Print this Article


දෙව්ලොව විවිධත්වය මිනිස් ලොවට සමාන ද?

දෙව්ලොව විවිධත්වය මිනිස් ලොවට සමාන ද?

සුද්ධාවාසික බ්‍රහ්මලෝකවල බ්‍රහ්මයන් අනාගාමී ඵලයට පත් වූ අය බැවින් පංචකාමයෙන් වෙන් වී ඇත. පංචකාමයෙන් දුරු වු මෙම බ්‍රහ්මලෝකවල පංචකාමය මුල් කොට ගත් වැරැදි අඩුපාඩු කිසිවක් සිදු නොවේ

රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස යන පංච කාමයන් ඇසුරු කරමින් ඒ පංචකාමයන්ගෙන් සතුටු වන ලෝක කාම ලෝක ලෙස හැඳින්වේ. සුගති හා දුගති වශයෙන් කාම ලෝකය කොටස් දෙකකි. ඒ අතරින් සැපයෙන් අඩු, බොහෝ දුක් සහිත, නිරය, තිරිසන් යෝනිය, පේ‍්‍රත විෂය කාම දුගති වශයෙන් හඳුන්වයි. මිනිස් ලෝකය හා සදෙව් ලෝක කාම සුගති වශයෙන් නම් කෙරේ.

ඒ අතරින් මිනිස් ලෝකයට වඩා චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයේ සැප බහුල ය. චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට වඩා තාවතිංස දිව්‍ය ලෝකයේ සැප බහුල ය. මේ අයුරින් මතු මතු දිව්‍ය ලෝක වඩ වඩාත් සැප බහුල ලෝක ලෙස හැඳින්වේ. ඒ අනුව පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකය පංචකාම සැප අතුරින් වඩාත්ම සැප බහුල ලෝකය ලෙස හැඳින්විය හැකි ය. දිව්‍ය ලෝකයන්හි මෙම සැප සම්පත් පිළිබඳ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයන්හි ඇතුළත් වර්ණනා නිසාම බොහෝ බෞද්ධ පින්වතුන් පින් රැස් කරමින් දෙව් ලොව උපත ප්‍රාර්ථනා කරති.

සාහිත්‍ය ග්‍රන්ථයන්හි බොහෝ විට සඳහන් වන්නේ දෙවියන් විසින් කරන ලද යහපත් දේ පිළිබඳ පමණි. බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේට, උපාසක උපාසිකාවන්ට කරන ලද උදවු උපකාර පිළිබඳ බොහෝවිට සඳහන් වේ. බොහොමයක් දේව කථාවල සඳහන් වන්නේ, මිනිස් ලෝකයේ දී පින්කම් කොට දෙව් ලොව උපත ලබා සැප විඳින ආකාරයයි. මේ නිසාම පින් රැස් කිරීමෙන් නොවැරදීම දෙව් ලොව උපත ලැබීමට හැකි වේ යන වැරැදි අදහසක් ද බොහෝ දෙනා තුළ ඇත.

නමුත් දෙව් ලොව පිළිබඳ සත්‍ය තොරතුරු නිවැරැදිව ම දැන ගැනීමට නම් සූත්‍ර දේශනා විමසා බැලිය යුතු ය. සමහර සූත්‍ර දේශනාවල බ්‍රහ්මලෝකවල වාසය කරන බ්‍රහ්මයන් ද පොදුවේ “දේව“ යන වචනයෙන් හඳුන්වා ඇත. එයින් රූපී අරූපී බ්‍රහ්මලෝකවල, බ්‍රහ්මකායික දෙවියන් සමාධිය මුල්කොට ගෙන පංචකාමයෙන් වෙන් වී ඇත. සුද්ධාවාසික බ්‍රහ්මලෝකවල බ්‍රහ්මයන් අනාගාමී ඵලයට පත් වූ අය බැවින් පංචකාමයෙන් වෙන් වී ඇත. පංචකාමයෙන් දුරු වු මෙම බ්‍රහ්මලෝකවල පංචකාමය මුල් කොට ගත් වැරැදි අඩුපාඩු කිසිවක් සිදු නොවේ.

පංචකාමයෙන් වෙන් නොවූ දෙවියන් අතර ද, මිනිස් ලොව මෙන්ම පංචකාමය මුල් කොට වැරැදි අඩුපාඩු සිදුවන බව සූත්‍ර දේශනාවල සඳහන් වේ.

පිරුවානා පොත් වහන්සේගේ ද ඇතුළත් දීඝ නිකායට අයත් “ආටානාටිය” සූත්‍ර දේශනාවෙහි, දෙවියන්ගෙන් සමහර දෙනෙක් පංචශීලය කඩකරන බව සඳහන් වේ. නමුත් සූත්‍ර දේශනාවෙහි සඳහන් වන්නේ යක්ෂයන් (යක්ඛ) පන්සිල් නොරකින බවයි. බොහෝ සූත්‍ර දේශනාවල දෙවියන් හැඳින්වීම සඳහා “යක්ඛ” යන යෙදුම භාවිත ආකාරය විමසා බැලිය යුතු ය.

උපාලි ගෘහපතියා විසින් ගුණ පද සියයකින් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන විට ද, යක්ඛ යන පදය භාවිත කර ඇත. (උපාලි සූත්‍රය ම.නි. 2) ආටානාටිය සූත්‍රය “වෛශ්‍රවණ” දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේට කරන ප්‍රකාශයකි. වෛශ්‍රවණ යනු චාතුම්මහාරාජික දෙව්ලොවෙහි උතුරු දිශාවට අධිපති වූ, යක්ඛ නම් දේව කොටසෙහි ප්‍රධාන දෙවියන් ය. යක්ඛ යනු උතුරු දිශාවේ සිටින චාතුම්මහාරාජික දෙවියන්ට යෙදෙන නමකි. මේ නිසා ආටානාටිය සූත්‍රයෙහි යක්ඛ යන නම යෙදී තිබුණත් එයින් අදහස් වන්නේ දෙවියන් පිළිබඳ ය. එසේම සූත්‍ර දේශනාවෙහි සඳහන් වන්නේ යක්ෂයින් බොහෝ සෙයින් පංචශීලය රැකීමෙන් වැළකුණේ යන්නයි. (යෙභුය්‍යෙන භන්තේ යක්ඛා (අප්පටිවිරතායේව පාණාතිපාතා)

දෙවියන් ( සුර) හා අසුරයන් අතර ඇති වූ සුර – අසුර යුද්ධයක් පිළිබඳ“ ධජග්ග සූත්‍රයෙහි” සඳහන් වේ. යුද්ධයක් සිදු වූයේ නම් අවි ආයුධ භාවිත කිරීම ද සිදු විය යුතු ය. එසේම යුද්ධයේ දී බිය තැතිගැනීමක් ඇති වූයේ නම්, සක්දෙවිදුන්ගේ හෝ ප්‍රජාපතී, වරුණ, ඊ සානස්ස යන දෙවිවරුන්ගේ කොඩිය දෙස බලා බිය තැති ගැනීම දුරු කර ගන්න යැයි පැවසූ බව එම සූත්‍රයේ සඳහන් වේ.

එනම් ප්‍රජාපතී, වර්ණ, ඊ සානස්ස යන දෙවිවරු යුද්ධයෙහි දක්ෂ සෙන්පති දෙවිවරු විය හැකි ය. ඔවුන්ගේ කොඩිය දෙස බැලීමෙන් ඔවුන් තවමත් යුද භූමියෙහි සිටිනා බව දැන ගත හැකි වේ. එබැවින් බිය නැතිව යුද්ධ කරන්න යනු මෙහි අදහස යි.

යුද්ධ කරන්නේ තමන්ට යමක් අයත් කර ගැනීමට හෝ තිබෙන යමක් ආරක්ෂා කර ගැනීමට හෝ වේ. දෙවියන් ද පංචකාමය මුල්කොට අගතියට යන බව මෙයින් පැහැදිලි වේ.

මෙම සුර – අසුර යුද්ධය බොහෝ අවස්ථාවල සිදු වූ බව සූත්‍ර දේශනාවල සඳහන් වේ. එක් අවස්ථාවක සුර –අසුර යුද්ධයෙන් පැරදුන සක්දෙව් ආපසු පලායන විට “හිඹුල් වනයෙහි” ගුරුළු කැදලි විනාශ වෙනු දැක, රියැදුරු මාතලීට රථය ආපසු හරවන්න යැයි පැවසු බව “කුලාවක” (සං.නි -1) සූත්‍රයෙහි සඳහන් වේ.

පසුකාලීන සාහිත්‍ය ග්‍රන්ථවල, දිව්‍ය ලෝකයෙහි තිරිසන් සතුන් නැති බව සඳහන් වුවත්, එය වැරැදි අදහසක් බව මෙයින් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ තිරිසන් සතුන් සඳහා වෙනම ලෝකයක් දේශනා කර නැත. දේශනාවල සෑම විටම සඳහන් වන්නේ “තිරිසන්යෝනිය” (තිරච්ඡානයෝනි) වශයෙනි.

එක්තරා අවස්ථාවක අලව් නුවර, අග්ගාලව නම් ප්‍රදේශයෙහි විසූ භික්ෂූන් වහන්සේ නමක්, තමන්ට කුටියක් සාදා ගැනීම පිණිස ගසක් කැපීමට සූදානම් විය. ඒ අවස්ථාවේ එම ගස තම විමානය (භවන) කර ගෙන සිටි දෙවියෝ, ගස කපන්නට එපා යැයි භික්ෂුවගෙන් ඉල්ලා සිටියි. භික්ෂුව ඒ ගැන නො තකා ගස කපන විට, දෙවියාගේ දරුවකුගේ අතකට පහර වැදුණි. ඒ අවස්ථාවේ භික්ෂුව මරා දැමීමට අදහස් කළ දෙවියා, නැවත බුදුරජාණන් වහන්සේ සිහිපත් වී බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සිදුවීම පැවසීය.

දෙවියාට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ වෙනත් ගසක විමානයක් පෙන්වා දී පසුව භික්ෂූන් රැස් කරවා, උපසපන් භික්ෂූන්ට ගස් කොළං කැපීම වරදක් (ආපත්තියක්) බවට ශික්ෂා පද පනවා වදාළහ.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ සිටි කාලයක, භික්ෂූන් වහන්සේට අශුභ භාවනාව පිළිබඳ දේශනා කොට, තුන් මාසයක් හුදෙකලා වාසය පිණිස වනයට වැඩම කළහ. භික්ෂූන් වහන්සේ වැරදි ලෙස අශුභ භාවනාව පුරුදු කිරීමෙන් කය පිළිබඳ කලකිරීමට පත් වී, සිය ජීවිතය නැති කර ගැනීමට උපක්‍රම සෙවීය. මෙකල භික්ෂූන් අතර සිටි “මිගලාණ්ඩික” නම් ශ්‍රමණ වෙස් ගත් පුද්ගලයා (සමණකුත්තකෝ) කඩුවෙන් ගෙල සිඳ භික්ෂූන් මරා දැමීය. පසුව භික්ෂූන් මරා දැමීම පිළිබඳ සැක ඇති කර ගත් මිගණ්ඩිකයා ලේ තැවරුණ කඩුව ගඟට ගොස් සෝදන අවස්ථාවේ, එක්තරා මාරපාක්ෂික දෙවියෙක් ( මාරකායික දේවතා) පෙනී සිට

“ඔබ බොහෝ පින් රැස් කරගත් බවත්, ඔබ නිසා සසරින් එතෙර වීමට නො හැකි වූ බොහෝ භික්ෂූන් සසරින් එතෙරවූ බවත් මිගලණ්ඩිකයාට කියා සිටී. එයින් මුළාවට පත් මිගලණ්ඩිකයා තව තවත් භික්ෂූන් ඝාතනය කළ අතර, ආපසු වැඩම කළ බුදුරජාණන් වහන්සේ මේ කාරණය දැන, භික්ෂූන් රැස් කරවා, උපසපන් භික්ෂුවක් විසින් මිනිසකු මැරීම “පාරාජිකා” ආපත්තියක් බවට ශික්ෂාපද පැනවීය.

(විනය පිටකය – පාරාජිකාපාලි)

මාරයා ද දෙව්ලොව බලගතු දෙවියකු බව සූත්‍ර දේශනා අනුව පැහැදිලි වේ. සූත්‍ර දේශනා අනුව මාරයා යනුවෙන් පුද්ගලයකු හා ඔහුට අනුගාමී වූ පිරිසක් ඇති බව තේරුම් ගත හැකි ය. මාරයා යනු මිනිස් ලොව මිනිසකු නොවන අතර ම නිරය ආදී දුගතියක උපන් අයෙක් ද නොවේ. බඹලොව බ්‍රහ්මයන් පංචකාමය ඉක්මවා ගිය පිරිසක් බැවින් මාරයා බඹලොව බ්‍රහ්මයකු නොවිය යුතු ය. එබැවින් මාරයා යනු දෙව් ලොව දෙවියකු වේ. අටුවාවන්ට අනුව පරනිම්මිත වසවත්ති දෙව්ලොවෙහි බලගතු දෙවියෙක් වේ. බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පෙර සිටම මාරයාගෙන් බලපෑම් ඇති විය. බෝමැඬ වැඩ සිටි බෝධිසත්වයන් වහන්සේට මාරයාගෙන් සිදුවූ බලපෑම ඉතා විසිතුරු ලෙස “පූජාවලිය” ආදී සාහිත්‍ය ග්‍රන්ථවල විස්තර වේ.

සම්බුද්ධත්වයට පසුව මාරයාගේ දියණියන් වූ තණ්හා, රතී, රගා යන දෙව් දූවරුන් බුදුරජාණන් වහන්සේට බලපෑම් කළ බව “මාරධීතු” (සං.නි - 1) සූත්‍රයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේට ද මාරයා විවිධ අවස්ථාවල බලපෑම් කළ බව සූත්‍ර දේශනාවල සඳහන් වේ.

ආයුෂ ගෙවීයාමෙන් දෙව් ලොවින් චුත වන දෙවියන්ගෙන්, නිය පිටට ගත් පස් තරම් ඉතා සුළු ප්‍රමාණයක් නැවත දෙව්ලොව ඉපදෙන බවත්, මහ පොළවේ පස් තරම් ඉතා විශාල ප්‍රමාණයක් දුගතියෙහි උපදින බවත් “දේව චුති” සුත්‍රයෙහි (සං.නි. 3) සඳහන් වේ. යමෙක් දුගතියෙහි ඉපදීමට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් ඇත. එනම් මිථ්‍යා දෘෂ්ටික වීම හා දුශ්ශීල වීමයි. දෙවියන් අතරින් චුත වන දෙවියන්ගෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් නිරය ආදී දුගතියෙහි උපත ලැබීමට නම්, බොහෝ දෙවියන් මිථ්‍යා දෘෂ්ටික හෝ දුශ්ශීල විය යුතු ය. එසේම එක්තරා දෙව් පිරිසක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ, නිගණ්ඨනාථපුත්ත ආදී ෂඩ් ශාස්තෘවරුන් වර්ණනා කළ පුවතක් “නානාතිත්ථියසාවක” සූත්‍රයෙහි (සං.නි. -1 ) සඳහන් වේ. මේ කරුණු අනුව දෙව්ලොව විවිධත්වය ද මේ මිනිස් ලොව හා සමාන බව පිළිගත හැකි වේ.