Print this Article


මල්දමක් වගේ ජීවිතයක් ...

මල්දමක් වගේ ජීවිතයක් ...

බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ට කළ විශේෂ අනුශාසනාවක් නම් ජීවිතය මල්මාලාවක් මෙන් සරසා ගන්නා ලෙස කරන ලද දේශනය යි. දක්ෂ මල්මාලාකරු තමන්ගේ මල් මාලාව ලස්සනට හදා ගන්න මල් හොයාගෙන කැලයට ගිහින් කැලේ තියෙන ලස්සන මල් එකතු කරනවා.

කැලේ තියෙන ගුණවත් ම මල් එකතු කරනවා. කැලේ තියෙන සුවඳවත් ම මලුත් එකතු කරනවා. කැලේ සමහර මල් ගුණයෙන් අනූනයි. සමහර මල් ලස්සන වුනාට සුවඳ නැහැ. සුවඳ වුණාට ලස්සන නැහැ. එම නිසා ලස්සන ගුණවත්, සුවඳවත් ම මල් එකතු කරල පිළිවෙළට මල් මාලාව හදලා නගරයට අරන් එනවා.

කැලේ තියෙන ලස්සන මල්, ගුණවත් ම මල්, සුවඳවත් ම මල් එකතු කරල හදපු මල්මාලය ගන්න මහධන, මහා සිටුවරුන්ගේ උදවිය පෙරමඟ බලන් ඉන්නවා. සිටු දියණිවරු රොක් වෙනවා ඒ මල් මාලාව මිලට ගන්න. බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මිනිසත් බව ලැබූ අපත් දක්ෂ මල් මාලාකරුවකු වගේ වෙන්න ඕනෑ කියලා.

මේ ජීවිතය ලස්සන කර ගන්න, ගුණවත් කර ගන්න, සුවඳවත් කර ගන්න අපි උත්සාහ විය යුතුයි. ලස්සන බාහිරවත්, අභ්‍යන්තරවත් තිබිය යුතුයි. ගොඩක් මිනිසුන් බාහිර ලස්සන ගැන පමණක් සැලකිලිමත් වනවා. එහෙත් මිනිසකු ඇතුළතින් ද ලස්සන විය යුතුයි. (අබ්භන්තරං තෙගහණං බාහිරං පරිමජ්ජසි)

සුවඳවත් ම ජීවිතයක් යනු මිනිසා සතු සීලයයි. යමකු සිල්වත් වේ නම් ඔහුගේ සීල සුගන්ධය දෙලොව දක්වා හමන බව බුද්ධ දේශනයයි. සුවඳ අතුරින් බලගතු ම සුවඳ සීල සුගන්ධය බවත්, එය අනෙක් සුගන්ධයන් පරදවන බවත් (එතෙසං ගන්ධජාතානං සීලගන්ධො අනුත්තරො) බුදුන් වහන්සේ දේශනා කළහ.

එහෙම ජීවිතවලට, ගුණවත් මිනිස්සුන්ට සුගතියේ ඉල්ලීම් වැඩියි. දුටුගැමුණු මහ රජු මහසෑය අභියස සිය අවසන් හුස්ම හෙළද්දී සියලු දිව්‍යලෝක වැසි දෙවියෝ පැමිණ රජතුමාට තමන්ගේ දිව්‍යලෝකයට වඩින්න කියල මොනතරම් ඉල්ලීම් කළා ද? දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලද අපත් උත්සාහවන්ත විය යුතුයි එබඳු ජීවිතයක් ගෙවන්න.

යථාපි පුප්ඵරාසිම්හා - කයිරා මාලා ගුණෙබහු
එවං ජාතෙන මච්චෙන - කත්තබ්බං කුසලං බහුං

ධම්මපදයේ පුප්ඵ වග්ගයේ එන මේ ගාථා පාඨයෙනුත් ප්‍රකාශ කෙරෙන්නේත් විවිධ මල් රාශියක් ගුණවත් මල් රාශියක් නිර්මාණය කරන්නා සේ ඉපදී මැරෙන අප විසින් බොහෝ කුසල් රැස් කොට මේ ජීවිතය ලස්සන, ගුණවත්, සුවඳවත් කර ගත යුතු බවයි.

බුදුන් වහන්සේ අනුශාසනා කොට ඇත්තේ කත්තබ්බං කුසලං චරිතබ්බං යනුවෙනුයි. ඒ කියන්නේ යහපතෙහි හැසිරීම හෙවත් කුසල් දහම් කිරීම සහ චරිතවත් ජීවිතයක් ගත කිරීමයි.

යමකු ඔබේ මරණය දැකීමෙන් අපරාදේ. වටිනා මිනිසකු අහිමි විය. යනුවෙන් ප්‍රකාශ කෙරෙත් නම්, ඔබ චරිතවත් ජීවිතයක් ගත කළ අයකු සේ හඳුනා ගැනීමට නිර්ණායකයක් තබාගත හැකියි. ජීවිතයේ ලැබෙන හැම මොහොතක ම යහපතෙහි යෙදෙන්න අමතක නොකළ යුතුයි.

මාතලී විසින් විමසන ලදුව තමන්ගේ වන්දනාවට හේතුව ලෙස ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ප්‍රකාශ කරනු ලැබුයේ මනුස්ස ලෝකයෙහි සිටින ගුණවත් ම මිනිස්සුන්ට තමන් විසින් වන්දනා කරන බවයි. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී යන කියමන ද මෙහිදී සිහිපත් කළ යුතුයි.

සදාකාලික ජීවිතයක් නොමැති, කෙටි කාලීන මේ ජීවිතය ලස්සන කර ගන්න, සුවඳවත් කර ගන්න, ගුණවත් කර ගන්න දක්ෂ මල්මාලාකරුවකු වන්න අධිෂ්ඨානයක් ඇති කර ගන්න.