ජීවිතයේ
නොදුටු පැත්ත
බිබිල,ඇකිරියන්කුඹුර,
බැලුම්ගල ආරණ්‍ය සේනාසනයේ
පොතුහැර විපස්සී හිමි
බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී වූ විශ්මිත අවබෝධය පිළිබඳ අසන්න ලැබුණු ථුල්ලකොට්ඨිත
ගම්වැසියෝ, බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ. කෝටි ගණනක ධනයකට හිමිකම් කියන එම ගමේ
සිටු පවුලක එකම දරුවා වූ රට්ඨපාල තරුණයා ද එම පිරිස අතර විය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ සාරය පිළිබඳ විමසා බැලූ රට්ඨපාල තරුණයාට,
ගිහි ජීවිතයක ඇති දහසක් කරදර බාධා පිළිබඳ ව ද, පැවිදි ජීවිතයක ඇති සැහැල්ලු බව
පිළිබඳ ව ද වැටහිණි.
මරණයෙන් වත් අපට නුඹගෙන් වෙන් විය නොහැකි යැයි මව්පියන් කියද්දී, දින ගණනාවක මහත්
උත්සාහයෙන් පසු පැවිද්ද සඳහා අකැමැත්තෙන් ම අනුමැතිය දුනි. රට්ඨපාල තරුණයා පැවිදි
උපසම්පදාව ලබා අඩ මසකට පසු බුදුරජාණන් වහන්සේ සමඟ සැවැත්නුවර බලා චාරිකාවේ වැඩම
කරන්නට විය.
රට්ඨපාල ස්වාමීන් වහන්සේ ඉතා කෙටි කලකින් ම, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වීමට
හැකි විය. පසුව බුදුපියාණන් වහන්සේගෙන් ද අවසර ලබා ගෙන තම මව්පියන් බැලීමට
ථුල්ලකොට්ඨිත උපන් ගම බලා වැඩම කළහ. පළමු දිනයේ දී ගිහි කල නිවසින් දානය නොලැබුණත්,
දෙවැනි දිනයේ මව්පියන් විසින් දානයට ආරාධනා කරනු ලැබුයේ, තම පුතු නැවතත් ගිහි ගෙදර
නවතා ගන්නා බලාපොරොත්තු ඇතිව ය.
දෙවැනි දිනයේ දානය පිණිස වැඩම කළ රට්ඨපාල මහරහතන් වහන්සේට, මව්පියන් විසින් රැස්
කොට තැබූ කෝටි ගණනක රන්, රිදී පෙන්වා නිවසේ නතර වී පින් කර ගන්නැයි ඉල්ලා සිටියේ ය.
රට්ඨපාල හිමියන්ගේ පිළිතුර වූයේ කැමැති නම් සියලු ධනය ගංගා නම් ගඟට දමන්න. ඒ නිසා
කිසිදු දුකක්, කරදරයක් නොවන බවයි” දානය වළඳා අවසන් කළ රට්ඨපාල හිමියෝ “මුව වැද්දා
උගුල් අටවා බලා සිටියදී ම උගුලට අසුනොවූ මුවා ගොදුරු කා පැන ගියේ ය. මුව වැද්දා
දුකට පත් විය” යනුවෙන් ගාථාවෙන් පවසා, දහවල් විවේකය පිණිස” කෝරව්‍ය” රජතුමාගේ
මිගාචීර නම් වූ උයනට වැඩම කළහ.
උයනට පැමිණි කෝරව්‍ය රජතුමා හා රට්ඨපාල හිමියන් අතර, ඇති වූ ධර්ම සාකච්ඡාව, අප
සියලු ම දෙනාම විමසා නො බැලූ, එහෙත් විමසා බැලිය යුතු ජීවිතයේ අභ්‍යන්තරය පිළිබඳ
සත්‍ය ස්වභාවය හෙළි කරයි.
පළමුවෙන් රජතුමා පවසන්නේ, බොහෝ දෙනා වයසට පත්වීම නිසා හෝ, ලෙඩ දුකට පත්වීම නිසා හෝ,
ධනයෙන් පිරිහීම නිසා හෝ, ඥාතීන්ගෙන් පිරිහීම නිසා හෝ පැවිද්දට පත්වන බවයි. එනමුත් ඒ
කිසිවකින් පිරිහීමක් නැති ඔබ වහන්සේ තරුණ කාලයේ ම පැවිද්දට පත්වීමට හේතුව දැන
ගැනීමට කැමැති බව රට්ඨපාල හිමියන්ගෙන් අසා සිටී.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණු හතරක් පිළිබඳ නුවණින් විමසා බලා තමන්
පැවිදි වීමට තීරණය කළ බව රට්ඨපාල මහරහතන් වහන්සේ පිළිතුරු දුන්හ.
කිසිවක ස්ථීර බවක් නැත. උපන් සත්වයා ජරා, මරණ, කරා ඇදගෙන යයි. (උපනීයති ලෝකෝ
අද්ධූවෝ) රට්ඨපාල හිමියන් මේ කරුණ රජතුමාට පැහැදිලි කර දෙන්නේ, වයස අවුරුදු 20,30
වැනි තරුණ කාලයේ ශරීර ශක්තියත්, දැන් අසූ වයස් වු රජතුමාගේ ශරීර ශක්තියත් පිළිබඳ ව
සැසඳීමෙනි.
ජීවිතයක තරුණ වයසේ දී ඕනෑම කටයුත්තක යෙදිය හැකි ශරීර ශක්තියක් ඇත. මේ ශාරීරික
ශක්තිය නිසා මත් වන්නෝ ද වෙති. එය හඳුන්වන්නේ යෞවන මදය (යොබ්බනමද) ලෙසයි. තරුණකමෙන්
මත් වු කෙනාට නුවණින් විමසා බලා කටයුතු කිරීමේ හැකියාව නැත. තමන්ට හිතෙන දේ කරන
“හිතුවක්කාර” වූ ඔවුන් ඒ නිසාම තම ජීවිතය විනාශ කර ගනී. වැඩිහිටියන්ගේ හා
සිල්වතුන්, ගුණවතුන්ගේ අවවාද උපදෙස් පිළිනොපැදීම හා විවේචනය කිරීම තරුණ මදයෙන්
මත්වූවන්ගේ ලක්ෂණයකි. එම අවවාද උපදෙස් වැඩකට නැති සම්ප්‍රදායික චාරිත්‍ර බව ඔවුන්ගේ
අදහසයි.
සැම දෙනා ම තරුණ බව ඉක්මවා වයසට යන බව නිතර සිහිපත් කළ යුතු බව “ඨාන” සූත්‍රයේ
දේශනා කොට වදාළේ එබැවිනි. වයසට යාමේ දී වයසට නොයා සිටිත්වා යන්න කිසිවකුටත් ලැබිය
නොහැකි ලෝක සාධාරණ ධර්මතාවකි. මේ කාරණය ඉතා හොඳින් විමසා බැලූ නිසා තමා පැවිදි
ජීවිතයට පත් වූ බව රට්ඨපාල මහරහතන් වහන්සේ දේශනා කොට වදාළහ.
ලෝකයේ තමාට පිළිසරණක් නැති බවත්, අස්වැසිල්ලක් නැති බවත් (අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ)
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණ නුවණින් විමසා බලා තමා පැවිදි වූ බව රට්ඨපාල
හිමියෝ රජතුමාට පැවසූහ.
එහිදී රජතුමා තමන්ගේ යුද ශක්තිය පිළිබඳ කල්පනා කොට, “ඇත්,අස්, රිය, පාබල” යන
චතුරංගනී සේනාවක් මට ඇත. ඕනෑම බාහිර උවදුරක් මැඬ පැවැත්වීමට හැකි නිසා, පිළිසරණක්
නැති බව තමන්ට පිළිගත නො හැකි බව කියා සිටී.
ඉතා විසිතුරු උපමාවකින් රට්ඨපාල හිමියන් ජීවිතයට පිළිසරණක් නැති බව පැහැදිලි කර
දෙයි.
රජතුමනි, ඔබට යම් නිදන්ගත රෝගයක් හෙම තිබේ ද?
ස්වාමීනි, බොහෝ කලක් සුව නොවන නිදන්ගත රෝග ඇත. සමහර දිනවල මේ රෝග උත්සන්න වූ පසු
මගේ ඇමැතිවරුන් නෑදෑයන් මා පිරිවරාගෙන, අද නම් රජතුමා මරණයට පත් වේ යැයි දුක් වෙයි.
රජතුමනි, ඒ වෙලාවේ ඔබ පිරිවරාගෙන සිටින ඇමැතිවරුන් නෑදෑයන් හට, ඔබ විඳින වේදනාවෙන්
කොටසක් ගෙන තමාට අස්වැසිල්ලක්, සැනසීමක් ලබා දෙන්න යැයි කීවොත් එය කළ හැකි ද?
ස්වාමීනි එය සිදු නොවේ. ඒ මාරාන්තික වේදනා මා විසින් ම දරා ගත යුතු ය, විඳගත යුතු
ය.
රජතුමනි, ලෝකය පිළිසරණක් නැති තැනක් බව අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඔය
කරුණ උදෙසා ය.
ලෝකයේ ජීවත් වන සෑමදෙනාට ම උරුම වූ කායික, මානසික, වේදනා තම තමන් විසින් ම උසුලා
දරා ගත යුතු ය. බුද්ධිමත් ලෙස නුවණින් විමසා බලා වේදනාවන්ගේ සැබෑ තත්ත්වය අවබෝධ
කිරීමෙන් හැර, වේදනාවන්ගෙන් සැනසීමක් ලැබිය හැකි වෙන ක්‍රමයක් නැත. මේ කරුණ ඉතා
හොඳින් නුවණින් විමසා බැලූ නිසා රට්ඨපාල හිමියන් විසින් පැවිදි ජීවිතයේ වටිනාකම
හඳුනා ගන්නා ලදී.
බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ තුන්වැනි කරුණ වශයෙන් රට්ඨපාල හිමියන් පවසන්නේ,
මෙලොව තමාට අයත් කිසිවක් නැත. “සියල්ල හැරදමා යා යුතු ය. (අස්සකෝ ලෝකෝ සබ්බං පහාය
ගමනීයෝ) යන්නයි.
රජතුමා පවසන්නේ රාජ භාණ්ඩාගාරයෙහි බොහෝ ධන ධාන්‍ය, රන් රිදී තිබෙන බවත් ඒ සියල්ල
තමා සතු නිසා කැමැති පරිදි පරිභෝග කළ හැකි බවත් ය. කෙසේ නමුත් ඒ සියල්ලෙන් මෙලොව
වශයෙන් ප්‍රයෝජන ගත හැකි වුවත් මරණයේ දී සියල්ල හැරදා යා යුතු බව රජතුමා පිළිගනී.
මෙලොව බොහෝදෙනා තමන්ට අවශ්‍ය පමණටත් වඩා සීමා රහිතව ධනය රැස් කළ විට, මරණාසන්න
මොහොතේ ඒ ධනය නිසාම කොතරම් දුකට පත්වන්නේ ද යන්න දන්නේ ඔහු ම පමණි. ධාර්මික ලෙස ධනය
ඉපැයීමත්, උපයාගත් ධනය ධාර්මික ලෙස වියදම් කිරීමත්, බුදුරජාණන් වහන්සේ බොහෝ
අවස්ථාවල ප්‍රශංසා කොට ඇත. උපයාගත් ධනය ධාර්මික ලෙස පරිභෝග කිරීම අස්වැසිල්ලක් ලබා
දෙන බව “පත්තකම්ම” සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල විස්තර වේ.
ලෝකයේ සියලු දෙනා හැමවිට ම තෘප්තිමත් නොවී තණ්හාවේ දාසයන් ලෙස ජීවත් වන බව,
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ හතරවැනි කරුණයි. (ඌණෝ ලොකෝ අතින්තෝ තණ්හා දාසෝ)
ලැබූ පමණින් තෘප්තිමත් නොවීම ලොව සියලු දෙනාගේ ම ඇති දුර්වල කමකි. නමුත් වීරිය නොකර
කුසීතව වාසය කිරීම මෙයින් අදහස් නො කරයි. ලෝකයේ සෑම තැනම දක්නට ලැබෙන දුබලයා තළා
පෙළා තමන් යටතට ගැනීමත්, සියල්ල තමන් සතු කර ගැනීමට වෙහෙසීමත් ලොව සෑම තැනක ම
අර්බුධවලට හේතුවී ඇත. කහවණු වැස්සක් ලැබුණත් කාමයන්ගෙන් සතුටු වන කෙනා තෘප්තිමත්
නොවේ. ( න කහාපණවස්සේන තිත්ති කාමේසු විජ්ජති) යනුවෙන් ධම්මපදයේ සඳහන් වේ. කහවණු
වැස්සක් නිසා බොහෝ දෙනා විනාශ වූ පුවතක් “වේදබ්භ” ජාතකයේ සඳහන් වේ.
ආශාවන්ගේ සත්‍ය ස්වභාවය නුවණින් විමසා බලන කෙනා පමණක් තම ආශාවන් පාලනය කොට ලැබූ
පමණින් සතුටු වේ. භික්ෂූන් වහන්සේට චීවර, පිණ්ඩපාත ආදි සිවුපසය පරිභෝග කිරීමේදී
ප්‍රත්‍යවේක්ෂා කිරීම පනවා වදාළේ මේ අයුරින් ආශාව අඩු කොට ලැබූ පමණින් සතුටට පත්වීම
පුරුදු කිරීම පිණිස ය.
රට්ඨපාල හිමියන් ඉතා හොඳින් නුවණින් විමසා බැලූ මේ කරුණුූ සතර, හොඳින් විමසා බලා තම
ජීවිතයට එක් කර ගන්නා ඕනෑම අයකුට සැනසිල්ලෙන් ජීවිත ගත කළ හැකි බව තේරුම් ගත හැකි
ය.
ආශාවන් පාලනය කර නොගත්, අතෘප්තිමත් ජීවිත ගත කරන බොහෝ දෙනා නිසා ලොව සෑම තැනක ම,
සෑම මොහොතක ම සිදුවන විනාශකාරි දේ පිළිබඳ අප මොහොතක් සිතා බැලිය යුතු ය.
ධර්මය ඇදහීම් මාත්‍රයක්, පුද පූජා හා චාරිත්‍රවලට සීමා නොකර ගළපා ගත හැකි කරුණු
සුළු වශයෙන් හෝ ජීවිතයට ගළපා ගනී නම් සැමට සැනසිල්ල උදා කර ගත හැකි ය.
(මජ්ක්‍ධිම නිකාය 2 - රට්ඨපාල සූත්‍රය ඇසුරිනි) |