින් යොබ්බන මදයෙන් යුතු පුද්ගලයන් එය තමා සතු යහපත් චරිත
ලක්ෂණයක් නොවන බව තේරුම් ගත යුතු ය.
ආගමෙන් ධර්මයෙන් ඵලක් නැත. සාම්ප්‍රදායික ඥානයෙන් වගතුවක් නැත. ආචාරධර්ම නිසරුදේ ය.
වැඩිහිටියෝ යල්පැනගිය අදහස් ඇත්තෝ ය. අල්ලස් ගැනීම කූට ක්‍රම අනුගමනය කිරීමෙන් වුව
මුදල් ඉපයීම කළ යුතු ය. අන්‍යයන් විපතට පත්කිරීම, අක්‍රමිකතා මගින් දියුණුවීම
අසත්‍යයෙන් සත්‍ය යටපත් කිරීම. දුම්වැටි මත්පැන් ආදියෙන් පෞරුෂත්වය සොයා යාම වැනි
මානසික තත්ත්වයන් ඇති තරුණයෝ අප සමාජයේ බහුලව වෙසෙති. ශිෂ්ට සම්පන්න ලෝකයේ මොවුන්
සැලකෙනුයේ සමාජ දූෂකයන් වශයෙනි. මේ පිළිබඳ තොරතුරු චක්කවත්තිසීහනාද සූත්‍රය ඇසුරෙන්
පැහැදිලි කරගත හැකි ය.
සෑම මිනිසෙකු තුළම විවිධ අපේක්ෂා පවතී. දැනුම් තේරුම් ඇති වියට පැමිණීමත් සමඟ ඒවා
ඉටු කර ගැනීම උදෙසා ඔවුහු සැලසුම් සකසති. ඇතැම්හු සැලසුමට අනුව උත්සාහ කරති.
ඇතැම්හු ප්‍රාර්ථනා කරති. එහිදී කිසිවක් සියයට සියයක්ම සාර්ථක නොවන අතර, අනවබෝධය
නිසා ඔවුහු ආවේගකාරීව ක්‍රියා කිරීමට පෙලඹෙති. ආවේග පාලනය පිළිබඳව අවබෝධය වැදගත්
වන්නේ එවිටය. අපේක්ෂාභංගත්වය නිසා ඇතිවන ආවේග පාලනය කර ගත නොහැකි වූ කල්හි විපත්
සිදු කර ගැනීම හෝ අනුන්ට විපත් සිදු කරවීම පිළියම් නොවේ. සියදිවි හානි කර ගැනීම
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර ගැනීම, කලකිරීමෙන් ජීවත්වීම, අනුන් සතු දේ අයුතු ලෙස ලබා
ගැනීමට වෑයම් කිරීම, ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑම් වැනි අපරාධවලට යොමුවීම,
බුද්ධිහීනත්වයේ ප්‍රතිඵල වේ. සැබැවින්ම තරුණයකු නම් වෙනස් ලෙස සිතන්නට විය යුතුය.
අලුත් නිර්මාණ විෂයෙහි උද්‍යෝගයක් තිබිය යුතුය. වෙනත් විදිහකින් කිවහොත් විවර නොවූ
මඟ විවෘත කරන්නකු විය යුතුය. බුදුදහම අලෞකිකත්වය අගයන දහමක් වුවද තරුණ වියේදී
ගිහියකු වශයෙන් කෙළි සෙල්ලම් කිරීම, විනෝදවීම, ආදරය කිරීම, විවාහ වී දරුවන් බිහි
කිරීම, වෘත්තීය කටයුතුවල යෙදීම, ධනය ඉපයීම ආදී ලෞකික වින්දනයන් පහත් ක්‍රියාවන් ලෙස
පරිභවයට ලක් කොට නැත. තරුණ වියේදී ලෞකික දියුණුව සලසා ගැනීම අවශ්‍යතාවයක් ලෙස
බුදුදහම පිළිගනී. එහිලා පසුගාමී වීම පශ්චාත්තාපයට කරුණක් ලෙස ද බුදුදහම දක්වා ඇත.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි.
- හේමමාලා රන්දුනු |