බුදුරජාණන් වහන්සේ දෙසූ
ගිහි සැප
බුද්ධ වචනයෙන් පැහැදිලි වෙන්නේ කෙනෙකු කොහොම හරි සපයාගත් වස්තුවක් ඇතිවීම සැපයක්
නොවන බවයි. ධනය ඇතිවීම සැපයක් වන්නට නම් එය දැහැමින් සෙමෙන් උපයාගත් එකක් විය
යුතුයි. අයුතු ලාභ ගැනීමෙන්, වංචා කිරීමෙන්, අධාර්මික වෙළෙඳාම් පහෙන්, හොර මැරකම්
කිරීමෙන් ලබාගත් වස්තුව ඇති තැනැත්තාට අත්ථි සුඛය විඳින්නට ලැබෙන්නේ නැත. ඔහුට
ලැබෙන්නේ පසුතැවිල්ලකි
සැප සඳහා සියලු ව්‍යාපාර කරනු ලැබේ. එහෙත් සියලු දෙනාට ම නියම සැපයක්, සැනසිල්ලක්
එකසේ නොලැබෙන බව පැහැදිලි ය. ඉමක් කොනක් නැති කම්කටොලුවලින් වෙළී සිටින ගිහියාට
ජීවිතයේ නියම සැප ලබා පී‍්‍රතිමත් වීම ඉතා අපහසු කරුණකි.
එහෙත් පුද්ගලයකු කරුණු හතරක් හොඳින් වටහා ගෙන නුවණින් යුතුව කටයුතු කරනවා නම්,
කාමභෝගී ගිහියකු වශයෙන් ඔහුට ගිහි සැප හතරක් විඳිය හැකි බවත්, ඒ හේතුවෙන් අවසානයේ
දී සියලු දුකින් තොරවූ පරම සැපය වූ අමා මහ නිවන් සැපය පවා ලබා ගත හැකි බවත්
බුදුරජාණන් වහන්සේ වරක් අනේපිඬු සිටුතුමාට දේශනා කළ සේක.
චත්තාරිමානි ගහපති සුඛානි
අධිගමනියානි ගිහිනා
කාමභෙෘගිනා කාලෙන කාලං
සමයෙන සමයං
උපාදාය කතමානි චත්තාරී අත්ථි සුඛං,
භොග සුඛං, අනණ සුඛං, අනවජ්ජ සුඛං”
ගෘහපතිය , කාමභෝගී ගිහියා විසින් කල් යල් බලා කටයුතු කිරීමෙන් ලැබිය හැකි සැප
සතරකි. එනම් 1. අත්ථි සුඛය, 2. භෝග සුඛය 3. අනණ සුඛය 4. අනවජ්ජ සුඛය යන මේවා ය.
අත්ථි සුඛය
“ගෘහපතිය මෙලොව යමෙක් නොපසුබට උත්සාහයෙන් අතපය වෙහෙසවීමෙන් දාඩිය මහන්සියෙන්
දැහැමින්, සෙමෙන් වස්තුව සපයා ගෙන මා විසින් මේ වස්තුව උට්ඨාන වීර්යයෙන්, අතපය
වෙහෙසීමෙන්, දාඩිය මහන්සියෙන්, දැහැමෙන් සෙමෙන් ලබන ලද්දේය’යි සිතන විට ඔහුට මහත්
සොම්නසක් සතුටක් උපදී. මෙසේ උපදින සතුට අත්ථි සුඛය යි.”
මේ බුද්ධ වචනයෙන් පැහැදිලි වෙන්නේ කෙනෙකු කොහොම හරි සපයාගත් වස්තුවක් ඇතිවීම සැපයක්
නොවන බවයි. ධනය ඇතිවීම සැපයක් වන්නට නම් එය දැහැමින් සෙමෙන් උපයාගත් එකක් විය
යුතුයි. අයුතු ලාභ ගැනීමෙන්, වංචා කිරීමෙන්, අධාර්මික වෙළඳාම් පහෙන්, හොර මැරකම්
කිරීමෙන් ලබාගත් වස්තුව ඇති තැනැත්තාට අත්ථි සුඛය විඳින්නට ලැබෙන්නේ නැත. ඔහුට
ලැබෙන්නේ පසුතැවිල්ලකි.
‘කාලය අපතේ නොයවා, කම්මැලි නොවී, අනුන් නොරවටා, උත්සාහයෙන් සිහිබුද්ධියෙන් යුතුව
සපයාගත් වස්තුව දැකීමේ දී තමන්ට ඇතිවන්නේ අලාමක පී‍්‍රතියකි.
භෝග සුඛය
“ගෘහපතිය, යම් පුද්ගලයකු දැහැමින් සෙමෙන් උපයා සපයා ගත් වස්තුව අඹුදරුවන් හා ඤාති
මිත්‍රාදීන් සමඟ අනුභව කරන විට ප්‍රයෝජන ගන්නා විට, දන් පින් කරන විට “මම දැහැමින්
සෙමෙන් සපයාගත් වස්තුව අනුභව කරමි.” දන් දෙමි. පින් කරමි” කියා සිතේ. එවිට ඔහුට
මහත් සොම්නසක් උපදී. එය භෝග සුඛයයි.”
මෙහි භෝග යනු අනුභව කිරීමයි. විඳීමයි. ප්‍රයෝජන ගැනීමයි. පාවිච්චි කිරීමයි. අනුන්ට
ගිනි දී අනුන් තළාපෙළා ලබා ගන්නා වස්තුව හෝ සතුන්, මත්වතුර, වස විස, මාරක, අවි ආයුධ
ආදී අධාර්මික වෙළඳාමකින් ලබා ගන්නා වස්තුව හෝ අඹුදරුවන් සමඟ ප්‍රයෝජන ගැනීමේ දී
තමන්ට ද, අඹුදරුවන්ට ද සතුටක්, සොම්නසක් විඳිය හැකි වන්නේ නැත. මතක් වන මතක් වන
හැමවිට ම ඇතිවන්නේ ගින්නකි. කැපිල්ලකි. එහෙයින් අධාර්මික වස්තුව ඇතිව සිටීම මෙන්ම
වැළඳීම ද සැපයක් නොවේ. දුකකි. වැළඳීම සැපයක් වන්නට නම් වළඳන දෙය ධාර්මික විය යුතු
ය.
අනණ සුඛය
“ගෘහපතිය, මේ ලෝකයෙහි යමකුට, තමා කිසිවකුට ස්වල්ප වූ හෝ බොහෝ වු හෝ කිසි ණයක්
නැතැ’යි සිතෙන විට මහත් පී‍්‍රතියක්, සැනසිල්ලක් උපදී. එය අණන සුඛය හෙවත් ණය නැති
සැපය නම් වේ.”
ණය ගැතිකමින් බොහෝ දෙනා බොහෝ දුකට පත්වෙති. නින්දාවට පත් වෙති. වස්තුව විනාශ කර
ගනිති. උන්හිටිතැන් පවා නැති කරගනිති. ප්‍රභූන් අනුකරණය කරමින් මඟුල් තුලා ආදී
කටයුතු උජාරුවට සිදු කරන්නට ගොස් ඉඩකඩම් ගේ දොර පවා උගස්කර ණය වී විපතට පත් වෙති.
ඔවුහු තමන්ට පමණක් නොව අඹුදරුවන්ට ද බලවත් දුකක් ඇති කරති. ණය බරින් පීඩිත වූවෝ
බලවත් මානසික දුකකින් පසුවෙති. ගෙවා ගන්නට බැරි බව පෙනී ගිය විට සියදිවි නසා ගන්නට
පවා සිදු වේ. ණය වීමට වඩා සිඟා ගැනීම යහපත් ය. බොහෝ දෙනා ණය වෙන්නේ ණය නොවී බැරි
නිසා ම නොව ඊට ඇති පුරුද්ද නිසා ය. කුඩා දෙයක් වත් ණයට නොගැනීමට කුඩා කල සිට ම
පුරුදු වුවහොත් කිසිවිටෙකත් ණය ගැතියෙක් නොවන්නේ ය. ඔහු ලබන මානසික සැනසිල්ල ඉතා
මහත් ය. මහජනයා අතර ඔහු විශාරද ය. නිර්භීත ය, සම්භාවනීය ය. මෙය අණන සුඛය නම් වේ.
අනවජ්ජ සුඛය
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යය ශ්‍රාවකයා නිවැරැදි වූ කාය, වචී මනෝ කර්මයෙන් යුක්ත
වූයේ ‘මම නිවැරැදි වූ කාය වචී මනෝ කර්මවලින් යුක්ත වෙමියි’සිතා මහත් වු සොම්නසක්,
පී‍්‍රතියක් විඳියි. එය අනවජ්ජ හෙවත් නිවැරැදි සුඛය නම් වේ.
යමකුගෙන් සතුන් මැරීමක්, නුදුන් දේ ගැනීමක් (සොරකම් කිරීමක්), කාමයෙහි වරදවා
හැසිරීමක් සිදුවූයේ නැත්නම් ඔහුගේ කාය කර්ම නිවැරැදි ය. පිරිසුදු ය. එසේම
බොරුකීමක්, කේළාම් කීමක්, පරුෂ වචන කීමක්, හිස්වචන කීමක් නොසිදුවුණා නම්, වචීකර්ම
නිවැරැදි ය. පිරිසුදු ය. එසේම අන්සතු දේ ගැන ආශාවක්, අනුන්ට තරහවත්, ඊර්ෂ්‍යාවක් හෝ
මෙලොව නැත. පරලොව නැත. කර්ම ඵල නැත ආදී මිසදිටු කල්පනාවක් හෝ යමකුට ඇති නොවේ නම්,
ඔහුගේ මනෝකර්ම නිවැරැදි ය. පිරිසුදු ය. කොටින්ම පස් පව් දස අකුසල් කිරීමෙන් තොරව
යමෙක් ජීවත් වේ නම්, ඔහු අනවජ්ජ සුඛය විඳින්නේ ය. යට කී අනික් සැප තුනට ම වඩා
අනවජ්ජ සුඛය අගනා බව බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට වදාළ සේක. මිනිසා දැහැමි
වන්නට නම්, රට ගම දැහැමි වන්නට නම්, සමාජය දැහැමි වන්නට නම් මේ දස අකුසල්වලින් තොර
විය යුතු ය.
තවදුරටත් අනේපිඬු සිටුතුමාට දහම් දෙසන බුදුරජාණන් වහන්සේ ගිහියකු විසින් ලැබීමට
දුෂ්කර වූ කරුණු හතරක් ඇති බවත් වදාළහ. එනම්
1) මට ධාර්මික වස්තු ඇති වේවා.
2) දැහැමින් වස්තුව ලැබී, නෑ මිතුරන් අතර මගේ කීර්තිය පැතිරී පිරිවර සම්පත් ලැබේවා.
3) දැහැමින් වස්තුව ලැබී පිරිවර හා කිත් යසස් ලැබී දිගුකලක් ආයු සම්පත් ලැබේවා.
4).දැහැමින් වස්තුව හා පිරිවර ලැබී දීර්ඝායුෂ විඳ මරණින් මතු දෙව්ලොව උපදිම්වා යන
ප්‍රාර්ථනා සතරයි.
මේ ඉතා පි‍්‍රයමනාප වූ දුර්ලභ කාරණා සතර ලැබීමට නම් ගිහියා විසින් 1.සද්ධා 2.සීල 3.
චාග 4. පඤ්ඤා යන ගුණධර්ම සතරින් යුක්ත විය යුතු බවත් වදාළහ.
මෙහි සද්ධාව නම්, බුදුගුණ විශ්වාස කිරීමේ ශ්‍රද්ධාවයි. සීලය නම් පන්සිල් රැකීමයි.
චාග යනු පරිත්‍යාග කිරීමේ ආශාවයි. නිතර පරිත්‍යාගශීලී ගතියයි. පඤ්ඤා යනු අභිධ්‍යා
(දැඩි ලෝභය) ව්‍යාපාද ( තරහ) ථීනමිද්ධ (කම්මැලිකම) උද්ධච්ච කුක්කුච්ච (නොසන්සුන්කම)
විචිකිච්ඡා (සැකය) යන අකුසල සිතිවිලිවලින් තොරව දුරදිග දක්නා නුවණින් යුක්තවීමයි.
මේ සද්ධා ආදී සම්පත් සතරින් යුක්ත තැනැත්තාට දැහැමින් වස්තු ලැබී, නෑ මිතුරන් ආදි
පිරිවර සමඟ දිගු කලක් ජීවත් වී දෙව්ලොව යා හැකි බව සැලකිය යුත්තේ ය.
සැප කැමැති සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ දහම් මඟ කියවා
බලා, නැවත නැවත කියවා බලා උතුම් ලෙස ගිහි සැප විඳීමෙන් මෙලොව වශයෙන් ආයුරාරෝග්‍යාදී
සියලු සැප ලබා පරලොව වශයෙන් දෙවි මිනිස් සැප කෙළවර අමා මහ සම්පත් ලබා ගැනීමට වාසනාව
උදාවේවා.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි
හේමමාලා රන්දුනු |