Print this Article


ගින්නෙන් දැවෙන ජීවිතයට සිසිල් දිය දෝතක්

ගින්නෙන් දැවෙන ජීවිතයට සිසිල් දිය දෝතක්

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඉමානී භික්ඛවේ අනුත්තරීයානී,
කතමානීච, දස්සණනුත්තරීයන්තී

සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් තික නිපාතයේ අනුත්තරණීය ධර්මයන් හයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පින්වතුනි, මේ සංසාරයේ එන ගමන අතිශයින් ම බිහිසුණු ගමනක්. මේ ගෙවූ අතීතය අපට හිතාගන්න බැරි තරම් දීර්ඝ ගමනක්.

ඒ වගේම අපිට හිතාගන්න බැරි තරම් මහත් වූ දුක්ඛ දෝමනස්සයන්ට බඳුන් වෙච්ච ගමනක් තමයි අපි අතීතයෙත් ගත කරලා තියෙන්නේ. එය භාග්‍යවතුන් වහන්සේ අපිට ඉතා හොඳින් පැහැදිලි කළා. මේ ගමන මෙන්න මේ වගේ දුක් සහිත වූවක් බව. අතිශය දුක්ඛදායි සසරක ගමන් කරමින් අපි මේ තැනට අද පත් වෙලා තියෙන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගෙන සුගතියේ හිටියට දුකකින් තමයි අපි ජීවත් වන්නේ.

දරුවෙක් ඉපදුනායින් පස්සේ මේ ලෝකයේ ඉන්න කවුරුවත් තේරුම් ගත්තේ නැහැ, අනේ මේ දරුවා වයසට යනවා. ලෙඩ වෙනවා නේ ද කියලා. මේ දරුවා මරණයට පත් වෙනවා නේද කියලා කවුරුවත් තේරුම් ගත්තේ නැහැ. ඔය දරුවා ටික ටික වැඩිලා ඊට පස්සේ එක එක ශ්‍රේණියෙන් ශ්‍රේණියට පාසලේ ඉහළට යනවා. අපිට හරි සතුටුයි. ඇයි අපි මේකෙ යථාර්ථය තේරුම් අරගෙන නැහැ. මේ දරුවා ටික ටික ජරාවට පත්වෙන එකයි මේ සිදුවෙවී සිදුවෙවී යන්නේ. අපිට මේක තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ ළමයා වැඩෙනවා කියලා. නමුත් මේ පුංචියට ඉපදුණ ළමයා ජරාවටයි පත්වෙන්නේ කියන එක තේරෙන්නේ ධර්මය හොඳට ප්‍රගුණ කරලා තියෙන කෙනකුට. ධර්මය ප්‍රගුණ කරලා නැති කෙනකුට හිතෙන්නේ මෙයා වැඩෙනවා කියලා. දොස්තර විභාගය සමත් කරලා නැති කෙනෙක් දොස්තර නළාවක් කරේ දාගෙන අනෙක් කෙනාගේ පපුවට තියලා පරික්ෂා කරන්න පටන් ගත්තොත් එයාට ඇහෙයි ශබ්ද ගොඩක්. නමුත් මේ ශබ්ද මොනවද කියලා එයාට අවබෝධයක් නැහැ. ඇයි එයා ඒක පුරුදු වෙලා නැහැ. එයාට හිතෙන්නේ ශබ්ද ගොඩක් තියනවා කියලා විතරයි. නමුත් වෛද්‍ය විද්‍යාව හදාරලා තියන කෙනා හොඳට මේවා පුරුදු කරලා තියෙන නිසා මේක ඉගෙන ගෙන තියෙනවා, භාවිත කරලා තියෙනවා. ඒ නිසා හොඳට මේ ශබ්ද තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ලෙඩේ කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැති කෙනකුට ඒක තේරුම් ගන්න බැහැ.

ඒ වගේ මේ දරුවා ජරාවට පත්වෙනවා කියන එක ධර්මය ප්‍රගුණ කරලා නැති කෙනාට වැටහෙන්නේ නෑ. මේ දරුවා ලොකු වෙනවා නේද කියලයි හිතෙන්නේ. නමුත් සිද්ධ වෙන්නේ දරුවා දවසින් දවස ජරා ධර්මයට පත්වෙනවා කියන එකයි. ඔහොම ගිහිල්ලා තුරුණු වියට ඇවිල්ලා, මධ්‍යම වියත් පසු කරලා ටික ටික ශරීරය තමන්ට වලංගු නැති වේගෙන එන විටත් සමහරුන්ට වැටහෙන්නේ නැහැ, අනේ මම දැන් ජරා ධර්මයට පත්වෙලා නේද කියලා. ඒක අවබෝධ වෙන්නේ නෑ. ඔන්න ඔය ජරා ධර්මයත්, මරණ ධර්මයත් යන දෙක පිළිබඳ අවබෝධයෙන් ඉන්න කෙනාට මේ සතර සතිපට්ඨානය උපකාර වෙනවා.

දැන් අපි මේ ජරා ධර්මයට මරණ ධර්මයට, ව්‍යාධි ධර්මයට, ශෝක පරිදේවයන්ට පත්වෙලා තියෙන්නේ එක සැරයක්, දෙසැරයක් තුන්සැරයක් නොවෙයි. මේ තත්ත්වයට අපි මේ සසරෙහි ගොදුරු වුණු වාර ගණන අනන්තයි. එහෙම එනකොට අපිට පෙර අතීතයෙහි ලැබුණු දේවල් තමයි වර්තමානයෙහිත් අපිට ලැබිලා තියෙන්නේ. මේ ලැබුණ දේ තමයි අපිට අනාගතයේත් ලැබෙන්නේ කියන එක පිළිබඳ අපට අවබෝධයක් තියෙන්න ඕන. අපිට ලැබිලා තියනවා සංසාරයෙහි පෙර කළ කර්ම අනුව ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රීයයන්. දැන් අපි මේ සසර පුරාවට කරලා තියෙන්නේ ඇසෙන් රූපයක් දැක්කම ඒ රූපවලට ආශා කරන එක. ඒ රූපවලට තෘෂ්ණා කරන එක. ඒ රූප කරා අපි ඇදීගෙන යන එක. ඒකට කියන්නේ උපාදාන කියලා. යම් පි‍්‍රය මනාප රූපයක් දැක්කොත් ඒ පි‍්‍රය මනාප වූ රූපයට අපි ඇදීගෙන ගියා. දැන් අපි මේ ඇස් දෙක උපයෝගි කරගෙන කොච්චර දේවල් බලනවද? කොච්චර දේවල් බැලුවත් තවම අපිට තෘප්තියක් නැහැ. බලලා ඉවරයකුත් නැහැ. කොච්චර දේවල් බැලුවත් අපි තව තවත් අලුත් දේවල් බල බල මේ රූපවලට උපාදාන වෙලා යනවා.

ඇසින් මේක තමයි කරන්නේ. රූප බල බලා ඒවාට උපාදාන වෙවී යනවා. උපාදාන වෙනවා කියන්නේ අපි භවයක් සකස් කර ගන්නවා කියන එකයි. (උපාදාන පච්චයා භවෝ) අපි හොඳට තේරුම් ගන්න ඕනෑ උපාදාන කියලා කියන්නේ අපි යම් යම් දේවල්වලට අහුවෙන එකට. ඇස අහුවෙනවා රූපවලට. ඒ තමයි උපාදාන කියලා කියන්නේ. කන අහුවෙනවා ශබ්දවලට. අපි අහුවෙනවා ගඳ සුවඳවලට. අපි අහුවෙනවා ස්පර්ශයන්ට. අපි අහුවෙනවා අරමුණුවලට, මේක තමයි උපාදාන කියලා කියන්නේ. ඒ නිසා සසර පුරාවට ම අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඔය ඛේදවාචකයයි. ඔය ඛේදවාචකය නිසා තමයි අපි මේ සසර මෙච්චර කාලයක් යන්නේ. අතීතයේ ඇස්වලින් රූප බලලා රූප තෘෂ්ණාව නැති කර ගත්තේ නැති නිසා අපිට ආයේ ඇසක් ලැබිලා තියෙනවා. ආයේ රූප බලන්න. කොච්චර බැලුවත් මේකේ ඉවරයක් නැහැ. ඇහෙන් රූප දැක්කාම අපට කරන්න වැඩපිළිවෙළක් අපි හරිගස්සගෙන නැහැ. අපි කරන්නේ පුළුවන් තරම් රූප හොය හොයා අලුත් දේවල් හොය හොයා බල බලා ඒවාට අසු වෙවී යන එක තමයි. මේ සංසාරය අපිට හදලා දීලා තියෙන්නේ ඇස රූපවලට උපාදාන වෙලා ඉන්න නිසා තමයි. කාට හරි පුළුවන් නම් ඇස රූප උපාදානයෙන් තොර කර ගන්න. ඇස රූප උපාදානයෙන් ගලවා ගන්න. ඒවාට ග්‍රහණය නොවී ඉන්න පුළුවන්නම්, අපි බේරිලා. ආයේ අපිට ඒ උපාදානය හේතු කොටගෙන භව සැකසෙන්නේ නැහැ. භව කියන්නේ කර්ම සකස් වෙන්නේ නැහැ. භව වියුක්තියෙක් බවට පත්වෙන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දෙයක්. නමුත් අපි ඒ තත්ත්වයට පත්වෙන්න තව කොච්චර හරිගැස්සෙන්න ඕන ද?, අනිත් අය ගැන නොවෙයි. තමන් ගැන හිතලා බලන්න ඕනෑ.

ඒ නිසා දැන් ඔය අහුවෙලා තියන ප්‍රමාණය ඇති හොඳටම. අපි යම් ප්‍රමාණයකට අහුවෙලා ඉන්නවනේ. මේ ඇසට. දැන් ඔය ඇති. ආයෙත් මේ ඇහැ කොච්චර පිනවන්න හැදුවත් ඒක තෘප්තිමත් වෙන්නෙ නැහැ. මේක හරියට මහ මුහුද වගේ. අනෙක් ඉන්ද්‍රියනුත් එහෙමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදි කොච්චර වතුර ගලා ආවත් මහ මුහුද තෘප්තිමත් නැහැ. ඒ වගේ කොච්චර පි‍්‍රය රූප දැක්කත් මේ ඇස තෘප්තිමත් නෑ. හැම තිස්සෙම බලන්නේ පි‍්‍රය රූපයක් ග්‍රහණය කර ගන්න.

ඇහැට හරි සතුටක්, පි‍්‍රය රූපයක් තමන්ට ලැබෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ රාගය හේතු කොටගෙන පුද්ගලයා පර්යේෂණයට යොමු වෙනවා කියලා. පර්යේෂණ කියන්නේ සොයන්න යොමු වෙන එක. යම් රූපයක් දැක්කහම ඒ රූපයට තණ්හාවෙන් බැඳුණොත් ඒක හොයන්න පුරුදු වෙනවා. (තණ්හං පටිච්ච පරියෙසනං) හොයන්න පුරුදුවීම හේතු කොට ගෙන එයාට ලැබෙනවා (පරියෙසනං පටිච්චලාභො) ලැබීම හේතු කොට ගෙන එයාට හටගන්නවා විනිශ්චය (ලාභං පටිච්ච විනිච්ඡයො) එයා විනිශ්චය කරන්න ගන්නවා. මේවායේ මේ වටිනාකම් තියනවා කියලා.

විනිශ්චය හේතු කොටගෙන ඡන්ද රාගය පහළ වෙනවා. (විනිච්චයං පටිච්ච ඡන්දරාගො) ඡන්ද රාගය කියන්නේ කැමැත්ත හා ඇල්ම. ඡන්ද රාගය නිසා මමත්වයෙන් සතුකර ගැනීමත් ඒ නිසා, මසුරු බව නිසා රැකවල්ලෑමත්, ඒ සඳහා දඬු ගැනීම්, අවි ගැනීම් ආදියත්, කලහ විවාද බොරු ඇනුම් බැණුම් ආදි නොයෙක් අකුසල ධර්මත් උපදිනව.

මේක හරිම ගාම්භීර වූ ධර්මයක්, භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. අපි මේක තේරුම් ගන්නා තෙක් කවදාවත් මේ සසරින් මිදෙන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ නිසා සසර දුක දකින, සසර බිය දකින අය හැටියට මේ කරුණු හොඳට තේරුම් ගන්න ඕන. අපිව මේ සසරට බැඳිලා තියෙන ඇස ගැන හොඳට තේරුම් ගන්න ඕන. මේ රූපය මේ විදියේ විපරිණාමයට පත්වෙනවා කියන එක ඒ තැනැත්තා පුරුදු කරලා නැහැ. ඔහුට ඒ සඤ්ඤා එන්නේ නැහැ. මේ ධර්මයේ පරිභාවිතයක් නැහැ. ඒ නිසා මැරෙන්න ලෑස්ති වෙනකොටත් පරිස්සම් කර ගන්න ඇස් දෙක.

සමහරුන්ට මැරෙන්නට යන කොටත් දකින්න ඕනෑ පි‍්‍රය රූපයක් . කෝ පුතා, කෝ දුව කිය කියා අඬ ගහනවා. මේ අය ඇවිල්ලා හිස් අත ගගා, කකුල් අතගගා. පි‍්‍රය බස් කියව කියවා, ඉන්න කොට හුස්ම ටික හෙළන්න තියනවා නම් හොඳයි කියලා සමහරුන්ගේ අදහස. ඇසින් ඡන්ද රාගයක් පහළ කරලා තියෙනවා. මට මගේ දුව, මගේ පුතා, මගේ නෑයා දැක දැක ඉන්න කියනවා නම් හොඳයි කියලා තමන් උපාදාන වෙලා ඉන්නවා. ඒ රූපවලට ඊට පස්සේ මැරිලා පසුව පේ‍්‍රත ලෝකවල ගිහිල්ලා උපදිනවා.

එතකොට ඒ දුක හරිගස්සලා දීලා තියෙන්නේ ඇසයි. පේ‍්‍රත ලෝකයට කැඳවා ගෙන ගියේ ඇස විසින් ඇති කරලා තියෙන ඡන්ද රාගය. මේක රාගයක්. ඒ නිසා මේ ඇහැ ඔය වගේ අනතුරක් අපිට සිද්ධ කරලා දෙනවා. අපි දන්නේ නැහැ. මෙච්චර දුකක්, අනතුරක් ඇති දෙයක් නේද මේ තියාගෙන ඉන්නේ කියලා. අපිට කොච්චර අනතුරක් කරන එක්කෙනෙක් එක්කද මේ ඉන්නේ කියලා අවබෝධයක් අපිට නෑ. ඒ නිසා මොනවද කරන්නේ. මෙයා ඉල්ලන්නේ මොකක්ද එය අපි දෙනවා. මේ අපිට ලැබිලා තියන ඉන්ද්‍රියන් මේවායින් තමයි අපි උපාදානය වෙන්නේ. ශබ්දවලට, ගඳ සුවඳට, ස්පර්ශවලට, රසයට, ඒ වගේම අරමුණුවලට උපාදාන වෙනවා.

පංච උපාදානස්කන්ධය කියන එක භාග්‍යවතුන් වහන්සේ වදාළා. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ලෙස දැන් වේදනා උපාදානස්කන්ධය කියන එකට ඔය ඔක්කොම අයිතියි. ඇසෙන් පි‍්‍රය රූපයක් දැක්කහම අපිට ඇතිවෙන්නේ සුබ වේදනාවක්. වේදනා උපාදානස්කන්ධයට තමයි ඕව අයිති. කනින් ශබ්දයක් අහනවා ඒකෙන් ඇතිවෙන වා සුඛ වේදනාවක්. ඒකට අපි උපාදාන වෙනවා. අපි ඒ ශබ්ද අහ අහා ඉන්න කැමතියි. ඒ සුඛ වේදනාවට අපි බැඳිලා යනවා. රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන උපාදානස්කන්ධයට අපි ඇස, කන, නාසය, දිව, කය, මනස, කියන මේවායින් බැඳෙනවා කියන එක අපි හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕන.

ඒ නිසා තමයි අපි මේ සසර මේසා විශාල දීර්ඝ ගමනක් ගමන් කරන්නේ කියලා හොඳට අවබෝධ කර ගෙන ඉන්න ඕන. මේ දීර්ඝ ගමන ඇවිල්ලා ලබා ගත් මනුෂ්‍යභාවය තුළ අපි මේකේ තියෙන දුක් ටික සැපයි කියලා සිත සිතා ඉඳලා මැරිලා යන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපිට මේක දුකක් කියලා අවබෝධ වෙලා මේ දුකට වඩා සැපයක් තියෙනවා කියන එක තේරුම් අරගෙන ඒ සැප සාක්ෂාත් කර ගන්නයි වෑයම් කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ වාදරනවා “ආතාපි සම්පජානෝ සතිමා” කියලා කාරණා තුනක්. මේ කාරණා තුන අපි සතුව තියෙන්න ඕන.

දැන් අපි මේ කෙලෙස් ගින්නට අහුවෙලානේ තියෙන්නේ. දැන් ඇස පිනව පිනවා, කන පිනව පිනවා, දිව පිනව පිනවා, ශරීරය පිනව පිනවා, මනස පිනව පිනවා ඉන්නේ. මහ ලොකු ගින්නකට අහුවෙලා තමයි අපි ඉන්නේ. අපි එකවරකට අපායට වැටෙනවා. ආයේ සැරයක් සුගතියකට එනවා. මේ විදියට එමින් යමින් මේ සසර ගමන යන්නේ. අපි ලොකු ගින්නකට අහුවෙලා . එකොළොස් ගින්නකට අහුවෙලා. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ එකළොස් ගිනිවලට අහු වෙලා තමයි අපි මේ ගමන යන්නේ.

මේ කෙලෙස් ගින්න නිවන්න අවශ්‍ය කරන වීර්යයක් අපට තියෙන්න ඕන. ඒ වීර්යය ඇති කෙනාට මා තුළ මහ කෙලෙස් ගින්නක් තියෙනවා. ඒ නිසා මේ ගින්න මා විසින් නිවා දැමිය යුතුයි. කියන දැඩි වීර්යයක් ඇති කෙනාට තමයි මේ සතර සතිපට්ඨානය ඔරොත්තු දෙන්නේ. සම්පජානකාරි කියලා කියන්නේ කොච්චර වීර්යය තිබ්බත් වැඩක් නැහැ. එයාට තියෙන්න ඕන ඒක කරන්න පුළුවන් හැකියාව. ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එයට කියනවා සම්පජානකාරි කියලා. පින්වතුනී, දස්සනානුත්තරියං’ ඇතිවෙලා තිබෙන රාගයන් නැති වෙන ආකාරයට. නැති රාගයන් ඇති නොවෙන ආකාරයට ඔබේ දෑස පිනවන්න කියන එකයි අපට පැහැදිලි කරන්නේ. ඉන්ද්‍රියන් පාලනය කර ලබා ගත් මිනිස් ආත්මය ධර්මානුකූල ව සාර්ථක කර ගනිමු.