[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මුනි සිරිපාදේ - බුදුරැස් විහිදේ

මුනි සිරිපාදේ - බුදුරැස් විහිදේ

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ බුද්ධ භක්තිය සහ පී‍්‍රතිය ඇති කෙරෙන ශ්‍රී පාද වන්දනා සමය වසරක් පාසා උඳුවප් පුර පසළොස්වක (දෙසැම්බර්) පොහොයෙන් ආරම්භ වී වෙසක් මස ( මැයි) පසළොස්වක පොහොයෙන් අවසාන වන්නේ ය. ඈත අතීතයේ පටන් ම ශ්‍රී පාදස්ථානය නැතහොත් සමනල කන්ද බෞද්ධ, හින්දු, මුසිල්ම්, කතෝලික ආදි බොහෝ බැතිමතුන්ගේ ද දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ ද ආදරයට පාත්‍ර වූ ආගමික භූමියක් බව ඉතා පැහැදිලි ය.

ක්‍රි.ව. දෙදහස් විසිහතර (2024) වසර වෙනුවෙන් ශ්‍රී පාද වන්දනා සමය දැන් ආරම්භ වී ඇත.

ශ්‍රී පාද පද්මය පිහිටි සමනල කන්ද අනාදිමත් කාලයක සිටම ලංකාවේ ඉතා සුප්‍රසිද්ධ ගිරිකුලක් විය. උසින් අඩි දහස් ගණනක් වූ මේ මහා කන්ද ඉතිහාසයේ දී විවිධ නම්වලින් හඳුන්වා ඇති බව සොයාගත හැකි වේ. රෝහණ පබ්බත, ලංකා පබ්බත, සුමනකූඨ, සමන්ත කූඨ, සුමනගිරි ආදි නම්වලින් හඳුන්වා ඇති මේ විශාල කන්ද පිහිටි ප්‍රදේශය ශ්‍රී පාද අඩවිය (ශ්‍රී පාද ඉසව්ව) ලෙසින් ද ප්‍රසිද්ධ ව ඇත.

දකුණු ඉන්දියාවේ “මණිමේඛලා” නම් වූ ග්‍රන්ථයේ සඳහන් වන්නේ මේ මහා කන්ද ‘සමනොලි‘ නමින් ය. හින්දු භක්තිකයන් විසින් මේ මහා කන්ද ‘ශිවනාඩි පාදම්’ පිහිටි කන්ද ලෙසත්, කිතුනු භක්තිකයන් විසින් ආදම්ගේ මුදුන (ඇඩම්ස් පීක්) ලෙසත් මුස්ලිම්වරුන් විසින් මේ මහා කන්ද ‘බබා ආඩමලෙයි’ ලෙසත් හඳුන්වා ඇති බව පොතපතේ සඳහන් වේ.

සංකීර්ණාත්මක පුරාවෘත්තවලින් යුතු මෙම කඳුවැටිය චිත්තාකර්ෂණීය බවෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද ආගමික හැඟීම් උද්වහනය කරන ස්ථානයක් ලෙසින් ද වැදගත් වන බව දක්නට ලැබේ. සමනලකන්ද නැතහොත් ශ්‍රී පාද කන්ද ප්‍රධාන කොට ඇති සිරිපා අඩවිය සබරගමුව පළාතත්, මධ්‍යම පළාතත් තුළ පැතිර පවතී.

ශ්‍රී පාද කන්ද, සමනල කන්ද ආදි වශයෙන් බෞද්ධයන් විසින් හඳුන්වන මෙම මහා කඳුවැටිය පිළිබඳ ආගමික වශයෙන් ද ජනශ්‍රැති වශයෙන් ද ඉතිහාසයේ සඳහන් වන්නේ විස්මයජනක තොරතුරු ය. බෞද්ධයන් පිළිගන්නේ අපගේ ගෞතම බුදුරදුන්ගේ වම් ශ්‍රීපතුලේ සලකුණක් කඳු මුදුනේ සටහන් කර ඇති බව ය. බෞද්ධයන් අතර ඇති තවත් විශ්වාසයක් වන්නේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන තුන් (3) බුදුවරයන් වහන්සේගේ ශ්‍රී පාද සලකුණු ද සමනල කන්දේ පිහිටුවා ඇති බව ය.

ඒ අනුව අපගේ ගෞතම බුදුන් වහන්සේ තුන්වන වාරයේ ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ දී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව පරිදි උන්වහන්සේගේ වම් ශ්‍රී පතුලේ සටහනක් සමනල කඳු මුදුනේ පිහිට වූ බව ලංකා ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව මෙම මහා කන්ද ශ්‍රී පාද කන්ද නමින් ප්‍රසිද්ධව ඇත්තේ ය.

අතීතයේ පටන් ම ගෞතම බුදුන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳවත් මේ දක්වා ලියවුන පද්‍ය සහ ගීත නිර්මාණ සංඛ්‍යාව අති විශාල ය. එසේ නම් මේ සිරිපා වන්දනා සමයේ ශ්‍රී පාදය ගැන ලියවුන අපගේ පැරැණි සිංහල බෞද්ධ ගීත ගැන සොයා බැලීම ඉතා සුදුසු යැයි සිතමි.

ගීතය වනාහි පොදු ජන හදවතට ඉතා සමීප වූ කලා මාධ්‍යයක් බව පැවසිය හැකි ය. පෙරදිග සහ අපරදිග සමහර ආගම් ඇදහීමේ දී ප්‍රකාශ කරනු ලබන සමහර වචන මාලාවන් (යැදීම් ආයාචනා) ගීතවත් ස්වරූපයෙන් ගායනා කිරීම නිසා ආගමික අභිවාදන ගීත නිර්මාණය වන්නට ඇති බව අනුමාන කළ හැකි ය. ඒ අයුරු ශ්‍රී පාද ස්ථානය සමඟ බැඳුණු ගීත රාශියක් (ගුවන් විදුලි සහ චිත්‍රපට) අපේ පැරැණි බෞද්ධ ගීත අතර දක්නට ලැබේ.

“ශ්‍රී සර ශ්‍රී මුනි ශ්‍රී පාදේ
ශ්‍රී සෙත සාදන නිර්වාණේ
භක්ති පේ‍්‍රමෙනා
සාක්‍ය සීලෙනි
වර්ණ ගන්ධ සොඳ කුසුමන් වන්දන
ශ්‍රී සර ශ්‍රී මුනි ශ්‍රී පාදේ...........”

ආදි වශයෙන් රුක්මණී දේවි ගායනා කළ මෙම ගීතයේ සමනල කන්ද ගැනත් සිරිපතුල ගැනත් සඳහන් වේ. යහපත් වූ නිර්වාණයේ ශාන්තිය සාදන ශ්‍රී පාදයට වර්ණවත් සුගන්ධ මල් සහ සඳුන් කපුරු ආදියෙන් පූජා කොට භක්ති පේ‍්‍රමයෙන් නමදින බව ගීතයේ සඳහන් වේ. ශ්‍රී නාමයෙන් හඳුන්වන්නේ ඉතාම උසස් තත්ත්වයකි. භාරතීය සංස්කෘතිය අනුව සියලු දෙව්, මිනිස් ප්‍රාණීන් අතර අග්‍රවීම නැතහොත් උසස්වීම ශ්‍රී නාමයට සුදුසුකමක් වන්නේ ය. නිර්වාණය යනු පරම සුන්දර තැනකි. භවය පුරා ඇලි ඇලී යන තෘෂ්ණාවෙන් වෙන්වීම නිර්වාණයයි.

රම්‍ය දර්ශනේ සමන්ගිරේ
සුදිලි සෝභන පුණ්‍ය සාරවූ
නේක භීත සංසාර සාගරේ
එතෙර වන්නට වඳිමි අභිනන්දන
ශ්‍රී සර ශ්‍රී මුනි ශ්‍රී පාදේ......”

(රුක්මනි දේවි)

සමනල කන්දේ දැකීම ඉතාම සුන්දර බවත් පින් මහිමයෙන් පිරුණා වූ සමන්ගිරේ පිහිටියා වූ මුනීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී පාදය අති භයංකර සංසාර සාගරයෙන් එතෙරවීම සඳහා භක්තියෙන් වඳින බව මෙහි සඳහන් වේ. මනාව පිහිටි චක්‍ර ලක්ෂණ ඇතුළත්වීම, හා දික්වූ ඇඟිලි එක සමානව පිහිටීම ආදි මංගල පුරුෂ ලක්ෂණවලින් බුදුන් වහන්සේගේ සිරිපතුල ශෝභමාන ව ඇති බව පොත පතේ සඳහන් වේ.

“පත්මේ වඳිම් සිරීපාදේ
දිලෙනා සමන් දෙවිඳු පායේ
හෝ සුවඳ පැතිරේ සමන් මල් පිපීලා
සීත සුළඟින් ගිමන් යයි සිඳීලා
රාත්‍රි චන්ද්‍රා සෙමින් එයි නැඟීලා
ලෙනා සමන් දෙවිඳු පායේ
හෝ – සීත ගඟුලේ සිසිල් පැන් ජලා සේ
නාමු නාමූ ගිලීලා සැපා දේ
ඕ පඬුරු බඳිනා ලෙසින් වෙලාවේ
දහරා රශ්මි විහිදේ
දිලෙනා සමන් දෙවිඳු පායේ
හෝ – ශාන්ති පතලා නිර්වාණේ
වඳිමු වඳිමු බැතින් මුනි ශ්‍රී පාදේ
හෝ පොහොදා උතුම් ගී ගයා මේ
පැතිරේ සාධු ශීල භාවේ
දිලෙනා සමන් දෙවිඳු පායේ......”

(රුක්මනී දේවි)

සමන් දෙවිඳුන්ගේ ප්‍රාසාදයේ පිහිටි නෙලුම් මලක් වැනි ශ්‍රී පාදය වඳිමු. නෙලුම් මල ඉතා අලංකාර අගනා පුෂ්පයකි. සමන් මල් සුවඳ පැතිරී යන සීත සුළඟින් බැතිමතුන්ගේ ගමන් වෙහෙස නිවී යන්නේ ය. රාත්‍රියේ චන්ද්‍රයා සෙමින් සෙමින් නැඟී එන අතර, සමන් දෙවිඳුන්ගේ ප්‍රාසාදයෙන් සාධු නාදය පැතිර යන්නේ ය. සිරිපා ගමනේ දී බැතිමතුන් අතරමඟ සීත ගඟුලෙන් ස්නානය කර පිරිසිදු වී නැවත ගමන් ඇරඹීම සිරිතක් වන්නේ ය. කුරුවිට – එරත්න මාර්ගයේ හමුවන සීත ගඟුල සමනල කන්දේ පි‍්‍රයංකර ස්ථානයකි. සමන් දෙවිඳුන්ගේ ප්‍රාසාදයෙන් බුද්ධ රශ්මි විහිදෙන්නේ ය. ගලාගෙන යන ගඟුලැල්ලක් වූ සීත ගඟුල බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සීතල වූ ජලප්‍රවාහයක් ලෙසින් ය.

අතීතයෙ ්දි රාම කුමාරයාගෙන් සීතාව පැහැරගත් රාවණා තෙමේ ඇය සමනල කන්දේ රහස් ස්ථානයක සඟවා තැබූ බව ද එම කාලයේ දී සීතාව ජල ස්නානය කරන ලද්දේ මෙම සීත ගඟුලෙන් බවද අදහස් කෙරේ. අපගේ ගෞතම බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කිරීමේ දී සීත ගඟුලෙන් මුහුණ අත් පා දෝවනය කළ පුවතක් පිළිබඳව පොත පතේ සඳහන් වේ.

1955 වර්ෂයේ දී ප්‍රථම වරට තිරගත කළ ‘සුරඟනී’ චිත්‍රපටයට ඇතුළත් වූ ගීතයක සඳහන් වන්නේ සිරිපා අඩවියේ අධිපති සමන් දෙවියන්ට කරන දුක්ඛදායක ආයාචනයකි.

දෙවිඳේ ...................හෝ....................

දෙවිඳේ ......................ඈත සමනල

කන්දේ මා හිමයේ

මං මුළාවී හසරක් නොදැනී

තනි වූ මට වෙනු මැන කරුණා

දෙවිඳේ ...................

බිය දේවි හර්දෙ නැඟේ සෝ ගිනී

නො දැනේවී මාර්ගෙ වුනා මා තනී

සිරිපාද පද්මාධිපති සුරිඳේ

අයියෝ කිමද මට මේ වුනේ

දෙවිඳේ  ................

කොයිදෝ අනේ මාගෙ පෙම් රාජයා

සුරිඳේ සොයා දෙන්න මා දුක් නිවා

මායාවකි පේ‍්‍රමේ නෑ සම්පතා

වෙනු මැනවි පිහිටක් අනෙ මා බලා

දෙවිඳේ ....................

(ජී.එස්. බී. රාණි පෙරේරා)

මෙම ගීතයේ සඳහන් වන්නේ පේ‍්‍රමවන්තියක් තමන්ගේ පේ‍්‍රමවන්තයා සොයා දෙන ලෙස ශ්‍රී පාද ඉසව්වට අධිපති සමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින අතිශය බැගෑපත් ආයාචනයකි. මෙම තරුණිය සමනල කන්දේ මහා හිමකූඨයේ මං මුළාවී තනිවී ඇත්තී ය. ඇය ඇගේ පේ‍්‍රමවන්තයා සොයා යන ගමනේ දී සමනල අඩවියේ මහා හිමයේ මෙසේ මඟ නොදැන නො සිතූ අයුරු අතරමං ව තනිවී ඇත්තී ය.

සමනල කඳු අඩවියේ අතරමං ව තනිවීම ඉතා භයානක ය. එසේ මඟ වැරැදී අතරමං වූ කෙනකුට කිසිවකුගෙන් හෝ පිහිටක් ලැබීම ඉතා සැක සහිත ය. බියට පත් වූ ඇයගේ හදවත සෝක ගින්නේ ගැලී ඇත. ඇයගේ අඳෙීනාව ඉතා දුක්බර ය. ඇය දෙවියන්ගෙන් කරුණාව අයදින්නී ය.

ඇය සොයා යන්නේ ඇයගේ පේ‍්‍රමවන්තයා ය. අතරමං වූ ඇයට දෙවියන්ගේ පිහිට හැර වෙන කිසිවෙකුගේ හෝ පිහිටක් ඇත්තේ නැත. ඇය පිහිට අයදින්නේ ශ්‍රී පාද පද්මයට අධිපති සමන් සුරිඳුගෙන් ය. දෙවිවරුන් ළඟ ඇත්තේ කරුණාව ය. ඇය දුකෙන් භරිතව දෙවියන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ හිමයේ අතරමං වූ ඇයට තමන්ගේ පේ‍්‍රමවන්තයා සොයා දෙන ලෙස ය.

ශ්‍රී පාද අඩවියේ අතරමං වුවහොත් එකම පිහිට සමන් දෙවියන්ගේ පිහිට පමණක් ය යන විශ්වාසයක් බෞද්ධයන් අතර පවතී. සෝවාන් මාර්ගයට පත්ව සිටින සමන් දෙවියන්ගේ කරුණාව අති මහත් ය.

අතීතයේ දී සුමන නම් තැනැත්තා සමනල කන්දට අධිපති ප්‍රාදේශීය නායකයෙක් ව සිට ඇති බවත් පසුව එතුමා ප්‍රාදේශීය දෙවියකු වශයෙන් ජනතාව අතර ගෞරවයට පත්වූ බවත් සුමන දෙවියන් ගේ ආරාධනයෙන් ගෞතම බුදුන් වහන්සේ සමනල කන්දේ සිරිපා පිහිටුවීමෙන් පසුව වඩාත් ගෞරවයට පත් වූ බව පොතේ සඳහන් වේ. අනතුරුව සමන් දෙවියෝ සම්බුද්ධ ශාසනය රැකීමට භාර ගත් දෙවියන් ලෙස ද ප්‍රසිද්ධව ඇත.

සුද්ද ලෙසින් නිති ගත බබළන්නේ
සුද්ද ඇතා පිට මැද වැඩ ඉන්නේ
බුද්ධ සාසනේ දියුණු කරන්නේ
සුද්ද සමන් දෙවියෝ ය වඩින්නේ

(පුරාණ කවි)

සිරිපා කන්ද (සමනල කන්ද) අඩවිය තුළ සමන් දෙවියන්ගේ උයනක් තිබෙන බවට ද විශ්වාසයක් පවතින්නේ ය. සිරිපා වන්දනාවේ ගොස් මාර්ගය මඟ හැරී අතරමං වන්නවුන් සමන් දෙවියන්ගේ කරුණා බලයෙන් එම ස්ථානයට සමීපවන බවත් ඒ අනුව ඔවුන් නැවත හමුවන බවටත් ජනතාව අතර කතාවක් පවතින්නේ ය.

‘සුරඟනී’ චිත්‍රපටයට ඇතුළත් වු තවත් ගීතයකින් ඇසෙන්නේ සිරිපා වන්දනාවේ ඇති ආගමික භක්තියයි.

“ඕ සෑසි ලෝනා මාගේ
සම්බුදු සිරිපාදේ
දිලෙනා වූ බුදු රශ්මි විහිදමිනේ
බුදු සිරිපාදේ බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනල යේ
සමන් දෙවිඳු කරුණාවෙන්
සිරිපා පියුම්
සුගත සෑසි ලෝනා
වඳිමු බැතින්
නඟා දෝත සෑමා තියා මල් පුදා
යමු සිරිපාදේ වඳිනා ලෙසින්
යමු සිරිපාදේ
කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි
දුක දුරු කර දෙවි පිහිට ලබා
වඳිමු පුදමු සිරිපද දිලෙනා......”

(ගායනය - ජී.එස්. බී. රාණී පෙරේරා සහ පිරිස)

ශ්‍රී පාද අසිරිය ගැන කියවෙන මෙම සමූහ ගීතය රසිකයන් අතර ජනපි‍්‍රය වූ බෞද්ධ ගීතයකි. බුදුන් වහන්සේ ශාක්‍ය වංශයට සිංහයෙක් බඳු විය. සම්මා සම්බුද්ධ වූ බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයෙන් බුදු රැස් විහිදෙන බව ගීතයේ සඳහන් වේ. අතීත, වර්තමාන, අනාගත යන තුන්කාලයට ම සියලු දේ අත්ලෙහි වූ නෙල්ලි ගෙඩියක් මෙන් මනාව දන්නා බැවින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුතු විය.

බුද්ධ රශ්මිය නම් නීල, පීත ආදි වූ සවණක් රැස් මාලාව ය. බුදුන් වහන්සේ සියලු කෙලෙස් බිඳ දමා නිවනට ගමන් කළ බැවින් යහපත් ගමනක් ඇති උත්තමයෙකි. උන්වහන්සේ සුන්දර පි‍්‍රයවචන ප්‍රකාශ කරන බැවින් සුගත නම් වීය. මෙහි සඳහන් වන්නේ සමන් දෙවියන්ගේ කරුණාවෙන් ශ්‍රී පාදය වඳින ලෙස ය. බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල නෙලුම් මලක් ලෙස හඳුන්වාදී ඇත. දොහොත් නඟා මල් පූජා කොට භක්තියෙන් සැම දෙනාම ශ්‍රී පාදය වඳිමු.

ශ්‍රී පාදය වඳින්නට යන බෞද්ධයන් සැමවිට ම යදින්නේ සමන් දෙවියන්ගේ කරුණාව ය. සිරිපා වන්දනා ගමනේ දී බෞද්ධයෝ සිරිපා වැඳීමට ඉහළට නඟින බැතිමතුන්ටත් ශ්‍රී පාදය වැඳ පහළට බසින බැතිමතුන්ටත් සමන් දෙවියන්ගේ කරුණාව ප්‍රකාශ කරති.

“.........වඳින්ට යන මේ අයියට සුමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නංගිට සුමන සමන් දෙවි පිහිටයි........”

බෞද්ධයන් විශ්වාස කරන්නේ සමන් දෙවිඳුන් රත්නපුර මහ සමන් දේවාලයේ වැඩ සිටින බව ය.

1958 වර්ෂයේ දි ප්‍රථම වරට ප්‍රදර්ශනය කළ “දෙයියන්ගේ රටේ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එල්.එස්. රාමචන්ද්‍රන් මහතා ය. දෙයියන්ගෙ රට යනු සිරිපා අඩවියයි. එම චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ ගීත කිහිපයක ශී‍්‍ර පාදය ගැනත් ඒ අවට සුන්දර පරිසරය ගැනත් තොරතුරු ප්‍රකාශ වන්නේ ය.

“සීත සුනිල් දිය දහරා –

ලානිල් කඳු මනහාරා

තුරුලිය පිරිලා – වනමල් පිපිලා

සිත අලවයි – ඇස නළවයි

තුන් සරණේ කවි කියලා –

ධර්මරාජ ගල නැඟලා

ගෙත්තම් පානේ – ගෙත්තම් කරලා

මහගිරිදඹ පසු කරලා

යං යං යං – හනිකට යං

සුමන සමන් දෙවි පිහිට ලබන්

මුනි සිරිපාදේ – බුදුරැස් විහිදේ

සමන්ත කූඨ රජාගේ.......”

(ගායනය – එච්. ආර්. ජෝතිපාල)

සිරිපා අඩවියේ සුන්දරත්වය මෙම ගීතයේ විස්තර වේ. නිල් පැහැයෙන් බබළන කඳු යායේ ඇත්තේ සමනල වනාන්තරයයි. විවිධ වු ගස් වැල් පිරුන කඳු අතරින් ලා නිල් පැහැති දිය දහරා ගලා බසින්නේ ය. ලංකාවේ දර්ශනීය මනස්කාන්ත දිය ඇලි රාශියක්ම ගලා බසින්නේ ශ්‍රීපාද කන්ද (සමනල කන්ද) ආශ්‍රයෙන් ය. ගැරඬි ඇල්ල, බෝපත් ඇල්ල, පුවක්මල්ල ඇල්ල, දෝතලු ඇල්ල, ගලගම ඇල්ල ඉන් කිහිපයකි.

සිරිපා වන්දනාවේ යන බොදු බැතියන්ගේ එකම ගායනය බුද්ධ, ධම්ම, සංඝ යන තුන් සරණේ කවි ගායනාව වන්නේ ය. තුන්සරණේ කවි ගායනය ගමන් වෙහෙස මඟ හරවන්නේ ය.

බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
එඤ්ඤයි තුන් සරණේ අදහාගෙන

පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
මැදයම ධම්මං සරණේ ගඤ්ඤයි
අලුයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන්යමට ම තුන් සරණේ ගඤ්ඤයි

(පුරාණ තුන් සරණය)

සිරිපා වන්දාන ගමනේ ගෙත්තම්පාන නැතහොත් ඉඳිකටු පාන විශේෂ නැවතුම් පළකි. අතීතයේ සමනල කන්ද (ශ්‍රී පාද කන්ද) තරණය කිරීමට පහසුකම් නො තිබුණ අතර, එකල ශ්‍රී පාදය වැඳීමට සමනල පියසට ගිය බැතිමතුන් ගේ ඇඳුම් සහ රෙදිපිළි ආදිය ගස් අතුවල සහ වන ලැහැබවල පැටලීමෙන් ඉරී ගිය බැවින් ඒ සියල්ල නැවත අලුත්වැඩියා කර ගත යුතු විය. එසේ ඉරී ගිය ඇඳුම් සහ රෙදිපිළි නැවත මසා ගෙත්තම් කළ ස්ථානය ගෙත්තම් පාන නමින් ප්‍රසිද්ධව ඇත. ඒ පිළිබඳව එක් ජන ප්‍රවාදයක සඳහන් වන්නේ ගෞතම බුදුන් වහන්සේ ද ගෙත්තම්පානේ දී එසේ සිවුරු ගෙත්තම් කළ බව ය.

එසේම පළමු වරට (කෝඩු) සිරිපා වැඳීමට සමනල කන්දට (ශ්‍රී පාද කන්දට) පැමිණෙන බෞද්ධයකු විසින් ගෙත්තම්පානට නැතහොත් ඉඳිකටුපානට ගෙනයාම සඳහා ඉඳිකටුවක් සහ නූල් ද රැගෙන යාම අවශ්‍ය බව ප්‍රකාශ වේ.

මහගිරිදඹය ගැන ද ගීතයේ සඳහන් වන්නේ ය. මහගිරිදඹය හමුවන්නේ හැටන් – නල්ලතන්නි – මාර්ගයේ ය. මහගිරිදඹය පසු කිරීම ඉතා දුෂ්කර බව සඳහන් වේ. බිම් මට්ටමේ සිට එක එල්ලේම ඉහළ කඳු මුදුනට ඇදී යන මහගිරිදඹය සමන්තකූටයේ ඉහළම කොටස වන්නේ ය. මහගිරිදඹය තරණය කිරීමෙන් පසුව උඩමලුවට පැමිණිය හැකි වේ. මේ සැම තැනක දී ම බැතිමතුන් සමන් දෙවියන්ගේ කරුණාව යදිති. චිත්‍රපටයට මෙම අගනා ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර සූරීන්ය.

පායලා සූර්ය දෙව් රාජයා –
ආකාසේ අවධි වුණා
ශ්‍රී පා හිමේ
සිරිප පාද හිමේ දෙයියන්ගෙ රටේ මේ ශාන්ත උදේ සූර්යෝදේ
මනහර කඳු පෙළ කාන්ති දේ නවෝදේ
මිහිදුම් සේලේ ඉරාලා – ආසාවේ සිනහා පාලා
මිහිලියගේ නාරි දේහේ – සිම්බා තුරුල්වී හිරු මේ
ගංගා ඇළ දොල වනමල් තුරුලිය වඳී නැමී සිරිපාදේ
සැදැහැතියෝ දෙති සාධු සාධු නාදේ
සිංහලයේ කීර්ති රඳනා –
රන් සමනල රක්ෂා කරනා
සෙන්පති මුල වාගෙ පෙනෙනා පූජනීය සීත හිමයේ
බෑන සමනල කුනුදිය පර්වත ගවරවිලේ මහ කන්දේ
ඔද තෙද මහ සිහ රාජ බැම්ම වාගේ

(ගායනය – මොහිදින් බෙග්)

සාහිත්‍යයේ සඳහන් වන්නේ සූර්යයා නැතහොත් හිරු දිව්‍යරාජයෙක් ලෙස ය. ශ්‍රී පාද අඩවියට උදෑසන හිරු නැඟීමේ මනස්කාන්ත දර්ශනය ගීතයේ විස්තර වේ. පරිවාර කඳු පන්තියකින් වටවී ඉතාමත් අලංකාර ලෙස පිහිටා ඇති ශ්‍රී පාද කන්ද (සමනල කන්ද) පිළිබඳ අතිශයින් ම සිත් ඇදගන්නා ආශ්චර්යවත් සිදුවීම වන්නේ සිරිපා කන්දේ උඩමලුවට දර්ශනය වන අලුයම හිරු උදාවීම ය. එහිදී ඈත සිතිජයෙන් මෝදුවී එන සූර්ය කිරණ මොහොතින් මොහොත විවිධ වූ රටාවන් මවමින් ආකාශයේ පැතිර යනු දැක ගත හැකි වේ.

ඈත සිතිජය පසුබිම් කොට උඩ මලුවේ දී අලුයම දකින්නට ලැබෙන “ඉර සේවය” නම් වූ එම සූර්යෝදය ශ්‍රී පාද අඩවිය පිළිබඳ අපූර්ව සිදුවීමක් වන්නේ ය.

මීදුම අතරින් ගලා එන හිරු රැස් පොළොවට පතිත වීම පිළිබඳ ගීතයෙන් ප්‍රකාශ වන්නේ පොළොව මහී කාන්තාවගේ (මිහිකතගේ) දේහය (ශරීරය) සූර්යා විසින් සිපගත් බවකි. ඒ සමඟම සුන්දර වූ අවට පරිසරයෙන් ඇසෙන්නේ සැදැහැතියන්ගේ භක්තිමත් සාධු නාදයයි. ශී‍්‍රපාද කන්ද සිංහල දේශයේ කීර්තිය නංවන සීත හිමයේ පිහිටි සේනාපතීන්ගේ මූලස්ථානයක් ලෙස දක්වා ඇත්තේ ය. බෑන සමනල කන්දත්, කුනුදිය පර්වතයත්, ගවර විලේ මහා කඳු වැටියත් ශ්‍රී පාද කන්ද ආරක්ෂා කරන තෙද බලයෙන් යුක්ත මහා සිංහ පවුරක් ලෙස ගීතයේ දක්වා ඇත.

සමනල කන්දට කෙළින් බටහිර දෙසට පිහිටි කුනුදිය පර්වතය ගැන ජනප්‍රවාදයක සඳහන් වන්නේ වජ්‍රාසනය අබියස දී සිදුහත් බෝසතාණන් වහන්සේට විරුද්ධකම් කළ වසවත් මරු තෙමේ ගෞතම බුදුන් වහන්සේ සමනල කන්ද මුදුනෙහි ශ්‍රී පාද ලාංඡනය තැබීමට පැමිණෙන (වඩින) විටදී උන්වහන්සේ වඩින මාර්ගය අවහිර කරන්නට උත්සාහ ගත් බැවින් සක් දෙවිඳු විසින් එය වළක්වා මාර්ගය මත සලකුණක් දක්වා (ඉරක් ඇඳ) එයින් එපිටට නොයන ලෙස වසවත් මරුට අණ කරන ලද අතර, එය නො තැකූ වසවත් මරු එක් පාදයක් ඔසවා ඉදිරියට තැබූ අවස්ථාවේදී ඔහුගේ එම පාදය කුණුවූ දියර ගලා ගිය බැවින් එම ස්ථානය කුනුදිය පර්වතය නමින් ප්‍රසිද්ධ වූ බවය.

‘දෙයියන්ගෙ රටේ’ චිත්‍රපටයට එම අර්ථවත් ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර සූරීන්ය. 1978 වර්ෂයේ දී ප්‍රදර්ශනය කළ “ශ්‍රී පතුල” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්කට් මහතා ය. එම චිත්‍රපටයේ එක් ගීතයක ඇතුළත් වූයේ ශී‍්‍ර පාදය පිළිබඳ බොදු බැතියෙන් හද සනසන පදමාලාවකි.

සකල සතම බොදු බැතියෙන්
නමදින දුර හැර හැම භේදේ
සුගත තථාගත ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ
සිරිපාදේ.........
සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
අරනෙ හිමව්
නිවන් මඟට යන පහන් ටැඹක් බඳු
බුදු සිරි පතුල නමව්
කරුණාවයි – කරුණාවයි
සමන් දෙවිඳු කරුණාවයි
උපන්න දා සිට කළ පව් දුරු වෙයි
සිත යහමඟට නැමී ...

(ගායනය – මොහිදීන් බෙග්)

ශ්‍රී පාදය නම් ගෞතම බුදුන්ගේ උතුම් වූ මංගල ලක්ෂණයන්ගෙන් අනූන වූ වම් පාද ලාංඡනයයි. භාග්‍යවත් බුදුන් වහන්සේ සියලු ක්ලේශයන් ප්‍රහීන කොට නිර්වාණයට ගමන් කළ අතරම, සුන්දර වූ යහපත් වචන ප්‍රකාශ කළ බැවින් සුගත නම් වීය. කිසිවකුගේ ඉගැන්වීම්වලින් තොරව උන්වහන්සේ නිර්වාණය අවබෝධ කළ බැවින් ලෝකයට මුදුන් මල්කඩක් මෙන් ධර්මයෙන් බබළන්නේ ය. එනිසා බුදුන් වහන්සේ ලෝක සිවංකර නම් වන්නේ ය. ඒ අනුව සෑම දෙනාම සියලු භේදයන් (බෙදීම්) ඉවත දමා බොදු බැතියෙන් ශ්‍රී පාදය නමදින්නෝ ය.

හිම ගත අරණේදී (සමනල අඩවියේදී) සැනසිලි දායක හැඟීම්වලින් සිත ප්‍රබෝධ වන්නේ ය. බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල නිර්වාණ මාර්ගය පෙන්වන්නා වූ ආලෝකවත් පහන් ටැඹක් (ප්‍රදීප ස්තම්භයක්) වන්නේ ය. සිරිපා වන්දනාව බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කරන ගමනක් වන්නේය. සිරිපා කරුණා කිරීමේ දී බොදුනුවෝ අපේක්ෂා කරන්නේ සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයයි.

“අපේ බුදුන් අපි වඳින්න
එරන් පතුල අපි වඳින්න
පෙරළි පෙරළි අපි වඳින්න
සමන් දෙවිඳු පිහිට වන්න.....”

(සිංහල ජනකවි)

සිරිපා වන්දනාවේ දී සියලු පාපයන් දුරු වී යන්නේ ය. උතුම්වූ බුදුන්ගේ ශ්‍රී පතුල නො දකින ඇස්වලින් ප්‍රයෝජනයක් නැති බව ගීතයේ සඳහන් වන්නේ ය.

මේ අනුව විමසා බැලීමේදී ශ්‍රී පාදය ගැන ලියවුන ඉතා අර්ථවත් පැරැණි සිංහල බෞද්ධ ගීත රාශියක් ම අපට සොයාගත හැකි වන්නේ ය.

නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]