Print this Article


අපි හදන්නට ඕනෑ දැනුමත් වින්දනයත් සංකලනය වූ පරපුරක් - මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි

අපි හදන්නට ඕනෑ දැනුමත් වින්දනයත් සංකලනය වූ පරපුරක් - මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි

ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමය මාසිකව සංවිධානය කරන දම් දෙසුම් මාලාවේ බිනර පෝය නිමිතිකොට පැවැත්වූ සද්ධර්ම දේශනය ඇසුරිනි.

බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨි සූත්‍රයේ දී මනුෂ්‍යයාගේ පෞරුෂය හදන්න වුවමනා වෙන කාරණා 4ක් දේශනා කළා. කබලිංකාර ආහාර, ඵස්සාහාර, මනෝ සංචේතන ආහාර සහ විඤ්ඤාණ ආහාර වශයෙන් තථාගතයන් වහන්සේ මෙසේ දැක්වූවා.

කබලිංකාර යනු අපි විසින් කැබලි ලෙස අනුභව කරන දෛනික ආහාර වේලයි. ඒ ආහාර වේල පිළිබඳ අපිට හොඳ දැනුමක් තිබෙන්න ඕන කිව්වා. දෙවනුව ඵස්සආහාර කියන්නේ ස්පර්ශයෙන් ලබන ආහාර, ඇසින්, කනින්, දිවෙන් ලබන ආහාරයි. අරමුණු නැමැති ආහාර වශයෙන් ඒවාට එක වචනයක් දෙන්න පුළුවන්. අරමුණු නැමැති ආහාර නිවැරැදිව ගෙනිච්චොත් තමයි අපිට හොඳ පෞරුෂයක් ඇති කෙනකු බවට පත්වෙන්න පුළුවන්. අපි ස්පර්ශයෙන් වැරැදි දේ ගත්තොත් ඒ වැරැදි දේ ඔළුවට අරගෙන හැසිරෙන්නේ වැරැදි පිළිවෙත් අනුවයි. වැරැදි ක්‍රියා අනුවයි. ධම්ම පදයේ මුල් ගාථා දෙකම මේකට නිදසුනක් දෙනවා.

ප්‍රසන්න වූ මනසින් හෝ දුෂ්ඨ වූ මනසින් වැඩකරන්න මඟ පෙන්වන්නේ පසිඳුරන් විසින් ලබාගන්නා වූ ආහාර අනුවයි. එනිසා බුදුහිමියන් දේශනා කළා නිවැරැදි ආහාර ලබා ගන්න. නැත්නම් නිවැරැදි අරමුණු සිතට ගන්න කියලා. තුන්වැනි එක බුදුහාමුදුරුවෝ දැක්වූයේ මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන ආහාර කියල බුදුපියාණන් වහන්සේ දැක්වූයේ මිනිස් මොළයට ආහාර දෙන්න කියලා. මොළයට ආහාර දෙන්න කියපු ශාස්තෘවරු ලෝකයේ නැහැ.

ඒ ආහාර දැනුම සහ වින්දනයයි. මොළයේ එක් පසකට දැනුම දෙන්න කියල තථාගතයන් වහන්සේ අපට කිව්වා. අනෙක් පසට වින්දනය දෙන්න කියලා කිව්වා. මොළයේ එක්පැත්තක් විවිධ ඤාණනය ගොඩනැඟෙන දේවලින් සම්පූර්ණ කර ගන්න ඕන. අපි අධ්‍යාපනයෙන් කරන්නේ ඒ කාර්යයයි. විවිධාකාරයේ දැනුම, තොරතුරු පිළිබඳ දැනුම , සමාජය පිළිබඳ දැනුම, ලෝකය පිළිබඳ දැනුම, ඉතිහාසය පිළිබඳ දැනුම, හැමදෙයක් පිළිබඳව ම සම්පාදනය කිරීමේ අධ්‍යාපනික මෙහෙවර පුවත්පතක් විසින් ඉටු කළ යුතු වෙනවා. ඒ හා සමානව ඒ දැනුමත් එක්ක අනෙක් පසට වින්දනය දෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා. සම්පූර්ණයෙන් ම මොළයේ එක්පැත්තකට වින්දනාත්මක දේවල් සම්පූර්ණ කරගන්න. කුමාරතුංග මුනිදාස විසිවන සියවසේ ලියා තිබෙන ශික්ෂා මාර්ගයේ පොත් පෙළ දරුවකුගේ මොළය වැඩෙන මෙම අරමුණු දෙකම හොඳට තේරුම් අරගෙන භාවිතා කළ බවයි පෙනෙන්නේ. හරිම ලස්සනට දැනුම දෙන ගමන් අනෙක් පැත්තෙන් වින්දනය ලබා දෙනවා. ළමා ලෝකය තුළ දැනුමත්, වින්දනයත් එක හා සමානව දරුවකුගේ පෞරුෂයට දෙන්න උත්සාහ කළා. ඒ තුළින් ගොඩනැඟුණු පරම්පරාව කොච්චර උතුම් ද කියලා බලන්න. අර දැනුමින්, බුද්ධිය භාවිත කරල වැඩ කරන්න පුළුවන්. වින්දනාත්මක දේවල් දියුණු කරගත්තා ම හැඟීමෙන්, සංවේදීව වැඩ කරන්න පුළුවන්.

එනිසා පින්වත්නි අපි හදන්න ඕන මිනිස්සු, බුද්ධියෙන් විතරක් වැඩ කරන අය නොවෙයි. හැඟීමෙන් විතරක් වැඩ කරන අයත් නොවෙයි. බුද්ධියත්, හැඟීමත් මේ දෙකම සංකලනය කරගෙන අපූරු සමබර පෞරුෂයෙන් පිරිපුන් මිනිසෙක් නිර්මාණය කරන්න.

නතං කම්මං කතං සාධූ
යං කත්වා අනුතප්පති
යස්ස අස්සු මුඛෝ රෝදං
විපාකං පටිසේවතී

මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අහිංසක ගොවියකුගේ ජීවිතයක් පදනම් කරගෙන. මහා කරුණාවට සම වැදිලා ලෝකය දෙස බලන විට මේ අසරණ ගොවියා බුදු නෙතට දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ අහිංසක ගොවියා අද අපරාධකාරයෙක් බවට පත්වෙනවා. මොහු මෙයින් මුදවා ගන්න ඕනෑ කියලා බුදුපියාණන් වහන්සේ ගොවියා සීසාන කුඹුරට වැඩම කළා. හොරු රංචුවක් කලින්දා රාත්‍රියේ ගෙයක් බිඳලා හොර බඩු ගොවියා සීසාන කුඹුර ළඟා තබා බෙදා ගෙන තිබෙනවා. එතැන හිටපු හොර නායකයා අරන් ආපු වස්තු අතරේ කහවණු කාසි මල්ලක් තිබුණා. ඒ කහවණු කාසි සියල්ල අනික් අය අතරේ බෙදා ගන්නේ නැතිව තමන්ට විතරක් ගන්න ඉනේ ගහ ගත්තා. නැඟිටලා යන්න හදනකොට සොර දෙටුවාගේ ඉනේ ගහගත්තු මසුරන් මල්ල බිම වැටුණා. ඒක ඔහු දන්නෙ නැහැ. ඒක එතැන තිබයදී තමයි හොරු ටික ගියේ. බුදුරජාණන් වහන්සේ දකිනවා, ගොවියා මේක අරගත්තොත් ගොවියා අනිවාර්යයෙන් ම අපරාධකාරයෙක් වෙනවා. අන්න ඒකෙන් ගොවියා මුදවාගන්න හිතලා තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් සමඟ එතැනට වඩින්නේ. කුඹුරේ සිටින ගොවියා මඩ පිටින් ම ගොඩට ඇවිත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළා. ආනන්ද හාමුදුරුවන් වහන්සේට නමස්කාර කළා. දෙදෙනා වහන්සේ ම ගොවියාට ආශිර්වාද කරනවා. ගොවියා ආපසු කුඹුරට බහිනවා. ඉදිරියට වඩින බුදුහාමුදුරුවන් බිම තිබෙන කාසිමල්ල දැකල ආනන්ද සර්පයා දුටුවා ද? කියා විමසනවා. එහෙමයි බුදුරජාණන් වහන්ස, විෂ ඝෝර සර්පයෙක්.

මේ කතාව ගොවියාට ඇසුණු නිසා ගොවියා මුගුරක් අරගෙන විෂ ඝෝර සර්පයා මරන්න ගොඩට ආවත් සර්පයා සොයන කොට කාසිමල්ල අහුවුණා. දැන් ගොවියාට සතුටුයි. කකුළෙන් ම වැලි ගොඩක් ගහලා ඒක වැසුවා යනකොට ගෙනියන්න. ගොවියා කුඹුරට ගිහිල්ලා සීසෑවා. ඔය අතරේ රජතුමා රාජ පුරුෂයන්ට නියෝග කළා සොරුන් සෙවීමට. පා සටහන් ශාස්ත්‍රයට අනුව සොරුන් සොයමින් එන විට කාසි මල්ල තිබුණ ස්ථානයේ වැලිගොඩ අසුවෙනවා. එතන ගොවියාගේ පා සටහන් තිබුණ නිසා ගොවියා සොරා හැටියට අසුවෙනවා.

රෑ ගෙවල් බිඳලා දවල් කුඹුරු කොටන බවට රාජපුරුෂයන් ප්‍රකාශ කළා. එනිසා මෙයා ම තමයි සොරා කියලා මඩ පිටින් ම රජතුමා වෙත ඉදිරිපත් කළා. මෙයා හොරා නම් වහාම හිස ගසා දමන්න කියල රජතුමා තීන්දු කළා. අභියාචනා නැහැ. කරුණු කියන්න වෙලාවක් නැහැ.

අසරණ ගොවියා දැන් දණ්ඩනයට අරගෙන යන වෙලාවේ ආනන්ද සර්පයා දුටුවා ද? ඔව් ස්වාමීනි විෂ ඝෝර සර්පයෙක් යනුවෙන් මර විකාරයෙන් කියවමින් ඔහු යනවා. මොකක්ද ඔබ ඔය මතුරන්නේ කියල රාජපුරුෂයන් විමසන විට ඒක බුද්ධ මන්ත්‍රයක් කියා ඔහු කියනවා. රාජ පුරුෂයන් ඔහු නැවත රජ්ජුරුවන් ළඟට කැඳවාගෙන යනවා. බුද්ධ මන්ත්‍රයක් ජප කරන නිසා මොහු මරන්න බැරිවෙයි රජතුමනි කියා රාජපුරුෂයන් ප්‍රකාශ කරන විට මොකක්ද ඔබ මතුරන බුද්ධ මන්ත්‍රය කියලා විමසනවා. අහිංසක ගොවියා විස්තරය කියනවා.

රජ්ජුරුවෝ ඒ කතාව විශ්වාස නොකළ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමයට ඔහු ඇදගෙන ගියා. ඔහු ඇදගෙන ගොස් විමසනවා. බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ ගොවියාගේ කුඹුර ළඟට වැඩියා ද? මේ ගොවියාගේ කුඹුර ළඟට වැඩම කරලා මෙවැනි ප්‍රකාශයක් කිව්වා ද? කියලා. බුදුහාමුදුරුවෝ ගොවියා වෙනුවෙන් සාක්කි දුන්නා. ඔව් මම එතැනට ගියා. මම එතැනට ගියේ මේ මිනිසා එතැනට වැඩිය බව දැනගෙන. බේරගන්න හිතාගෙනමයි. එනිසා මේ මිනිහා අපරාධකාරයෙක් නොවෙයි. කියා සාක්ෂි දුන්නා.

රජතුමා මේ මිනිසා ආපසු කුඹුරට යැව්වා. ඒනිසා බුදුරජාණන් වහන්සේ ගොවියාගේ කතාව බණට අරගෙන මේ ගාථාව දේශනා කළා. ඕනෑම දෙයක් කොට තැවෙන්නේ නැත්නම්, කඳුළු පිරි දෙනෙතින් එහි විපාකය විඳින්න වෙන්නේ නැත්නම් එවැනි ක්‍රියාවල යෙදෙන්න. එවැනි දේ කිරීම යහපත්.

යමක් කොට පසුතැවෙන්න සිදුවුනහොත්, කඳුළු පිරි දෙනෙතින් විඳින්න සිදුවුවහොත් එවැනි දේ නොකිරීම හොඳයි. අපි විපාකය ගැන, ප්‍රතිඵලවල භයානකකම ගැන කල්පනා කරන්නේ නැහැ. එනිසා ඒ ගන්නා වූ තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම පිළිබඳ හිතන කොට කොච්චර කල්පනා කළ යුතු ද? ගොවියා නොකළ යුතු දෙයක් කරන්න ගිහිල්ලා අන්තිමේ දී ජීවිතයත් නැතිවෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා ඔහු බේරා ගත්තා. එදා බුදුහාමුදුරුවෝ ඔහු බේරාගත්තේ නැතිනම් අනිවාර්යයෙන් ම ගොවියා අපරාධකාරයෙක් වෙනවාමයි. ඔහු සොරෙක් වෙලා මරණ දණ්ඩනය ලබනවාමයි.

මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කරන බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි කියන ගීතය හිරකරුවකුගේ පාපෝච්චාරණයක්. හිරගෙදර එදාම මරණයට රැගෙන යන හිරකරුවෙක් ළගට බණ කියන්න ගිය කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවන්ගේ දෙපා අල්ලාගත් සිරකරුවකු ඔබ වහන්සේ හිරගෙදරට වැඩම කරල බණ කිව්වහම මට දැනුණේ බුදුරජාණන් වහන්සේ මගේ ළඟට වැඩියා වාගේමයි කියල ඔහු කියනවා. පුළුවන් නම් මගේ ගෙල සිඳන එක නවත්තල දෙන්න කියනවා. හිරගෙදර ඉන්න හැම මනුෂ්‍යයෙක් ම එහෙම කියනවා. ඒ අය අපරාධ කරන කොට දැනුනේ නැහැ එතරම් බිහිසුණුයි කියලා. වේදනාව විඳිනකොට හරිම බිහිසුණුයි.