සම්බුදු දහමේ පිළිවෙළ කථා :
බෞද්ධයාගේ දානය
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
( බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය)
කේ.කේ. සුගතපාල
උත්තර මනුෂ්‍යත්වය නම් සෝතාපන්න ආදී මාර්ගඵල ලැබීම ය. මනුෂ්‍යත්වය ලැබූ ලොව වසන ඕනෑ
කෙනකුට ඔබින දහමක් හෙයින් ද මෙය මනුෂ්‍ය ධර්මයකි. මනුෂ්‍ය ධර්ම නැති කිසිවකු හට හෝ
උත්තර මනුෂ්‍ය ධර්ම වෙත ළඟා විය නොහැකි ය.
දියට වන් පුද්ගලයාට දිය ගලා යන පහළට පිහිනීම පහසු කාර්යයකි. එහෙත් දියෙහි උඩු අතට
පිහිනීමට නම් වීර්යයක් දැරිය යුතු ය. ආයාසයක් වෙහෙසක් දැරිය යුතු ය.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ත්‍රිවිධ වෙති. පරියාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ
යනුවෙනි. එනම්, පෙළදහම දැනගැනීම , දැනගත් දහම ක්‍රියාවට නැඟීම හා ක්‍රියාවට නැඟීම
තුළින් ප්‍රත්‍යක්ෂ කිරීමයි. ඒ ධර්මය අවබෝධ කර ගැනීමට නම්, ඉහත කී පරිදි දියෙහි උඩට
පිහිනීම වැනි යම් වීර්යයක් දැරිය යුතු ම ය. මේ සඳහා බුදුදහමේ පසළොස් චරණ ධර්මයක්
උගන්වා ඇත. එනම්, හැසිරීම් පසළොසකි.
සූත්‍ර පිටකයෙහි බොහෝ තැන්හි මේ පිළිවෙළ කථා යන යෙදුම ව්‍යවහාර වී තිබේ. බුදුරජාණන්
වහන්සේගේ ධර්මය මනුෂ්‍ය ධර්මයෙකි. සත්ත්ව ලෝකයේ වෙනත් කිසිම සතකුට වඩා වැඩිය හැකි
මනසක් ඇත්තේ මනුෂ්‍යයාට ය. එහෙයින් මනුෂ්‍යත්වය යනු කුමක්ද? හා එවන් මනසක් ඇති
මිනිසාට මනුෂ්‍යත්වයේ සිට උත්තර මනුෂ්‍යත්වය කරා යා හැක්කේ කෙසේද? යන්න ඉගැන්වීමක්
දේශනා කර ඇති හෙයින් මේ දහම මනුෂ්‍ය දහමක් ලෙස හැඳින්විය හැකි ය.
උත්තර මනුෂ්‍යත්වය නම් සෝතාපන්න ආදී මාර්ගඵල ලැබීම ය. මනුෂ්‍යත්වය ලැබූ ලොව වසන ඕනෑ
කෙනකුට ඔබින දහමක් හෙයින් ද මෙය මනුෂ්‍ය ධර්මයකි. මනුෂ්‍ය ධර්ම නැති කිසිවකු හට හෝ
උත්තර මනුෂ්‍ය ධර්ම වෙත ළඟා විය නොහැකි ය.
මේ දහම ශ්‍රාවකයා වෙත දේශනා කිරීමේ දී තථාගතයන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත “පිළිවෙළ
කථා” වශයෙන් හැඳින්විය හැකි ය. පටිසෝතගාමී මඟෙහි යාමට තම ශ්‍රාවකයා කැමැත්තක්
දක්වන්නේ නම්, බුදුරජාණන් වහන්සේ මේ පිළිවෙළ කථා ක්‍රමය බොහෝ විට අනුගමනය කළ බව
ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ.
ඒ පිළිවෙළ කථාවේ යම් විස්තරයක් පහත සඳහන්ව ඇත.
බුදුරජාණන් වහන්සේ ලෝක සම්මත ධර්මයට ගරු කරමින් ම පරමාර්ථ දහමට තම අනුගාමිකයා
පොළඹවා ඇති බවත්, මේ කථා මර්ගයෙන් සනාථ වේ. ඒ වන විට දේවවාදී හා අදේවවාදී ආගම්
තුළින් ජනයා පෙළගස්වා තිබුණේ දිව්‍ය ලෝක සම්පත් හා බ්‍රහ්ම ලෝක සම්පත් අනුභවය සඳහා
ය. ඔවුනගේ “නිවන” ද ඒවා ම වූහ. එහෙයින් ම බුදුරජාණන් වහන්සේ ද තම ධර්මය තුළින්
දීමෙන් (දානයෙන්) හා සීලයෙන් (හික්මීමෙන්) මෙම දිව්‍යලෝක සම්පත්තිය ලැබිය හැකි
බවත්, භාවනාවෙන් ලෞකික වූ බ්‍රහ්ම සම්පත් ලැබිය හැකි බවත් දේශනා කරමින් ම කාම රූප
අරූප භව සම්පත්තීන්හි ආදීනව දේශනාව කළ සේක.
ආදීනව දේශනාව මඟින් තම අනුගාමිකයා කාමයන්ගෙන් මුදා ගැනීමට නෙක්ඛම්ම දේශනාව කළ සේක.
කාම සම්පත්ති ආදීනව දැක හික්මුණු ශ්‍රාවකයාට කාය විවේකය – චිත්ත විවේකය හා උපධි
විවේකය ලබා දෙන ත්‍රිවිධ විවේකය අනතුරුව උගන්වාලන සාමුක්කංසිකී (ගැඹුරු) දේශනාවට
සිත මෙහෙයවන ලදී. මේ එක් එක් කථාවේ ආනිසංස පෙළදහමෙහි හා අටුවාවන්හි එන අයුරු මෙසේ
පෙළගැස්විය හැකි ය. ඒ පිළිවෙළ කථා නම්,
දාන කථා, ශීල කථා, සග්ග කථා, ආදීනව කථා, නෙක්ඛම්ම කථා හා සාමුකංසික දේශනා වශයෙනි
උතුම් දීම
දානය නම් අල්ලා නොගෙන දීමයි. දිය යුතු කෙසේද? ලෞකික අපේක්ෂා රහිතව, නිවන් අරමුණූ
කොට ම දීම බෞද්ධයාගේ දානයයි. එනම් තණ්හාව ක්ෂය වන පරිදි දීම ය.
දෑත දෙපය ආදී කොට බාහුව වෙහෙසා දහඩිය හෙළා, ගත සිත යොදා, උපයා ගත් දෙයින් (දෙය්‍ය
වස්තු) දෙන වස්තුව ම උතුම් දීම ලෙස සැලකේ. එසේ වුවත් ධර්ම දානය ම උතුම් වන අතර, අභය
දාන, ශ්‍රමදාන ආදී පරිභෝග නොවන වස්තු දීම ද පරිභෝග වස්තූන් දීමට වඩා උතුම් දාන ලෙස
දහමෙහි සඳහන් වේ. එසේම දන් දීමේ බොහෝ ප්‍රභේද ඇත.
පින කෙතක් වේ නම්...
මෙහිදී බෞද්ධයන්ගේ දන්දීම ගැන සඳහන් කරන විට ශ්‍රද්ධාවෙහි පිහිටා දන්දීම වඩාත්
ඵලදායක වේ. පින කෙතක් වේ නම්, එය පෝරුගා බිජු වැපිරීමට කෙත සකසා ගැනීම ශ්‍රද්ධාවයි.
තුණුරුවන් විශ්වාස කොට, තුණුරුවන් ගුණ විමසීමේ දී ඒ ගැන තව තවත් විශ්වාසය තහවුරු වේ
නම්, තුණුරුවන් කෙරෙහි පැහැදේ නම් ශ්‍රද්ධාව එය ම වේ.
ශ්‍රද්ධාව පිහිටා ඇති බව තේරුම් ගැනීමට මිනුම් දඬු තුනක් ධර්මයේ සඳහන් ව තිබේ. දීමට
ඇති කැමැත්ත, සත්පුරුෂ ඇසුරට ඇති කැමැත්ත හා සද්ධර්මය ශ්‍රවණයට ඇති කැමැත්ත වශයෙනි.
ශ්‍රද්ධාවෙහි පිහිටා දන් දීමෙන් ලැබෙන අනුසස් මෙසේ ය. චාග නම් වූ අත්හැරීම මෙහි
දියුණුූ අවස්ථාවයි.
සිත සිතා සිත නවතා ගත හැකි තැන
දානය, සැප ලැබීමට නිදානයකි. සම්පත් ලැබීමට මුලයි, භෝග ලැබීමට ආධාරයකි.,
විරුද්ධකරුවන් නැති කරවන්නකි, ආරක්ෂාව සලසන්නකි, පරලොව ගමනට පිහිටකි, මෙලොව, පරලොව
දෙකට ම දානය හා සමාන අස්වැසිල්ලක් – පිහිටක් තවත් නැත. අරමුණක් ඇති දෙයකි.
දානය ලෙනක් මෙනි, දානය සිත සිතා සිත නවතා ගත හැකි තැනෙකි. සිතට නැවතිය හැකි පහසු
තැනෙකි.
දන්දීම හොඳ ගතියකි. අනාගත බලාපොරොත්තු තබාගත හැකි දෙයකි. අනුන් සිත දිනා ගත හැකි
දානය හා සමාන දෙයක් තවත් නැත. දානය පිහිටක් කොට යන අර්ථයෙන් ගන්නේ නම් “රනින් කළ
සිංහාසනයක්” හා සමාන ය.
අපිරිසුදු වූ මසුරු මල (ලෝභකම) ආදියෙන් ගත් කල දානය “පියුමකි”
අපිරිසුදු වූ මසුරු මල (ලෝභකම) දැවීම් අර්ථයෙන් ගත් කල ගින්නක් වැනි ය. සතුරකුට ළං
නොවීම අර්ථයෙන් ගත් කල “ආසීවිසයෙකි” (සර්පයෙකි) බය නැති අර්ථයෙන් ගත් කල දන් දෙන්නා
“සිංහයෙක්” වැනි ය. , දානය බල අර්ථයෙන් ගත් කල “ඇතෙකි”.
මංගල සහිත අර්ථයෙන් ගත් කල “සුදු ගොනෙකි”.
ක්ෂේම භූමියට කැඳවා ගෙන යන අර්ථයෙන් ගත් කල වළාහක (අහසෙහි ගමන් කළ හැකි) අශ්ව
රාජයෙකි.
වැඩියෙන් දුන් තරමට...
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ – මහණෙනි, මේ දානය නම් තමන් වහන්සේ සසර ආ මර්ගය
යැයි යනුවෙනි.
“මාගේම වංශය” වශයෙනි. දස පාරමිතා පූරණය කල මේ මාගේ “මහායාගය” යි. සසරේ දී වේලාම
මහායාගය (වේලාම සූත්‍රයේ එයි) මහාගෝවින්ද මහායාගය (මහාගෝවින්ද සූත්‍රය) මහාසුදස්න
මහායාගය (මහා සුදස්සන සූත්‍රය) වෙස්සන්තර මහායාගය (වෙස්සන්තර ජාතක කථාව) ආදී නොයෙක්
මහාදාන යාගයන් ම විසින් පවත්වන ලදහ. සා ජාතියෙහි සිටි කල දැල්වෙන ගිනිකඳෙහි තමා පැන
ජීවිතය දන් දීමෙන් යාචකයාගේ සිත් ගන්නා ලදි.
දානය වනාහි ශක්‍ර සම්පත්ති ලබා දෙයි. බෝසත් සමයෙහි සත්තිස් වතාවක් පින්කොට
සක්දෙවිඳු ව උපන් බව තථාගතයන් වහන්සේ මාපුඤ්ඤභායි සූත්‍රයේ දී දේශනා කර ඇත.
දානය වනාහි බ්‍රහ්ම සම්පත්තිය – චක්‍රවර්තී සම්පත්තිය –ශ්‍රාවක පාරමී ඤාණය – පච්චේක
බෝධි ඤාණය – අභිසම්බෝධි ඤාණය ආදී මේ ඤාණයන් ලබා දෙයි.
පෞද්ගලික දානයකට වඩා ආර්ය මහා සංඝ රත්නයට පොදුවේ දෙන දානය උතුම් ය.
ආර්ය මහා සංඝ රත්නය සිහිකොට දුශ්ශීලයකුට හෝ කාසාවකණ්ඨකයකුට හෝ දෙන දානය ද උතුම්
වූවක් ම ය.
නිවසේ ඇති දැඩි කරන සුනඛයාට දෙන ආහාරයට වඩා නිදැල්ලේ හැසිරෙන සුනඛයකුට දෙන ආහාරයෙහි
පින් වැඩි ය. (ම.නි.දක්ඛිණා විභංග සූත්‍ර අටුවාව බලන්න)
දන්දීමේ ආනිශංස ලෙස වැඩියෙන් දුන් තරමට පින් ද වැඩි ය.
බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමිට පිදූ දානය හා සැරියුත් හිමියෝ බුදුරජාණන් වහන්සේට
පිදු දානයේ වැඩි ආනිසංස වූයේ, බුදුරජාණන් වහන්සේට ය. ඒ දන්දීමේ අනුසස් සැරියුත්
හිමිට වඩා බුදුරජාණන් වහන්සේ දැන සිටි හෙයින් ය.
මෙම ලිපියේ ඉතිරි කොටස වප් පුර පෝදා කලාපයේ පළ වේ. |