ජීවිත ආශාව අතහැර
සමාදන් වූ සිල්පද
රැක ගත් හැටි
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
දුදනන් මොනදේ කිව්වත්, මොන දේ කළත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සීල ගුණයක් හෝ
වෙනත් ධර්ම කරුණක් හෝ යමෙක් ක්‍රියාවට නඟනවා නම් ඔහුට හෝ ඇයට මෙලොව දී ම එහි හොඳ
විපාක ලැබෙනවා. ඒක ස්වභාව ධර්මයෙන් හෝ තමන් සමීපයට ගෙනත් දෙනවා. කිසිම අවස්ථාවක
ධර්මය පහතට දාලා වැඩ කරන්න යන්න එපා
අනුරාධපුර යුගයේ මුල් අවධියේ ලංකාවේ තිබුණා කම්පු ග්‍රාම කියලා ගමක්. කපුගම කියලත්
මේ ගමට කිව්වා. කපු වගාව බොහෝම ඉහළින් වගා කරපු ගම්මානයක්. ජීවත් වෙන මිනිස්සුත්
හරිම ගුණ යහපත්. කෙනෙක් දුකට පත් වුණහම ඉදිරිපත් වෙලා පිහිට වෙනවා. සිල් සමාදන්
වෙලා තමන්ගේ ජීවන කටයුතු හොඳින් කර ගෙන ගියා.
බණ අහන්න ආරාම ඉදිකරවලා භික්ෂූන් වහන්සේ වැඩමවා ගෙන උපස්ථාන කළා. නිතර බණ ඇහුවා.
සිල් සමාදන් වෙලා භාවනා කළා. මෙහෙම සතුටින් ජීවත් වන කොට තවත් පිරිසකට ඕන වුණා
භික්ෂුණීන් වහන්සේ ද ගමට වැඩමවා ගන්න. භික්ෂූන් වහන්සේගේ අවසරය ඇතිව විශාල ආරාමයක්
සකස් කර භික්ෂුණීන් වහන්සේත් වැඩමවා ගත්තා.
උපාසක අම්මලා වැඩි පිරිසක් තමන්ගේ දූවරුනුත්, මුනුබුරු මිනිබිරියනුත් සමඟ ආරාමයට
යන්න පුරුදු වුණා. බණ ඇහුවා. සිල් රැක්කා. ඒවගේම භාවනා කටයුතුත් කළා. භික්ෂුණීන්
වහන්සේට හොඳින් උපස්ථාන කළා. ආරාමයේ පිරිස ක්‍රමයෙන් වැඩි වුණා. භික්ෂූණීන් වහන්සේ
එක්කෙනා දෙන්නා වුණා. දෙන්නා තුන්දෙනා වුණා. මෙහෙම භික්ෂුණීන් වහන්සේ සමූහයකින්
ආරාමය පිරී ගියා. වත්පිළිවෙත් කිරීම, භාවනා කටයුතු කිරීම, ධර්ම දේශනා කිරීම හොඳින්
ම සිදු වුණා.
ආරාමය ළඟින් ගලාගෙන යනවා විශාල ගංගාවක්. පිරිසුදු වතුරින් මේ ගඟ පිරී තිබුණත් ගමේ
හැම කෙනෙක් ම මේ ගංගාවේ දිය නාන්න යන්නේ හරිම අවධානයෙන්. හැම වෙලේම ගමේ පිරිමි
උදවිය ගඟේ නාන්න යන අය ගැන අවධානයෙන් ඉන්නේ. දවසක් ගමේ ආරාමයට දුර පළාතකින් ආවා
තරුණ භික්ෂුණීන් වහන්සේ දෙනමක්. මේ දෙනම පිණ්ඩපාතය වළඳලා සවස් යාමේ දිය නාගන්න ගඟට
යන්න අවසර ඉල්ලුවා. ආරාමයේ වැඩිහිටි භිකෂූණීන් වහන්සේ කිව්වා.
අපේ උපදේශය නම් යන්න එපා කියන එක තමයි. ගගේ කිඹුල්ලු ඉන්නවා. ගමේ කිහිප දෙනෙක් ම මේ
වෙන කොට අල්ලා ගෙන කාලා තියනවා. ඒ නිසා යන්න එපා. ආරාමයේ තියෙන ළිදෙන් පැන් පහසු
වෙන්න’ යි කියලා උපදෙස් දුන්නා.
එහෙම උනත් මේ තරුණ භික්ෂූණීන් දෙදෙනාට ගඟෙන් නාගන්න යන්නම තමයි ආශාව. අවසානයේ
දෙන්නාම කතා කරලා තීරණය කර ගත්තා. කිඹුල්ලු ගැවසෙන්නේ නැති තැනකින් ඉතාම පරිස්සමින්
නාගන්න ඕන’ කියලා. නෑමට අවශ්‍ය දෑත් රැගෙන ගඟට ගිහින් නාන්න පටන් ගත්තා. මේ දෙන්නා
ටික වේලාවක් නාමින් ඉන්න කොට එක් කිඹුලෙක් එතැනට ඇවිත් එක් තරුණ මෙහෙණින් වහන්සේ
නමක් අල්ලා ගෙන යන්න ගියා. අනෙක් මෙහෙණිය මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. එතැන
හිටිය මිනිසුන්ට මේ හඬ ඇහිලා දුවගෙන ඇවිත් බලන කොට දැක ගන්න ලැබුණා වුණු විපත.
මෙහෙණියත් කෑ ගහ ගහ ආරාමය පැත්තට දුවන ගමන් හිටියේ. අසල හිටපු අනෙක් පිරිසත් ගං
ඉවුරේ හිටගෙන බලාගෙන ඉන්නවා. මේ අතරේ එක් තරුණයෙක් ගඟට පැන්නා. ඉණේ තිබුණු දෙපැත්ත
කැපෙන කිනිස්සත් ගෙන කිඹුලා ඉන්න පැත්තට ම පීනාගෙන ගියා. කිඹුල් කටේ හිටිය
භික්ෂූණිය වේදනාවෙන් කම්පා වෙමිනුයි හිටියේ.
ඒ අතරේ ඇය දැක්කා තමන් මුදවා ගන්න තරුණයෙක් එන බව. ඒ මොහොතේ ම ජීවිතය ගැන නො හිතා
කිව්වා. තරුණය, මා දිහාවට එන්න එපා, මාව අල්ලන්න එපා. මගේ ජීවිතය නැති වුණත් කමක්
නෑ. මට ජීවිතයට වඩා වටිනවා බුදුරජාණන් වහන්සේ පණවපු සිල්පදය ආරක්ෂා කර ගැනීම. මාව
අල්ලන්න එපා. මාව අල්ලන්න එපා’යි කියමින් නැවත නැවතත් සංඥා කළා. කිඹුලා ඒ හඬට බය
වුණා. ඒ කීමත් එක්කම ඌ වේගයෙන් ම ගොදුර අත්හැර දාලා යන්න ගියා. භික්ෂුණියගේ
අත්,කකුල්වලිනුත්, ශරීරයෙනුත් ලේ ගලනවා. ඇයට ඇවිද ගන්නවත් බෑ. තරුණයා ඇගේ අපහසුතාව
දැක නැවතත් ඇයට උදව් වෙන්න උත්සාහ කළා.
ඒ හැම මොහොතක ම ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. හෙමින් හෙමින් ගං ඉවුරට ඇවිත් ලේ ගලන
දෙපා එක්තැන් කර ගනිමින් ඉඳගත්තා. ලේ ගලන දෑත් එකතු කර ගත්තා. ලේ ගලන ශරීරය ඍජුව
තියා ගත්තා. බියත්, වේදනාවත් අමතක කර දැම්මා. අසල හිටපු හැමෝම පුදුමයෙන් පුදුමයට
පත් වුණා. මරණයට සූදානම් වෙනවා ඇති’යි හැමෝම හිතුවා.
බියෙන් පලා ගිය අනෙක් මෙහෙණියත් මේ වෙන කොට ළඟට ඇවිත් හිටියා. ඇයත් තුවාලවලට බෙහෙත්
කරන්න රැගෙන යන්න උත්සාහ කළා. ඒ එකකින්වත් ප්‍රයෝජනයක් වුණේ නෑ. පඨවී, ආපෝ, තේජෝ,
වායෝ යන සතර මහා භූතයන්ගෙන් සැදුණු මේ ශරීරයේ නිසරු බවත්, බුදුරජාණන් වහන්සේගේ
ධර්මයේ වටිනාකමත් සිහිකරමින් භාවනාවට එළැඹුණා. ටික වේලාවයි ගියේ මෙහෙණිය රහත්ඵලයට
පත් වුණා.
ඇය අවට දැන් විශාල පිරිසක් එකතු වෙලා බලාගෙන ඉන්නවා. තරුණ පිරිසට වැඩිහිටි හැමෝම
වාගේ දොස් කියන්න පටන් ගත්තා
‘මේ වේදනාවෙන් පීඩා විඳින මෙහෙණින් වහන්සේ බලෙන් හරි බෙහෙත් කරන්න ඔසවාගෙන අරගෙන
යන්න’ කියලා. ඒ පීඩනයත් එක්ක එතැනට එකතුවෙලා හිටිය තරුණ පිරිස මෙහෙණියව ඔසවාගෙන
යන්න ඇගේ කය අල්ලන්නට සැරසෙනවාත් සමඟ ඇය ඍද්ධියෙන් අහසට නැඟිලා භාග්‍යවතුන් වහන්සේ
වෙත වැඩම කළා ‘යි කතා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.
බලන්න පින්වතුනි, මේ තරුණ මෙහෙණින් වහන්සේගේ සීල ගුණයේ මහිම ය. බුදුරජාණන් වහන්සේ
දේශනා කළ එක ශික්ෂා පදයක් ආරක්ෂා කරන්න ඇගේ ජීවිතයත් පරදුවට තැබුවා. එහි විපාකය ඇයට
මෙලොව දී ම ලැබුණා.
අපේ සමාජයේ ජීවත්වන අය තමන්ගේ යහලු යෙහෙළියන්ට කියන්නේ ඔය සිල් රැකලා වැඩක් නෑ. ඕවා
ගෙනියන්නේ නෑ කියලා. දුදනන් මොනදේ කිව්වත්, මොන දේ කළත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ
උතුම් සීල ගුණයක් හෝ වෙනත් ධර්ම කරුණක් හෝ යමෙක් ක්‍රියාවට නඟනවා නම් ඔහුට හෝ ඇයට
මෙලොව දී ම එහි හොඳ විපාක ලැබෙනවා. ඒක ස්වභාව ධර්මයෙන් හෝ තමන් සමීපයට ගෙනත් දෙනවා.
කිසිම අවස්ථාවක ධර්මය පහතට දාලා වැඩ කරන්න යන්න එපා. හැම මොහොතක ම ධර්මයට, සීලයට
අනුව කටයුතු කරන්න. ඒ මඟ යන අයගේ මෙලොව ජීවිතය වගේ ම පරලොව ජීවිතයත් සාර්ථක
වෙනවා'යි අපට මේ කතාවෙන් උපදෙස් ලබා දෙනවා. |