Print this Article


තීරණාත්මක මොහොත වැරදුණොත්මොන දේ කළත් පලක් නෑ

තීරණාත්මක මොහොත වැරදුණොත්මොන දේ කළත් පලක් නෑ

මජ්ක්‍ධිම නිකායේ තියෙනවා දනන්ජානි කියලා සුත්‍රයක්. මේ දනන්ජානි කියන බමුණත් මේ වර්තමානයේ ඉන්න අය වගේ තමයි. සාරිපුත්ත හාමුදුරුවන් දැන හඳුනාගෙන හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතයේ යනකොට දානය බෙදනවා. හැබැයි තමන්ගේ චරිතය වෙනස් වෙන්නේ නෑ. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය, ඔය වගේ පින්කම් කර කර ඉන්න නම් එපා. ඔබ සිල්වත් ව ඉන්න. ගුණධර්ම පුරන්න. ධර්මය දියුණු කරන්න.

එතකොට මේ බමුණා කියනවා අනේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නම් කියයි. අපිට දරුවන්ගේ වැඩ තියෙනවා. අපිට ඕන හොඳින් හරි, නරකින් හරි සල්ලි තමයි කියලා. ඒ නිසා අපි හොඳිනුත් හම්බ කරනවා. නරකිනුත් හම්බ කරනවා. ඔය ධර්මය නම් අපිට දියුණුූ කරන්න අමාරුයි. ඔය කතාවම කිය කියා හිටියා මරණ මංචකයට වැටෙනකම්ම. දානයක් දුන්නට ලොකු පිනක් කර ගන්නේ නෑ. මෙහෙම හිටපු බමුණා බොහොම දුරාචාර වැඩ ගොඩකට සම්බන්ධ වුණා. අන්තිමට මරණාසන්න වෙනකොට අපායේ නිමිති පහළ වුණා.

බමුණා ඉක්මණින් සේවකයකුට කතා කරලා කියනවා අනේ, ඔබ ඉක්මනට යන්න සාරිපුත්ත හාමුදුරුවෝ හොයාගෙන. උන්වහන්සේට වැඳලා කියන්න මේ වඳින්නේ දනන්ජානි බ්‍රාහ්මණයා වෙනුවෙන් කියලා, ඔබ මගේ වචනයෙන් වන්දනා කරන්න කීවා. දනන්ජානීට බොහොම අසාධ්‍යයි. අමාරුයි. බලන්න එන්න කියලා සාරිපුත්ත හාමුදුරුවන් එක්කන් එන්න කීවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා පිණ්ඩපාතේ ගිහිල්ලා හවස් වරුවේ ගියා දනන්ජානිගේ නිවසට. දනන්ජානිට දැන් හොඳටම අමාරුයි. අපායගාමී නිමිති පහළ වෙලා. සාරිපුත්ත හාමුදුරුවෝ ගිය ගමන් අහනවා ඔබට දරාගන්න පුලුවන් ද? ඉවසන්න පුලුවන් ද? ඔබේ දුක් වේදනා එන්න එන්නම අඩුවෙනව ද? වැඩි වෙනව ද?

අපිත් ලෙඩෙක් බලන්න ගියාම මොකද්ද අහන්නේ? කොහොමද දැන් සනීපද? දැන් හොඳයි ද කියලානේ. එතකොට ඒ විදියට දැන් කොහොමද? සනීපද කියලා ඇහුවා ම ඒ බමුණා උපමා කීපයකින් කියනවා.

අනේ ස්වාමීනි, මගේ ඔලුව වටේම කඹයකින් වෙළලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ වේදනාවක් හිස ඇතුළෙන් දැනෙනවා කියනවා. තියුණූු පිහියකින් වගේ හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා. මස් කපන පිහියක් ගෙන මගේ බඩ තීරු තීරු කපනවා වගේ කකියනවා. ඇතුළෙන් වේදනාවක් මතු වෙනවා කියනවා. ඊළඟට කියනවා හතර දෙනෙක් මා උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ ඇඟම දවනවා වගේ කියනවා. ඔන්න නිරයේ ගියාම නිමිති ටික පහළ වෙන හැටි.

මරණාසන්න වෙනකොට ඇති වෙන වේදනාවන් ගැන එක සිදුවීමක් කියන්නම්. ඒවා බුද්ධ කාලයෙත් ඒ වගේ. මීට මාස කිහිපයකට කලින් ආවා රෝද පුටුවක් ඉල්ලගෙන. මම රෝද පුටු එකතු කර ආබාධිත අයට දෙනවා. ඒ ආපු අය කවුද කියන්නේ නෑ. අනේ හාමුදුරුවනේ තාත්තා නම් පින් ගන්න තැනක නැතුව ඇති. මා ඇහුවා ඒ මොකද ? හාමුදුරුවනේ මැරෙන්න සතියක් දෙකක් තියලා කෑගැහුවා අර දොරවල් වහපල්ල, ගින්දර එනවා. මාව පිච්චෙනවා. ගින්දර එනවා කියලා. දරුවෝ දොර වහනවා. ඇයි උඹලට පේන්නේ නැද්ද මේ ජනේලයෙන් ගින්දර එනවා. මාව පිච්චෙනවා කියලා කෑගහනවා. ඊට පස්සේ ජනේල වහනවා. ඊට පස්සේ රෑ තිස්සේ කෑ ගහනවා. මට උල්වලින් අනිනවා. මාව කපනවා කියලා. මෙහෙම රෑ තිස්සේ කෑගහලා කෑගහලා තමයි ඒ තාත්තා මැරුණේ. හැබැයි ඔය විස්තරේ කියලා මේ දරුවෝ කියනවා අනේ හාමුදුරුවනේ, අපේ තාත්තා අපි දන්න කාලයකවත් පිනක් කරපු මනුස්සයෙක් නෙවෙයි කියලා.

හැබැයි කීවා අපේ අම්මා නම් එහෙම නෑ. තාත්තගෙන් ගුටිකාලා හරි සිල් ගන්නව. බණ අහනවා. ඒ තාත්තා නම් කිසිම ධර්මයක් දියුණු කර ගන්නේ නෑ කියනවා. එතකොට බලන්න ඒකේ ප්‍රතිඵලය, මරණාසන්න වෙලාවේ පහළ වුණේ නැද්ද? නිමිති පහළ වෙනවා. අපායගාමී නිමිති මේ ධනන්ජානි කියන බමුණටත් අපායගාමී නිමිති පහළ වුණා.

ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය, දැන් ඔබ මේ විදියට කරන්න කියලා. අනේ ස්වාමීනි, කියන දෙයක් කරන්නම් බේරලා දෙන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඔබ නිරයේ ආදීනව සිහි කරන්න. නිරය කියන්නේ දුක් සහිත තැනක්. නිරයේ ආදීනව සිහි කර කර තිරිසන් ලෝකය ඊට වඩා හොඳයි කියලා තිරිසන් ලෝකයේ හිත පිහිටවන්න කියලා. ඔන්න කරපු දේ නිරයෙන් උඩට ඇදිලා කොතැනට ද ගන්නේ, තිරිසන් අපායට. දිව්‍ය ලෝකයට යන්න බෑ. නිරයේ යන කෙනෙක් නිරයේ ආදීනව සිහි කරන්න.

නිරය කියන්නේ දුක් සහිත තැනක්. නිරය ගැන හිතලා මේ භයානක ස්වභාවය සිහිකරලා තිරිසන් ලෝකයේ මට හොඳයි කියලා හිත පිහිටවන්න කිව්වා. දැන් මෙහෙම උපදෙස් දෙන කොට අර නිරයෙන් හිත මිදුණා. තිරිසන් අපායේ හිත පිහිටියා. තිරිසන් ලෝකයේ හිත පිහිටුවන කොට දැනෙන්නේ තැති ගැනීමක්. තිරිසන් අපායේ උපදින කෙනෙක්ගේ ලක්ෂණ තමයි මරණාසන්න කාලයේ ලොකු බයකින් ඉන්නේ. වෙව්ලනවා එකපාරට හැකිළෙනවා. ලොකු ඝන අන්ධකාරයක් එක්ක බයක් තැති ගැනීමක් හිතට එනවා. බලන්න ඔය තිරිසන් සත්තු හරි බයෙන්නේ ඉන්නේ. පොඩි සද්දයක් ආවොත් එක්කෝ නැඟිටලා දුවනවා. කොහේහරි හැංගෙනවා. ඒ තිරිසන් ලෝකේ ස්වභාවය.

ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ වදාළා බ්‍රාහ්මණය දැන් ඔබ මෙහෙම හිතන්න. තිරිසන් ලෝකය කියන්නෙත් දුක් සහිතයි. තිරිසන් ලෝකය කියන්නේ භයෙන් තැතිගැන්මෙන් දුක් විඳින අපායක්. ඒ නිසා තිරිසන් ලෝකයේ ආදීනව හිතලා ඊට වැඩිය මට හොඳයි. පේ‍්‍රත ලෝකය කියලා පේ‍්‍රත ලෝකයට හිත ගන්න කීවා. අන්න එතැනින් තව චුට්ටක් උස්ස ගත්තා.

ඇයි කවුරුහරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ඉන්න පුලුවන්. පෙර පින් ගන්න පේ‍්‍රතයන් වුණොත් පේ‍්‍රත ලෝකයේ හිත පිහිටෙව්වට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය, දැන් ඔබ හිතන්න කිව්වා පේ‍්‍රත ලෝකය කියන්නේ දුක් සහිත යි. සෙම සොටු ලෙව කකා කොයිතරම් නම් පේ‍්‍රතයෝ දුක් විඳිනවද? ඒ නිසා පේ‍්‍රත ලෝකයේ ආදීනව සිහි කරලා දැන් ඔබ මනුස්ස ලෝකයේ හිත පිහිටුවන්න උත්සාහ කරන්න. හොඳ හුස්මක් ගන්න කීවා.

එකවර මනුස්ස ලෝකයේ හිත පිහිටුවන්න බෑ. සාරිපුත්ත හාමුදුරුවන්ට පිණ්ඩපාතේ යනකොට දුන්න දානය ඒ දන් දීපු ඒවා සිහිපත් කරන්න. ඔබ ඒවා හිතට බලවත් කර ගන්න කියා උපදෙස් දුන්නා. ඒ ගැන සිහි කර කර හිඳිනකොට අන්න මනුස්ස ලෝකයේ හිත පිහිටියා.

සාරිපුත්ත හාමුදුරුවෝ නැවත කියනවා බ්‍රාහ්මණය, මනුස්ස ලෝකය කියන්නේ දුක් සහිතයි. දැන් මේ මනුස්ස ලෝකයේ ඇවිල්ලා මැරෙන කල් ම දෙයක් කර ගන්න බැරි වුණානේ. ඒ නිසා ඊට වැඩිය හොඳයි කීවා චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය. හැබැයි දිව්‍ය ලෝකයට යන්න උපකාර වෙනවා කරුණු පහක්. ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා ඒවාට කියනවා සේඛබල. ඒවා තියෙන්නේ ඕනේ දිව්‍ය ලෝකේ යන්න. එතකොට මේ කරුණු පහ ඇති වෙන විදියට සාරිපුත්ත හාමුදුරුවෝ පැහැදිලි කළා. වැඳගෙන ඒවා සිහි කර කර අහගෙන ඉන්නකොට ටික ටික හිත වැඩුණා. බලවත් වුණා. දිව්‍ය ලෝකයේ හිත පිහිටියා.

සාරිපුත්ත හාමුදුරුවෝ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයට, තුසිතයට ඒ වගේ ම ඒ එකින් එක ඉහළට හිත පිහිටුවන කොට අර ධර්ම දේශනාවට හිත එකඟ වෙලා මේ බමුණාගේ හිත සමෘද්ධිමත් වුණා.

ඔන්න බලන්න අපායේ යන්න කරුණු තිබුණ කෙනාගේ හිත මරණ මංචකයේ දී සමාධිගත වුණා.

සාරිපුත්ත හාමුදුරුවෝ හිතුවා බමුණා කැමැති මහා බ්‍රහ්ම දෙවියන්ට තමයි. බ්‍රහ්ම ලෝකයේ අය අදහන්නේ. ඒ නිසා බඹලොව යන එක මෙයාට හොඳයි කියලා සාරිපුත්ත හාමුදුරුවෝ මෛත්‍රී, කරුණාව, මුදිතා, උපේක්ෂා කියා සතර බ්‍රහ්ම විහරණ ගැන කියලා දීලා උන්වහන්සේ වැඩියා.

මේ බමුණා ඒ ගැනම හිතලා හිත මෛත්‍රියේ ම පවත්වා ගෙන ඉදලා ටික වේලාවකින් මිය ගියා. බ්‍රහ්ම දේවතාවෙක් වෙලා බඹලොව පහළ වුණා.

දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ආරාමෙට වැඩියා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා ඇයි සාරිපුත්ත ධනන්ජානිව එතැනින් නවත්තලා ආවේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කුටියේ වැඩ හිටියත් මේ සියල්ල උන්වහන්සේ දිවැසින් බලාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේට පමණක් තිබෙන ඥාණයක් ඉන්ද්‍රීය පරෝපරියත්ත ඥානය (කෙනෙකුගේ ධර්මය අනවබෝධ කිරීමේ කුසලතාව ඉන්ද්‍රීය ධර්මය දකින්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි)

බුදුරජාණන් වහන්සේ දැක්කා ධනන්ජානිට මාර්ගඵලයක් අවබෝධ කර ගන්නත් පින මතු කර ගන්න පුලුවන්. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ දේ කළේ නෑ. බ්‍රහ්ම ලෝකයට විතරක් හිත පිහිටවලා ආවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි සාරිපුත්ත ධනන්ජානි මෙතැනින් නැවැත්තුවේ කියලා.

එතකොට බලන්න ආපිට එනවා. අර ධනන්ජානි බමුණා මරණාසන්න වෙලාවේ අපායේ ම යන්නනේ හැදුවේ. නිරයේ උපදින්න හිටපු කෙනා. එදා සාරිපුත්ත හාමුදුරුවෝ මුණ නොගැහුණා නම් අදත් නිරයේ. එතකොට නිරයේ වැටෙන්න හිටපු කෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කල්‍යාණ මිත්‍රයෙක් මරණ මංචකයේ ළඟ ඉඳීම නිසා ධර්ම කරුණු කියලා ටික ටික හිත පිහිටුවලා බ්‍රහ්ම ලෝකයට යනකන් අරගෙන ගියා. අන්න බලන්න මරණ මංචකයේ කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ කොහොම ද?

දැන් බලමු මරණාසන්න කෙනෙකුට හතුරෙක් වෙන්නේ කොහොම ද? දැන් ඔය ටිකම තේරෙනවා නේ අද අපි කල්‍යාණ මිත්‍රයක් වෙනව ද? මරණාසන්නයේ දී අපි මේ හතුරෙක් ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔබ හිතන්න මරණාසන්න කෙනෙක් කායික වේදනාවකින් අසරණ වෙනවා. සිහිකල්පනාව දුර්වල වෙන්න පුලුවන්. මරණාසන්න වුණාම බොහෝ දෙනෙකුට සිහිය දුර්වල වෙනකොට මැරිච්ච ඥාති පේ‍්‍රතයෙක් පේන්න ගන්නවා. මැරිච්ච පරම්පරාව ම ගැන කියනවා. මේ දෙන්නා අතන ඉන්නවා. මෙතන ඉන්නවා. මැරිච්ච තාත්තා පේනවා, ආච්චි පේනවා කිය කියා පරම්පරාවේ නම් කියනවා. ඊළඟට සමහරුන්ට අකුසල් සිහි වෙනවා. මා මේ වගේ පවුකම් කළා. මේ වගේ වැරැදි වැඩක් කළා. මේ වගේ අපරාධ වැඩක් කළා කියලා. එක එක මතක් වෙනවා.

ඊළඟ දේ තමයි පි‍්‍රය විප්පයෝගී භය. සියල්ල ඉදිරියේ මරණාසන්න කෙනෙක් අසරණ වූ වෙලාවේ ඒ කෙනාට ධර්මය සිහි කරලා සුගතියට හිත පිහිටවන්නේ නැතුව අපි ඒ කෙනා වටේට ම වෙලා දාලා යන්න එපා කියාගෙන අපි අඬනවා, කෑගහනවා, හූ තියනවා. අපි කොහොමද නැතුව ඉන්නේ කියලා ඇඟට පනිනවා. ඔලුවේ එල්ලෙනවා. කකුල්වල එල්ලෙනවා. කොණ්ඩේ කඩාගෙන පනිනවා. ඒ කල්‍යාණ මිත්‍රයෙක් ද? හතුරෙක් ද? එතකොට අර මරණාසන්න කෙනාට පුලුවන්ද ධර්මයක් සිහි කරන්න. තමන් කරපු පිනක්වත් මරණ මංචකයේ හිතන්න ඉඩ දෙනව ද? නෑ. අන්ත අසරණ යි. එසේ ඇඬුවා. වැළපුණා කියලා ඉන්න පුලුවන්ද? එතකොට බලන්න ඒ පුද්ගලයා කොතරම් අසරණ ද කියලා. ඒ නිසා මරණාසන්න කෙනෙක් ව වට කරගෙන අපි අඬනවා. වැළපෙනවා. අඩනවා හූ කියනවා, කෑගහනවා කියන්නේ ඒක තමයි ඒ පුද්ගලයාට අපි කරන ලොකුම හතුරුකම.

ඒ නිසා පින්වතුනි, කෙනෙක්ගේ ජීවිතේ තීරණාත්මක තැන තමයි මරණමංචකය, එතැන වැරදුණොත්, මරණාසන්න මොහොතේ වැරදුණොත් අපි මොනවා කළත් වැඩක් නෑ. ඒ නිසා මරණාසන්න මොහොතේ හතුරෙක් නොවි කල්‍යාණ මිත්‍රයේ වෙන්න ඕනෑ. බොහෝ දෙනෙක් ධර්මය දියුණුූ කර ගන්නේ නැති වුණොත් අන්ත අසරණ වෙනවා.

මේ ළඟ දී ලෙඩෙක් බලන්න ගියා. ඒ අම්මා අනේ හාමුදුරුවනේ මාව බේර ගන්න. අනේ හාමුදුරුවනේ මට බයයි කියනවා. පුළුවන්ද මට බේරගන්න. මම කිවා අම්මත් මැරෙනවා. මාත් මැරෙනවා මේ ඉන්න හැමෝම මැරෙනවා. රජවරු හිටියා. සිටුවරු හිටියා. අද පොළොව හාරලාවත් හොයාගන්න තියෙනවද? ඒ නිසා අපි ඔක්කොම මැරෙනවා. ඒ ටික ඔක්කොම අහගෙන ඉඳලා ආයි කියනවා. අනේ ඒ වුණාට හාමුදුරුවනේ මට මැරෙන්න බෑ කියනවා. එතකොට මොකද කරන්නේ පිරිත් නූලක් බැඳලා ආවා. වෙන මොනවා කරන්නද?

මේ අනුව අප හැම දෙනාම මැරෙනවා. ඒ නිසා අපට අවසාන මොහොතේ සිටින කල්‍යාණ මිත්‍රයා කවුද යන්න ජීවතුන් අතර සිටින කාලයේ දී ම හඳුනා ගෙන සිටීම වැදගත් බව තේරුම් ගන්න.