Print this Article


අපවත්වී වදාළ සිතුල්පව්ව නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්

අපවත්වී වදාළ සිතුල්පව්ව නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්

ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මඟුල් මහාවිහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, ගාල්ල හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක , උපාධ්‍යාය ධුරන්ධර, ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර, අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ දෙසැම්බර් මස පළමු වන දින කොළඹ දී අපවත් වී වදාළහ.

අපවත් වන විට අසූතුන් වැනි වියේ පසු වූ නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව දෙසැම්බර් මස 05 වැනි දා යටගල රාජමහා විහාරස්ථ ආදාහන මළුවේ දී සිදු කෙරුණි.

අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය දෙසැම්බර් 02 වන දින පෙරවරුවේ රථ පෙරහරකින් යටගල රාජමහා විහාරය දක්වා රැගෙන ගිය අතර 03 වැනි දා සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය වෙත රැගෙන ගොස් අවසන් ගෞරව දක්වා නැවතත් 04 වන දින යටගල රාජමහා විහාරය වෙත රැගෙන එන ලදී. මඟ දෙපස රැස්ව සිටි ජනතාව නාහිමිපාණන් වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වූහ.

මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද කරුණාව දැක් වූ වියත් මහ තෙර නමක වශයෙන් ප්‍රකටව සිටි සිතුල්පව්වේ නාහිමිපාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම පිණිස රටේ සතර දිග් භාගයෙන් මහා සංඝරත්නය, සහ ගිහි සැදැහැවත්හු වැළ නො කැඩී පැමිණියහ.

දෙසැම්බර් 04 වන දින පෙරවරුවේ සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ දී මතකවස්ත්‍ර පූජාවක් පවත්වන ලද අතර, 05 වන දින සන්ධ්‍යාවේ යටගල රාජමහා විහාරස්ථානයේ දී අවසන්, ආගමික වතාවත් සිදු කරන ලදි. මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ආගමික වතාවත් සිදු කළ අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, අමරපුර ධර්මරක්ෂිත මහානිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහිදී අනුශාසනා සිදු කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩය ද, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා හිටපු ජනාධිපති තුමාගේ ශෝක පණිවුඩය ද, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අග්‍රාමාත්‍යතුමාගේ ශෝක පණිවුඩය ද ඉදිරිපත් කළහ. මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී නාහිමි ඇතුළු කාරක සංඝ සභික හිමිපාණන් වහන්සේ, කෝට්ටේ රෝහණ පාර්ශ්වවල අනුනාහිමිපාණන් වහන්සේ, විද්‍යාලංකාර පරිවේණාධිපති නාහිමි, ශ්‍රීපාදස්ථානාධිපති නාහිමි ඇතුළු තෛ‍්‍රනිකායික මහානායක , අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය වෙත චීවර පූජා කිරීම සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදැටියන ගුණරතන නාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් සිදු කෙරුණි.

සිතුල්පව්ව මගුල් මහාවිහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු දෙස් විදෙස් සැදැහැතියන් විශාල පිරිසකගේ සෝ සුසුම් මැද හිරු බසිනා සන්ධ්‍යාවේ චිතකයට ගිනි දල්වන ලදී.