Print this Article


සැරියුත් හිමියන්ගේ සිංහ නාදය

සැරියුත් හිමියන්ගේ සිංහ නාදය

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයෙක මහා නුවණැති සාරිපුත්ත මහරහතන් වහන්සේ වස් වාසය කොට තම පිරිවර සමඟ ධර්ම චාරිකාවෙහි හැසිරීමට පිටත් වූහ. වෙනත් භික්ෂූහු ද උන්වහන්සේ සමඟ වැඩම කරන්නට සූදානම් වූහ. සැරියුත් තෙරණුවෝ චාරිකාවේ නොයා යුතු අයට “ඔබ වහන්සේ නවතින්න” යැයි පවසති.

මේ අතරේ එක් අප්‍රකට භික්ෂුවක් “දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මගේ නමත් කියා මටත් නවතින්න කියනවා නම් හොඳයි” කියා සිතුවේ ය. සාරිපුත්ත හිමියන්ටද එසේ නම කියා පිටත්වන්නට බැරි විය. ඒ අතර, සැරියුත් හිමියන්ගේ සඟල සිවුරු කොණ අර භික්ෂුවගේ ශරීරයේ ද වැදිණි. මේ දෙකරුණ නිසා එම භික්ෂුව සැරියුත් තෙරුන් කෙරෙහි ද්වේෂයක් ඇති කරගෙන සැරියුත් තෙරුන් ජේතවනාරාම සීමාවෙන් ඉවත් ව යනතුරු සිටියේ ය.

සැරියුත් හිමියෝ දෙව්රමින් නික්මුණහ. මහා විශාල කේළමක් කීමට මුව සරසාගත් වෛරී සිත් ඇති අර භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිණි.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අර සාරිපුත්ත ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක කියා මානයෙන් වගේ මේ කන් පෙත්තට මේ කන් සිල කැඩෙන තරම් වේගයෙන් තද කනේ පහරක් දී සමා කර ගන්නේ නැතිව පිටත් වුණා.

“ සාරිපුත්තය නැවත පැමිණෙන්න” යැයි සැරියුත් තෙරුන්ට භික්ෂුවක මඟින් භාග්‍යවතුන් වහන්සේගෙන් පණිවිඩයක් ලැබිණි.

මහ මුගලන් හිමියෝ ද ආනන්ද හිමියෝ ද මෙසේ සිතන්නට වූහ. අපගේ වැඩිමල් සොහොයුරු සැරියුත් තෙරුන් විසින් මෙවැන්නක් නොකළ බව ශාස්තෘන් වහන්සේ දනිති. සැරියුත් තෙරුන් ලවා සිංහනාද කරවනු කැමැත්තෙන් වන්නේ ය. ඉක්බිති උන්වහන්සේ අරමෙහි දොරටු විවර කොට “ඇවැත්නි පැමිණෙන්න.” අද ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිංහනාද කරනවා ඇති” යනුවෙන් භික්ෂු සංඝයා රැස් කරවූහ.

සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පසව සිටි සේක.

“සාරිපුත්තය, ඇත්තද මේ භික්ෂුවට කනේ පහරක් දී සමා කර නො ගෙන පිටත් වුණා ය කියන්නේ” සැරියුත් හිමියෝ “මම එසේ නොකෙළෙමැ” යි වදනින් නො පවසා මෙසේ බිණූහ.

“ස්වාමීන්, භාග්‍යවතුන් වහන්ස, යම්කිසි භික්ෂුවක් හරි හැටි කය අනුව ගිය සිහිය වඩා පුරුදු කොට, නිතරම කය අනුව ගිය සිහිය සිතේ පිහිටුවා නැති නම් එවැනි භික්ෂුවක් ම ඔවැනි කටයුත්තක් කරයි.”

“භාග්‍යවතුන් වහන්ස, මහ පොළව මතට පිරිසුදු දේත්, අපිරිසුදු දේත්, අශූචිත්, මුත්‍රත්, කෙළත්, සැරවත්, ලේත් දමනු ලැබේ. ඒ වුණත් මහ පොළව එයින් පීඩාවකට, ලජ්ජාවකට පත්වන්නේ නැත. හිරිකිත බවක් ඇතිකර ගන්නේත් නැත. එසේම මමත් මහ පොළව මෙන් පුළුල් වූ, මහත් වූ, අප්‍රමාණ වූ අවෛරී වූ, නිදුක් වූ, සිතක් ඇතිව වාසය කරමි.

මහත් ගුණ ඇති සැරියුත් හිමියෝ ප්‍රඥාවෙන් යථාර්ථය දකිමින් ම මෙසේ වදාරන කල ජලය කෙළවර කොට ඇති මහ පොළොව කම්පා විය.

“භාග්‍යවතුන් වහන්ස, ජලයෙන් පිරිසුදු දේත් අපිරිසුදු දේත්, අසූචිත්, මුත්‍රත්, කෙළත්, සැරවත්, ලේත් හෝදනු ලැබේ. ඒ වුණත් ජලය එයින් පීඩාවකට ලජ්ජාවකට පත් වන්නේ නැත. හිරිකිත බවක් ඇති කර ගන්නේත් නැත. එසේම මමත් ජලය මෙන් පුළුල් වූ, මහත් වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, නිදුක් වූ සිතින් වාසය කරමි.”

අහෝ අසිරියකි! යළිදු මිහිකත කම්පා විය. මේ ආකාරයට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ පරම නිහතමානිත්වය දක්වන තවත් උපමා හතක් වදාළ සේක.

“භාග්‍යවතුන් වහන්ස, ගින්න පිරිසුදු දේත්, අපිරිසුදු දේත්, අසූචිත්, මුත්‍රත්, කෙළත්, සැරවත්, ලේත් පුච්චයි. වාතය පිරිසුදුදේත්, අපිරිසුදුදේත්, අසූචිත්, මුත්‍රත්, කෙළත්, සැරවත්, ලේත් පිසගෙන හමා යයි.

පිස්නාකඩ පිරිසුදු දේත්, අපිරිසුදු දේත්, අසූචිත්, මුත්‍රත්, කෙළත්, සැරවත්, ලේත් පිසියි.

චණ්ඩාල දරුවෙක් හෝ දැරියක් නගරයකට, ගමකට, නියම්ගමකට ඇතුළු වන විට පැසක් අතින් ගෙන වැරහැලි කඩක් ඇඳගෙන ඉතා නිහතමානිව ඇතුළු වෙයි.

අං කැඩුණු ගොනෙක් හතරමං හන්දියෙන් හතරමං හන්දියට ඇවිදින විට පයින් හෝ අතින් හෝ කිසිවකුට පීඩා නොකරයි.

තරුණයෙක් හෝ තරුණියක් නා පිරිසුදු වී සැරසී සිටින විට බලු කුණක් හෝ සර්ප කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලේ එල්ලුවොත් ඉතා ලජ්ජාවට පීඩාවට පත්වෙයි.

“ස්වාමීනි, මම ඒ ගින්න මෙන් ද වාතය මෙන් ද පිස්නාකඩ මෙන් ද, චණ්ඩාල දරුවකු මෙන් ද, නා පිරිසුදු වී සිටි තරුණයකු මෙන් ද, අමු මස් හැළියක් ගෙන යන පුරුෂයෙක් මෙන් ද, මේ කුණු කයින් පෙළෙමින්, ලජ්ජා වෙමින්, පිළිකුල් කරමින් වාසය කරමි. භාග්‍යවතුන් වහන්ස, පුරුෂයෙක් සිදුරු, මහ සිදුරු ඇති උඩින් ද, යටින්ද උතුරන අමු මස් හැළියක් ගෙන යයි. ස්වාමීනි, එසේම මම ද කුඩා මහත් සිදුරු ඇති උඩින් යටින් අශූචි ගලන මේ ශරීරය පරිහරණය කරමි.

මේ අසිරිමත් උපමා පෙළ වදාළ අවස්ථා නවයේ ම මහ පොළව කම්පා විය. පෘථග්ජන භික්ෂූන්ගේ ඇස්වලට කඳුළු උනා එන්නට විය. රහතන් වහන්සේට ධර්ම සංවේගය උපදවන්නට විය.

“ස්වාමීනි, මම බාලයකු මෙන් වැරැද්දක් කළෙමි.”

“මම සාරිපුත්ත ස්වාමීන් වහන්සේට අසත්‍ය වූ, සාවද්‍ය වූ, සිදු නොවූවකින් චෝදනා කළෙමි. භාග්‍යවතුන් වහන්ස, මත්තෙහි සංවර වීම පිණිස ඒ මගේ වැරැද්ද වැරැද්ද වශයෙන් පිළිගන්නා සේක.

භාග්‍යවතුන් වහන්සේ, “සාරිපුත්ත මොහුගේ හිස මෙතැනට හත්කඩකට පැළේ නම් එයට පෙරම මේ හිස් පුද්ගලයාට සමාව දෙන්න”යැයි වදාළ සේක.

“ස්වාමීනි, ඒ ආයුෂ්මතුන් වහන්සේ, මගෙන් ඉල්ලයි නම්, මම උන්වහන්සේට සමාව දෙමි.”

ප්‍රඥාවෙන් මුදුන් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෙම අභීත සිංහනාදයෙන් මහපොළොව නව වරක් කම්පා වූයේ එය ඇත්ත ඇති සැටියෙන් විදහා දැක්වූ අසිරිමත් සත්‍ය ප්‍රකාශයක් වූ නිසා ය. ඒ අන් දෙයක් නොව බොහෝ කලක් පෙරුම් පුරා අවබෝධ කොටගත් චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය යි. ඒ උත්තම සත්‍ය අවබෝධය කොට ගෙන අපගේ සිරුරත් පිස්නා කඩකට සමකොට දකින්නට ප්‍රඥාව වඩමු.

(සාරිපුත්ත සිහනාද සූත්‍රය ධම්මපද අටුවාව ඇසුරෙනි)