Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් 08 කොටස:

සුවපත් මනසක් සුවබර දිවියක් 08 කොටස:

විපස්සනා භාවනාව ජීවත්වන හැටි  ඉගෙන ගැනීමටයි

නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල බව නිසාම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත ර්ඪදඤටභතදඥඵඵ ඪද නතචඪද ඡ්දඨතඪඵඩ (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන අතර මේ එම ලිපි මාලාවේ අට වැන්නයි.

භාවනා පුහුණුව වැඩි වන තරමට ඔබ ඔබගේ පැවැත්මේ සත්‍ය ස්වභාවය පිළිබඳ වඩාත් යහපත් අවබෝධයක් ලබා ගනියි. භාවනාවේ යෙදෙන පැය ගණන වැඩිවන විට, සිතේ ඇතිවන සෑම සිතිවිල්ලක්, චේතනාවක් හා චිත්ත ආවේගයක් දෙසම නිසලව හා සන්සුන්ව බලා හිඳීමේ හැකියාව ද දියුණු වෙයි.

විමුක්ති මාර්ගයෙහි ඔබ ලබන දියුණුව භාවනා මෙට්ටය මත ගත කරන පැය ගණන අනුව මිනිය හැකි ය. මේ ක්‍රියාවලිය තුළදී ප්‍රමාණවත් යැයි ඔබට හැඟෙන ඕනෑම විටක නැවැත්විය හැක. ජීවිතය පිළිබඳ සත්‍ය තත්ත්වය දැන ගැනීමේ කැමැත්ත සහ තමාගේ සහ අන් අයගේ ජීවන පැවැත්ම වඩා හරවත් කර ගැනීමේ ආශාව හැරුණු විට ඔබට වෙනත් බලකිරීමක් නැත.

විපස්සනාව අවශ්‍යයෙන් ම අත්හදා බැලීමකි. එය න්‍යායාත්මක නැත. භාවනා පුහුණුවන අතරතුරේ දී ජීවිත අත්දැකීම් හා හැඟීම් කෙරෙහි ඔබ තුළ වඩාත් සංවේදී බවක් ඇතිවනු ඇත. ඔබ වාඩිවී, ජීවත් වීම පිළිබඳ උදාර සිතිවිලි මවමින් කාලය ගත කරන්නේ නැත. ඔබ ජීවත් වෙයි. විපස්සනා භාවනාව යනු, අන් සෑම දෙයකට ම වඩා, ජීවත්වීමට ඉගෙන ගැනීමයි.

පසුගිය ශතවර්ෂය තුළ බටහිර විද්‍යාව සහ භෞතික විද්‍යාව විශ්මයජනක සොයා ගැනීමක් කළේ ය. ඒ, අපි අප දකින ලෝකයේ ම කොටසක් බවයි. අපගේ නිරීක්ෂණ ක්‍රියාවලිය අතරතුරම අප නිරීක්ෂණය කරන වස්තුව වෙනස් වෙයි. උදාහරණයක් ගත් කල ඉලෙක්ට්‍රෝනය අතිශයන් ම කුඩා වස්තුවකි. එය උපකරණයක් නැතිව දැකගත නොහැකිවා මෙන්ම, නිරීක්ෂකයා දකින දෙය තීරණය කරන්නේ උපකරණය විසිනි. ඉලෙක්ට්‍රෝනයක් දෙස එක ආකාරයකින් බලන විට තම මාර්ගයෙහි ඍජු රේඛා දිගේ වීසිවෙමින් යන කුඩා බෝලයක් ලෙස පෙනෙයි. තවත් ආකාරයකට බලන කල තද ගතියක් නැති තරංගයක් මෙන් වෙයි. එය දිලිසෙමින් සැම දිශාවටම දඟලන බව දැකීමට පිළිවන. ඉලෙක්ට්‍රෝනයක් ද්‍රව්‍යයකට වඩා සිදුවීමකට සමාන කළ හැකියි. නිරීක්ෂණය කරන්නා තමාගේ නිරීක්ෂණය තුළින්ම එම සිදුවීමට සහභාගි වෙයි. මෙම අන්තර් ක්‍රියාව කිසිසේත් මඟ හැරීමට බැරි ය.

බොහෝ කලකට පෙර මෙම මූලධර්මය පෙරදිග විද්‍යාව විසින් හඳුනාගෙන තිබුණි. මනස යනු සිදුවීම් සමූහයක් වන අතර, තමාගේ ඇතුළාන්තය දෙස බලන සෑම අවස්ථාවක දී ම නිරීක්ෂකයා එම සිදුවීම්වලට සහභාගී වෙයි. භාවනාව සහභාගිත්ව නිරීක්ෂණයකි.

ඔබ නිරීක්ෂණය කරන දෙය එම ක්‍රියාවලියට ප්‍රතික්‍රියා දක්වයි. මේ අවස්ථාවේ දී ඔබ බලන්නේ ඔබ දෙස මෙන් ම වන අතර, ඔබට පෙනෙන දේ තීරණය වන්නේ ඔබ බලන ආකාරය මතයි. එමනිසා භාවනාවට ඉතාමත් ප්‍රවේශමෙන් මැදිහත් විය යුතුවා මෙන් ම එහි ප්‍රතිඵල මුළුමනින් ම භාවනානුයෝගියාගේ මානසික තත්ත්වය මත රඳා පවතියි.

සාර්ථක පුහුණුවක් සඳහා පහත දැක්වෙන ආකල්ප ඉතා වැදගත් වනු ඇත. එයින් බොහොමයක් මීට පෙර ද සඳහන් වුණි. නමුත් නැවතත් ඒවා භාවිතය සඳහා නීති රෙගුලාසි මාලාවක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමු.

කිසිවක් බලාපොරොත්තු නොවන්න

වාඩිවී, සිදුවන්නේ කුමක් ද යන්න බලන්න. මුළු සිදුවීමම අත්හදා බැලීමක් ලෙස සලකන්න. පරීක්ෂණය කෙරෙහි ක්‍රියාකාරී උනන්දුවක් දක්වන්න. නමුත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඔබගේ අවධානය පරීක්ෂණයෙන් ඉවතට නොගන්න. අනෙකක් තබා කිසිදු ප්‍රතිඵලයක් ගැන සිතා ඔබගේ සිත කරදරයට පත් කර ගත යුතු නැත. රිසි පරිදි වේගය හා දිසාව හසුරුවා ගැනීමට භාවනාවට ම ඉඩ දෙන්න. ඔබට ඉගැන්වීමට භාවනාවට ඉඩ සලසන්න. භාවනාත්මක දැනීමට අවශ්‍ය වන්නේ යථාර්ථය පවතින ආකාරයෙන් දැක ගැනීමටයි. එය අපගේ අපේක්ෂාවන් හා ගැළපෙනවා ද නැද්ද නොසලකා, අපගේ පූර්ව නිගමන හා අදහස් මඳ වේලාවකට නවතා තැබීමටත්, මෙහිදී අවශ්‍ය කරයි. මෙම කාලය තුළදී අපගේ මානසික ප්‍රතිරූප, අදහස් හා මතවාද පසෙක තැබීම නොකළොත් අප ඒවා සමඟ පටලැවීමට ඉඩ තිබේ.

අධික ලෙස වෙහෙස නොවන්න

කිසිම බලකිරීමක් නොකරනවා මෙන් ම අනවශ්‍ය වීර්යයක් නොගන්න. භාවනාව ආක්‍රමණශීලි නැත. දැඩි ආයාසයක් ගැනීමට ඉඩක් හෝ උවමනාවක් මෙහි නැත. ඔබගේ උත්සාහය ලිහිල්ව නොසැලී පවත්වා ගන්න.

ඉක්මන් නොවන්න

හදිසියක් නැත. නිවී සැනසිල්ලේ කටයුතු කරන්න. මෙට්ටය මත පහසුවෙන් වාඩිවී, ඔබට භාවනාව සඳහා මුළු දවසම ඇතුවාක් මෙන් සලකන්න. වටිනාකමක් තිබෙන මොනයම් දෙයක් හෝ ගොඩනැඟීමට දිගු කාලයක් වැයවෙයි. ඉවසන්න, ඉවසන්න, ඉවසන්න.

කිසිවක් කෙරෙහි නොඑල්ලෙන්න කිසිවක් ප්‍රතික්ෂේප නොකරන්න

එය කුමක් වුවත් පැමිණෙන සියල්ලක් ම, ඒමට ඉඩ හරින්න. යහපත් චිත්තරූප නැඟුනහොත් එය යහපත් ය. අයහපත් චිත්තරූප ඇති වුවහොත් එහි ද වරදක් නැත. සියල්ල දෙස සමානාත්මකව බලන්න. සිදුවන හැම දෙයක් ගැනම සැහැල්ලුවෙන් හිතන්න. ඒවා සමඟ සටන් නොකර සෑම අත්දැකීමක් ම එළැඹි සිහියෙන් දකින්න.

යන්නට හරින්න

මතුවන සියලු වෙනස්කම් සමඟ ගලා යන්න ඉගෙන ගන්න. ලිහිල් වී සංසුන් වෙන්න.

පැමිණෙන සෑම දෙයක් ම බාර ගන්න

නොතිබුණා නම් හොඳ යැයි සිතෙන හැඟීම් ද ඇතුළු ව ඔබගේ සියලුම හැඟීම් පිළිගන්න. ඉතාමත් අප්‍රියජනක අත්දැකීම් ද සමඟ සියලුම අත්දැකීම් බාරගන්න. ඔබගේ මිනිස් දුර්වලකම් සහ අඩුපාඩු පිළිබඳ ඔබව හෙළා නොදකින්න. මනසේ සිදුවන සෑම සිද්ධියක් ම ස්වභාවික හා තේරුම්ගත හැකි දේ ලෙස දැකීමට ඉගෙන ගන්න. සෑම වෙලාවක දී ම ඔබ අත්දකින සියල්ල මධ්‍යස්ථව පිළිගැනීමට උත්සාහ දරන්න.

තමා කෙරෙහි මුදු මොළොක් වන්න

තමාට ම කරුණාවන්ත වන්න. ඔබ අංග සම්පූර්ණ නොවන්න පුළුවනි. නමුත් මෙහිදී ඔබ ඇති සැටියෙන් පිළිගැනීමට ඔබට සිදුවේ. ඔබ කවරෙක් වේවි ද යන ක්‍රියාවලිය පටන් ගන්නේ වර්තමානයේ සිටින්නා වූ ඔබ කවරෙක් ද යන්න මුළුමනින් ම පිළිගැනීම තුළින් ය.

තමාව විමර්ශනයට ලක්කරන්න

සැම දෙයක් ම ප්‍රශ්න කරන්න. කිසිවක් පවතින ආකාරයෙන් පිළිනොගන්න. ශුද්ධවන්ත පුද්ගලයකු කියූ බැවින් හෝ, ඥානවන්ත හෝ ධාර්මික ලෙස පෙනෙන බැවින් හෝ කිසිවක් විශ්වාස නොකරන්න.

ඔබ ම එය දකින්න. ඔබ, හැමදෙයක ම දෝෂ දකින, අවිනීත හා කිසි ගරු සරුවක් නැති පුද්ගලයකු විය යුතු යයි මින් අදහස් නොකරමු. අප කියන්නේ ඔබ අත්දැකීම් මත හා ප්‍රායෝගිකව ඉගෙන ගත යුතු කියායි.

සෑම කියමනක් ම ඔබගේ අත්දැකීම් තුළින් පරීක්ෂණයට භාජනය කර එහි ප්‍රතිඵලයන් විසින් ඔබට සත්‍යයට මඟ පෙන්වන්නට ඉඩහරින්න. විපස්සනා භාවනාව අනුක්‍රමිකව දියුණු වන්නේ සත්‍යය දැකීම පිණිස සිත අවදිකර ගැනීමට කෙනෙකු තුළ ඇතිවන ගැඹුරු ආශාව මත ය. එමෙන්ම මිනිස් පැවැත්මේ සැබෑ තත්ත්වය, විමුක්තිය සඳහා වන පරමාර්ථයෙන් ගැඹුරින් දැක ගැනීමට ඇති උවමනාව මත ය. මුළු භාවනා පුහුණුව ම රඳා පවතින්නේ මෙම සත්‍යය දැක ගැනීමේ ආශාව මතයි. එයින් තොරවූ විට එහි ගත යුත්තක් නැත.

සෑම ගැටලුවක් ම අභියෝගයක් ලෙස දකින්න

මතුවන ඍණාත්මක සාධක, යමක් ඉගෙනගෙන ඒ තුළින් පුද්ගල සංවර්ධනය ඇතිකර ගැනීම සඳහා අවස්ථා ලෙස සලකන්න. ඒවා කෙරෙන් පලා යාමට හෝ තමාව හෙළා දැකීමට හෝ එම බරපොදිය සිත යට වළලා නිශ්ශබ්ද ව සිටීමට හෝ උත්සාහ නොකළ යුතු ය. ඔබට ගැටලුවක් තිබෙනවා ද? කදිමයි. ඇඹරුම් ගලට දැමීමට බොහෝ ධාන්‍ය ඇත. ප්‍රීති වන්න. පතුලට කිඳාබැස පරීක්ෂා කරන්න.

කල්පනා නොකරන්න

සිදුවෙන සියලු දෙයම තේරුම් ගැනීමට ඔබට අවශ්‍ය නැත. දිග්ගැහෙන කල්පනා කිරීම් ඔබව උගුලෙන් මුදාලන්නේ නැත. විපස්සනාවේ දී මනස ස්වභාවිකව පවිත්‍ර කරනුයේ එළැඹි සිහිය මඟිනි. වදන් රහිත නිර්මල අවධානය මඟිනි. ඔබ ව බැඳ තබන සීමා බන්ධනවලින් නිදහස් වීමට ඔබගේ සුපුරුදු විචාර චින්තනය අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සංකල්පවලින් තොරව, පැහැදිලිව ම ඒවා කවරක් ද, ඒවාහි ක්‍රියාකාරිත්වය කුමක් ද කියා දැකීම පමණි. ඒවා දිය කර හැරීමට එයම ප්‍රමාණවත් වෙයි. සංකල්ප හා විචාරණය කරන්නේ බාධා ඇති කිරීම පමණයි. හිතන්න එපා. දකින්න.

වෙනස්කම් ගැන අධික ලෙස නොසිතන්න

මිනිසුන් අතර වෙනස්කම් පැවතීම ස්වභාවික නමුත් ඒවා ගැන අධික වශයෙන් කල්පනා කිරීම අනතුරුදායි විය හැක. මනාව හසුරුවා නොගත් කල එය මමත්වයට මඟ පාදන්නක් වෙයි. සාමාන්‍ය මිනිස් චින්තනය තණ්හාව, ඊර්ෂ්‍යාව හා අහංකාරයෙන් පිරී ඇත. පාරේ යන කල තවත් තරුණයකු දකින යෞවනයෙක්, “ඔහුට මට වඩා කඩවසම් පෙනුමක් තියෙනවා.” කියා සිතයි. එහි ක්ෂණික ප්‍රතිඵලය වන්නේ එම යෞවනයාගේ සිතෙහි හටගන්නා ඊර්ෂ්‍යාව හෝ ලජ්ජාවයි. තවත් ගැහැනු ළමයකු දකින යෞවනියක් “මම එයාට වඩා ලස්සනයි” කියා සිතා ආඩම්බරයක් ඇති කර ගනී. මෙවන් සංසන්දනය කිරීම මානසික පුරුදු වන අතර, ඍජුව ම කුමන අන්දමක හෝ අයහපත් හැඟීමක් ඇති කරයි. එය ලෝභය, ඊර්ෂ්‍යාව, ආඩම්බරය හෝ වෛරය විය හැක. එය අකුසල්මය මානසික පුරුද්දක් නමුත් අප නිතරම කරන දෙයකි. අප නිරතුරුව ම අපගේ පෙනුම, ජයග්‍රහණ, වත්පොහොසත්කම්, සාර්ථකත්වය හෝ බුද්ධිය අන් අය සමඟ සැස¼දීම කරමු. මේ සියල්ල මිනිසුන් අතර භේදය, බාධක හා අනාදර හැඟීම් ඇති කරවයි.

භාවනානුයෝගියාගේ රාජකාරිය වන්නේ හොඳීන් පරීක්ෂා කිරීම මඟින් මේ අකුසල්මය පුරුදු බැහැර කිරීම ය. තමාගේ හා අන් අයගේ වෙනස්කම් දකිනවා වෙනුවට භාවනාවෙහි යෙදෙන්නා පුහුණු වන්නේ සමානකම් දැකීමටයි. සියලු ජීවින්හට පොදුවූ හා තමාව අනෙක් ජීවින් වෙත සමීප කරන කරුණු කෙරෙහි භාවනා වඩන්නා තම අවධානය යොමු කරයි. එම නිසා සංසන්දනයක් වෙතොත් එයින් ඇති කරන්නේ සබඳකමක් මිස භේදයක් නොවෙයි.

හුස්ම ගැනීම විශ්ව ක්‍රියාවලියකි. කොඳු ඇට පෙළක් සහිත සෑම සතකුම ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ අවශ්‍යයෙන් ම සමාන ආකාරයකට ය. සියලු ජීවීහු විවිධ ආකාරයෙන් තමන්ගේ පරිසරය සමඟ වායු වර්ග හුවමාරු කර ගනිති. භාවනාවේ අරමුණ ලෙස හුස්ම තෝරා ගැනීමට මෙය ද එක් හේතුවක් වෙයි.

අනෙක් ජීවීන් සමඟ තමාගේ ඇති සහජ සම්බන්ධතාව අවබෝධ කර ගැනීම සඳහා භාවනා පුහුණු වන්නා තමාගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ගවේෂණය කළ යුතු වෙයි. අප අවට පවතින සියලු වෙනස්කම් නොදැකීම මින් අදහස් නොකරයි. වෙනස්කම් පවතින බව සැබෑ ය. නමුත් අප කරන්නේ වෙනස්කම් මතු කර ගන්නවා වෙනුවට සැමට ම පොදු විශ්ව කරුණු අවධාරණය කිරීමයි. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රමය නිර්දේශ කරමු.

භාවනා පුහුණු වන්නකු වශයෙන් අපගේ ඉන්ද්‍රියන්ට හසුවන කිසිම දෙයක් පිළිබඳ සාමාන්‍යයෙන් කරන ආකාරයට මමත්වයෙන් යුතුව සිතා නොබැලිය යුතු ය. ඒ වෙනුවට, අප කළ යුත්තේ එම දැකීමේ ක්‍රියාවලිය පිරික්සා බැලීමයි. එම දෙය අපගේ ඉන්ද්‍රියන්ට හා මනසට කුමක් කරන්නේ ද බැලිය යුතු ය.

නැඟී එන හැඟීම් සහ ඒ පසුපස පැමිණෙන මානසික ක්‍රියාවන් දකිමින් අපගේ සිතෙහි ඇතිවුණු වෙනස්කම් සටහන් කර ගත යුතුයි. සෑම සංසිද්ධියක් ම නිරීක්ෂණය කරන අතර අප දකින වස්තුවේ විශ්වීය භාවය දැකිය යුතුයි. මුල් වරට දැකීමේ දී මිහිරි හෝ අමිහිරි හෝ උදාසීන හෝ හැඟීමක් ජනිත කළ හැක. එය විශ්ව සංසිද්ධියකි. අපගේ සිතෙහි ඇතිවූවා සේ ම එය අනිත් අයගේ සිත්වල ද ඇතිවිය හැකි ය. අප ඒ බව පැහැදිලි ව දැකිය යුතුයි.

මෙම හැඟීම දෙස බලා සිටීමේ දී විවිධ ප්‍රතික්‍රියා මතුවිය හැක. අප තුළ ලෝභය, රාගය හෝ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඇති වීමට ඉඩ තිබේ. එසේම බිය, සාංකාව, නොසන්සුන් බව හෝ උදාසීනකම වැනි හැඟීම් අත්දැකීමට ද පිළිවන. මෙම ප්‍රතික්‍රියාවන් මුළු විශ්වයට ම පොදු ය. මේවා ඕනෑම මනුෂ්‍යයකු තුළ හටගත හැකි බව අප අවබෝධ කර ගත යුතු කරුණකි.

මුලදී, මෙවැනි සංසන්දනය කිරීම් අස්වාභාවික හා බලයෙන් ඇතිකර ගත් ඒවා ලෙස ඔබට හැඟීමට පිළිවන. නමුත් වෙනත් දේ මෙන් මෙය ද ඉතාම ස්වභාවික දෙයකි. එය ඔබට නුපුරුදු බව සත්‍යයකි.

මීළඟ කොටස උඳුවප් පුර පසළොස්වක පෝදා කලාපයේ