Print this Article


සදහම් අරණ

කඨින පින්කම ගැන හරියට ම දැන ගන්න

පුංචි දුවේ, පුතේ බුදුසරණ සදහම් අරණට අදත් පුංචි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වැඩම කරනවා. ඒ දුවල පුතාලට ලස්සන බණ කතාවක් කියලා දෙන්නයි. පානදුරේ ධම්මානන්ද පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩ ඉන්නේ කළුතර පයාගල සිරිමුනි විහාරයේ. මේ බණ කතාව කියවලා පුංචි ඔබත් බෝසත් ගුණ පුරුදු කර ගන්න

පින්වත් යාලුවනේ, කඨිනය කියන්නේ වසර ට එක සැරයක් සිදුකර ගැනීමට අවස්ථාව තිබෙන අටමහා කුසලයට ගැනෙන මහ පින්කම්වලින් පළමු පින්කම යි.

කඨින පින්කම අපට මහත්ඵල මහානිසංස ගෙනදෙන පින්කමක්. කඨින පින්කම ගැන හරියට දැනගෙන, ඒ පින අපි කර ගත්තොත් එයින් ලැබෙන කුසලය හරි බලගතුයි.

කඨිනය කියන වචනයේ තේරුම කඩන්න, සිඳින්න, බිඳින්නට බැරි කියන අදහස යි. අප අතින් සිදු වී තිබෙන කුඩා පව්, මේ කඨින මහා පින්කමේ ආනුභාවයෙන් දුරු වෙනවා. ගෙවී යනවා. එතරම් මහා බලගතු පින්කමක් තමා මේ කාලයේ සිදුවෙන කඨින පින්කම. මහ පොළොව වගේ, මහාමේරු පර්වතය වගේ නො සැලෙන, කිසිම බිඳීමක්, සිඳීමක් නැති එකම කුසලයක් තිබෙනවා නම් ඒ කුසලය තමා කඨිනය කියන්නේ.

වස් තුන් මාසය පුරාවට ම අප කර ගන්නා පින්කම් අනෙක් පින්වලට වඩා ඉතාම බලගතුයි. මේ ගෙවී ගියේ ඔබට පින් වැඩෙන පින්කම් කර ගන්න පුළුවන් කාලයක්. මෙලොව පරලොව කියන දෙලොව ම තමන්ට සුගතිගාමී වෙන්න පුළුවන්, පින් නිදාන තැන්පත් කරන්න පුළුවන් මහත්ඵල ගෙන දෙන පිනක් තමා කඨින පින්කම කියන්නේ.


මට්ටකුණ්ඩලී දෙව්ලොව ගිය හැටි

නංගි, මල්ලී, අද මම ඔයාලට කියලා දෙන්නේ ලෝභය කියන අකුසලය ගැනයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ හිටියා අදින්නපුබ්බක කියලා බමුණෙක්. මේ බමුණා ගොඩාක් ලෝභයි.

හාමුදුරු නමක් නිවසට පිණ්ඩපාතයේ වැඩියත් ඔහු බත් හැන්දක්වත් දන් දුන්නේ නැහැ. ගමේ ම ප්‍රචාරය වුණා මේ අදින්නපුබ්බක කියන බමුණා ගොඩාක් ලෝභ පුද්ගලයෙක් කියලා.

මේ බමුණාට හිටියේ එකම දරුවයි. ඔහු මට්ටකුණ්ඩලී. මේ දරුවා තදබල ලෙස රෝගයකට ගොදුරු වුණා. ඔහුගේ පියා දැඩි ලෝභ තැනැත්තෙක් නිසා මේ මට්ටකුණ්ඩලීට කිසිම බෙහෙතක් කළේ නැහැ. ඒ නිසාම පුතාගේ රෝගය වැඩිවෙලා ඔහු දුර්වල වුණා. මේ පියා නිවසේ පිටු පස්සේ ඇඳක පුතාව තිබ්බා. අපගේ බුදුරජාණන් වහන්සේ බුදු නෙතට දැක්කා අසරණ වෙලා ඉන්න මේ මට්ටකුණ්ඩලීව. උන්වහන්සේ මහා කරුණාවෙන් මේ දරුවාට ධර්මය දේශනා කළා. ඔහු තෙරුවන් කෙරෙහි හිත පහදවා ගත්තා. රෝගය වැඩිවෙලා මිය ගියා. දිව්‍ය ලෝකයේ ඉපදුණා.

දැන් අදින්නපුබ්බක බමුණාට තමන්ගේ පුතා ගැන ගොඩාක් දුකයි. ඔහු පුතාගේ සොහොන ළඟට ගිහිං “අනේ පුතේ මම ඔයාට සැලකුවේ නැහැනේ” කියමින් අඬන්නට ගත්තා.

මේ සිදුවීම මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දුටුවා. ඔහු කුඩා ළමයකුගේ ස්වරූපයක් අරගෙන බමුණා අසලට ආවා. ඇවිත් ඔහුත් අඬන්න පටන් ගත්තා. අදින්නපුබ්බක අහනවා ඇයි දරුවෝ ඔයා අඬන්නේ. ඔහු කියනවා මගේ කරත්තයට රෝද දෙකක් ඕන කියලා. බමුණා කියනවා මම රනින් ඔබට රෝද දෙකක් හදා දෙන්නම් කියලා. ඒ දරුවා කියනවා නෑ.... නෑ..... මට ඕන මේ පෙනෙන ඉරයි, හඳයි කියලා.

බමුණා කියනවා, දරුවෝ

ඔබ ඇයි ලබාගන්න බැරි දෙයක් ඉල්ලා අඬන්නේ.

එවිට ඒ දරුවා කියනවා මම ඉල්ලන්නේ පෙනෙන දෙයක්. ඔබ මෙලෙස අඬන්නේ නො පෙනෙන දෙයක් වෙනුවෙන්නේ කියලා.

ඊට පස්සේ දිව්‍ය පුත්‍රයා බමුණාගේ සිහිය උපදවා දිව්‍ය වෙස් අරගෙන කියා සිටියා. මම බුදුරජාණන් වහන්සේට එකම වරක් වන්දනා කරලා මට මේ දිව්‍ය සම්පත් ලැබුණා. ඒ නිසා අද ඉඳන් ඔබ ලෝභ සිත නැති කරලා හොඳට දන් දෙන්න. සිල් රකින්න කියලා. එදා සිට මේ බමුණා බොහෝ සේ දන් දී පින් කර ගත්තා.


වඩුවාගේ පාඩම

ගෘහ භාණ්ඩයක් තැනීමට අවශ්‍ය වූ විට වඩුවා පළමුව ලී කොටයක් ගෙන එහි පිට පොත්ත ගලවා දමයි. එළය කියන කොටස ඉවත් කරයි. එහි අරටුව ඔහු සොයා ගනියි. ඔහු එසේ කරන්නේ තමන් හදන ගෘහ භාණ්ඩය ශක්තිමත් ව, කෘමීන්ට කා දැමීමට නුපුළුවන් ලෙස දිගු කලක් ප්‍රයෝජනයට ගැනීමට වුවමනා නිසයි.

නුවණැති මිනිසා ද තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අරටුව වැනි ගුණ ධර්ම හැඳිනගෙන ඒවා දියුණු කර ගත යුතු යි. සාරධර්ම යනුවෙන් හැඳින්වෙන්නේ එවැනි ගුණ ධර්ම යි.

බුදුරජාණන් වහන්සේ ධම්මපද ගාථාවක වදාළා නිසරු දෙය සරු ලෙසත්, සරු දෙය නිසරු ලෙසත් දකින වැරැදි කල්පනා ඇති පුද්ගලයා කිසිදු දියුණුවක් නො ලබන බව. එසේ ම සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් දකින නිවැරැදි කල්පනා ඇති පුද්ගලයා දියුණුවට පත්වන බව වදාළා.


 

 

 

විලක අසිරිය


බුද්දන්නේගම අස්සජී හිමි
6 වසර
ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන, ගිරිඋල්ල


සදහම් අරණට පුංචි ඔබටත් නිර්මාණ යොමු කරන්නට පුළුවන්. ඔබේ නිර්මාණ සදහම් අරණ, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට යොමු කරන්න.