අනගාරික ධර්මපාල චින්තනය නැවත කියවමු
බත්තරමුල්ල
මයුරපාද මහ පිරිවෙන් විහාරාවාසී
රාජකීය පණ්ඩිත
රත්මලානේ රතනසිරි හිමි
අනගාරික ධර්මපාල චින්තනය පිළිබඳ නැවත කියවීමක් අවශ්‍ය යුගයකට අද අප අවතීර්ණ වී ඇත.
වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ශාසනික හා ආර්ථික පරිහානියට පිළියම් ධර්මපාල
චින්තනය මඟින් අපවෙත උදාකරගත හැකි ය. වර්තමාන යුගය කියවා ගැනීම සඳහා ධර්මපාල
චින්තනයෙන් ලැබෙන්නේ මනා පිටිවහලකි.
ධර්මපාලතුමාගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සිංහාවලෝකනයක යෙදීම සඳහා උචිත
අවස්ථාවක මේ මොහොතේ අප සිටින බවට ප්‍රධාන කරුණු තුනක් හඳුනාගත හැකි ය.
අපට
සුදුසු ආර්ථික හා සමාජ දර්ශන හා භාවිතය කවරක් ද යන ප්‍රශ්නය අද වන විට වඩාත් ප්‍රබල
ලෙස දැනෙමින් තිබීම.
අන්තර් ආගමික සම්බන්ධතා, ආගමික යහපැවැත්ම හා යහපැවැත්ම යන කරුණු විෂයෙහි බෞද්ධාගමික
ස්ථාවරය හා භික්ෂු කාර්යභාරය පිළිබඳ ඉතා ආන්දෝලනාත්මක අවස්ථාවක අප පසුවීම.
භික්ෂුවගේ වර්තමාන ක්‍රියාකාරීත්වය බුද්ධ ශාසනයේ ස්ථාවරයට කෙතෙක් දුරට බලපාන්නේ දැ
යි විමසීම.
මෙම කරුණු තුනට අදාළ වන ජාතිකත්වය හා දේශපාලන චින්තනය, ආර්ථික චින්තනය හා ආගමිකත්වය
හෙවත් බුදුදහම සහ භික්ෂූන් වහන්සේ ධර්මපාලතුමාගේ ක්‍රියාකාරීත්වයේ ඉතා මූලික අංග වූ
බව නිසැක ය.
වර්තමාන ශ්‍රී ලාංකේය අර්බුදය මැනවින් කියවාගත හැකි මූලාශ්‍රය ලෙස ධර්මපාලතුමා
විසින් ලියන ලද ‘දැනගත යුතු කරුණු’ කෘතිය දැක්විය හැකි ය. එම කෘතියේ නාමය තුළින් ම
එහි අන්තර්ගතය තෛ‍්‍රයිකාලික ලාංකේය මනුෂ්‍යයා විසින් ප්‍රත්‍යවේක්ෂාවක් මඟින්
දැනගත යුතු ය. උම්බලකඩ භාවිතය අත්හැර දමනු යන ශීර්ෂය යටතේ ධර්මපාලතුමා අපට පෙන්වා
දෙන්නේ ආනයන ආර්ථිකය මත යැපෙන සමාජයක පරිහානියේ පෙරනිමිත්තයි.
ධර්මපාලතුමාගේ ස්වීයත්වය වන්නේ පෙළ අටුවා පාඨ ආධාරයෙන් වර්තමාන ප්‍රශ්න දෙස
ධර්මානුකූල ව දැකීමට තිබූ හැකියාවයි. එබැවින් එතුමා මතුකළ කරුණු බුදුසමය හා
ප්‍රතිවිරෝධීභාවයක් නොගෙන, කාලත්‍රය වර්ති චින්තනයක් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත.
පොල්, ගම්මිරිස්, මිරිස්, කිරි, සීනි, උම්බලකඩ, වස්ත්‍ර, පිඟන්, ලාම්පු, සබන් යනාදී
සිංහලයන් විසින් ප්‍රයෝජන ගන්නා ද්‍රව්‍ය මෙරටට ගෙනෙන්නේ කොයි රටවලින්දැයි දැන
ගැනීම ඉතා ප්‍රයෝජනයි යනුවෙන් ධර්මපාලතුමා දක්වන්නේ ලක්දිවින් විදේශගතවන මුදල් පොදි
යන රටවල් දැන ගැනීම තුළින් එම රටවලින් අපට අනාගතයේ දී එල්ලවන අභියෝග හඳුනා ගැනීම
පහසුවීම පිණිස ය. සමහර අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සඳහා වර්තමානයේ අප කොතරම් නම්
මුදලක් නාස්ති කරන්නේ ද යන්න ආර්ථික විශේෂඥයින් විසින් වර්තමානයේ හෙළිකරමින් සිටී.
එය ධර්මපාලතුමා දැක්කෙ අද ඊයේ නොවේ. එදා සිට අද දක්වා ලක්දිව ආර්ථික පරිහානියක මූල
හේතු අතර ප්‍රධාන වූයේ එම හේතුවයි. එම හේතුව අප තවම මැනවින් හඳුනාගෙන නැත. එය හඳුනා
ගැනීම සෑම සිංහලයකුගේ ම අර්ථඤාණ අක්ෂය අවධි වීමට හේතු වන්නේ ය.
“එක ගෙදරකින් දිනපතා පණම, පණම් දෙක, පණම් හතර බැගින් මේ කුණු මාළුවලට වියදම් කරනු
ලැබේ. බොම්බයිකාරයෝ මේ වෙළඳාමෙන් ධනය රැස් කරති. මෝඩ සිංහලයන්ට උම්බලකඩ නැතුව ආහාර
ගැනීම අමාරුයි....”
රටේ ආර්ථිකය මෙන් ම පවුලේ ආර්ථිකය ද පරිහානියට හේතු වන අත්‍යවශ්‍ය නොවන පරිභෝජන
රටාවකට යම් කුටුම්භයක් යොමු වූ විට සිදුවන්නේ මහත් ඛේදයකි. අධිපරිභෝජන සමාජ ක්‍රමය
අධිකව වර්ධනය වන සමයට පුද්ගලයාගේ අසහනය ඊට සාපේක්ෂක ව වර්ධනය වීමට විසඳුම්
ධර්මපාලතුමා දක්වන්නේ “අස්සාද, ආදීනව, නිස්සරණ යන ලක්ෂණ හඳුනාගෙන ප්‍රත්‍යවේක්ෂාව
මඟින් තම මූලික අවශ්‍යතා අධිපරිභෝජනයට නොගොස් භාවිතයයි. එමඟින් සැහැල්ලු දිවි
පෙවෙතක් පුද්ගලයාගේ චරියාව තුළත් චිත්ත සන්තානය තුළත්, ගොඩනැඟේ. එය අද්‍යතන අසහනය
වර්ධනය වන සමාජයට මාහැඟි ඔවදනකි.
වර්තමානයේ ලක්දිව ඇතැම් භික්ෂූන් චර්යාත්මක වශයෙන් පැවිද්දට නොගැළපෙන හැසිරීමක්
දක්වන්නේ භික්ෂුව, විනය හා ධර්මය මූලික වූ භික්ෂු අධ්‍යාපනයෙන් වෙන් වී ධර්මධර,
විනයධර භාවයෙන් වේගයෙන් පහතට යමින් සිටිනා බැවිනි. මේ බව අනගාරික ධර්මපාලතුමා විවිධ
අයුරින් භික්ෂූන් වහන්සේ වෙත සන්නිවේදනය කිරීමට උත්සුක වී ඇත. එම යුගයේ ඒ අදහස එදාට
වඩා අදට යෝග්‍ය බව පෙනේ.
රෝමානු රටවල පූජකවරුන් මෙන් භික්ෂූන් ද ජීවිතය ගත කරන්නට පටන් ගත්තොත් ඉතා ඉක්මනින්
ම සම්බුද්ධ ශාසනය ලංකාවෙන් නැති වී යන බව එදා ධර්මපාලතුමා දුටුවේ ය. බටහිර
අධිරාජ්‍යවාදීන් විසින් කතෝලික යුරෝපීය මොඩලයේ බුද්ධ ශාසන පරිපාලන ක්‍රමයක් විහාර
දේවාලගම් ආඥා පනත් ඔස්සේ අධිපති නායක ආදී වශයෙන් ශාසනයේ ප්‍රජාතන්ත්‍රිය ලක්ෂණ
හඳුනා නොගෙන ස්ථාපනය කරන ලදි. එහි ඵලවිපාකය ධර්මපාලතුමා මැනවින් දුටුවේ ය. එය අද
අපගේ දෑස් ඉදිරියේ විද්‍යමාන නොවන්නේ ද?
“නායක අනුනායක තනතුරු වැඩි කර ගැනීම ශාසන දියුණුවට හේතු නොවන්නේ ය. අභිජ්ඣා,
ව්‍යාපාද, සාරම්භ, මක්ඛ, පලාස, මොහ, මද, මාන, ඊර්ෂ්‍යා ආදිය වැඩි වීම හේතු කොටගෙන
භික්ෂූන්ගේ උතුම් ගුණධර්ම නැතිවීමෙන් ශාසන පරිහානිය වන්නේ ය.”
බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා තවත් ප්‍රධාන අංගයක් වන්නේ පර්යාප්තිධරත්වයයි. වර්තමානය
වන විට භික්ෂු පෞරුෂයේ හීනභාවයට පර්යාප්ති ශාසනය භික්ෂුව විසින් ව්‍යක්ත, විශාරද
භාවයට පමුණුව, නොගැනීම ද හේතු වේ. ත්‍රිපිටක පාලිය පිළිබඳ මෙන්ම, අට්ඨකථා, ටීකා සහ
ප්‍රකරණ පිළිබඳ පෘථුල දැනුමක් අධර්මවාදීන් මතනය විෂයෙහි භික්ෂුව සතු විය යුතු ය. ඒ
සඳහා ප්‍රබලම කාරකය වන්නේ පාලි භාෂාව පිළිබඳ භික්ෂුව තුළ පවත්නා නිපුණතාවය යි.
වර්තමාන සමාජ ක්‍රමය හමුවේ පාලි ආදී විෂයවලට වඩා භික්ෂුව ලෞකික විෂයන් ප්‍රගුණ
කිරීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බව හඳුනාගත හැකි ය.
ධර්මපාලතුමා අපට එදා කියා දුන්නේ භික්ෂුවගේ පූර්ණ පෞරුෂ සංවර්ධනයට පාලි භාෂාව මෙන්
ම වෙනත් යුරෝපීය නූතන භාෂාවන් මැනවින් ග්‍රහණය කර ගැනීම වැදගත් වන බවයි.
“ස්වල්ප වශයෙන්වත් පාලි භාෂාව දැන ගැනීම හේතු කොටගෙන තථාගත ධර්මය භාවිත කිරීමට
මාර්ගය තැනේ.....”
වර්තමාන සිංහල දරුවන් නොමඟ යන හැටි පිළිබඳ ධර්මපාලතුමා මෙසේ සඳහන් කොට ඇත.
“සිංහල දරුවන්ට බාල කාලයේ දී වත් පිළිවෙත් කියා දීමට කිසි කෙනෙකු නැති බැවින් ඔවුහු
තරුණ වයසට පැමිණි කල ශීල විපත්ති, ආචාර විපත්ති, දෘෂ්ටිවිපත්ති යන මේවාට
පැමිණෙත්.....”
අතීතයේ පන්සල ගමේ දරුවන්ගේ සාරධර්ම තක්ෂලාව බවට පත්විය. දරුවෝ ජීවිතය උගත්හ. ශිල්ප
උගත්හ. විනය උගත්හ. අද විහාරස්ථානය හා ගම අතර සම්බන්ධය හුදු ආගමික වතාවත්වලට, බණට,
දානයට, පාංශුකූලයට පමණක් සීමා වී ගෙන යාම වහා නවතා දමා ගමේ තක්ෂිලාව බවට නැවතත්
පන්සල ආයුතු ය. ඒ සඳහා අපේ ගම්වල පොඩි හිමිවරුන් අප දැන් සිටම දක්ෂතාවලින්
නිපුණතාවලින්, කුසලතාවලින් ගොඩනැඟිය යුතුව ඇත.
“අපේ භික්ෂූන් වහන්සේගේ අන්තෙවාසීන්ට බුද්ධ ධර්මය බාල කාලයේ දී ම ඉගැන්විය
යුතුයි.....”
“සිංහල බෞද්ධයා” පත්‍රයට ප්‍රයෝජනවත් වැදගත් ලියවිලි, කියා එවීමට ප්‍රාචීන
විභාගවලින් සමත්වූ භික්ෂූන් විසින් කරුණාවෙන් හිතට ගත යුතුයි.....”
දැනගත යුතු කරුණු - පි. 29
ධර්මපාල චින්තනය වර්තමාන ශ්‍රී ලංකාවේ සෑම අංශයක ම ගැටලු සඳහා අවශ්‍ය කරන පිහිටාධාර
ලබා ගැනීමට අපට මාර්ග දර්ශනය වන්නේ ය. එය අප දැඩිව සිතට ගත යුතු ය. නැවත ප්‍රබල
කතිකාවතක ධර්මපාල චින්තනය පිළිබඳ ව කතිකාවතක් සමාජය තුළ ඇති කිරීමට සුදුසු කාලය
එළඹී ඇත. එයට සියල්ලන්ට ම ශක්තිය ලැබේවා. |