Print this Article


අනුන්ගේ දුකේ දී උණුවෙන හදවතක් තිබීම උපාසකයකුගේ උදාර ගුණාංගයක්

අනුන්ගේ දුකේ දී උණුවෙන හදවතක් තිබීම උපාසකයකුගේ උදාර ගුණාංගයක්

උපාසක උපාසිකා යන නාමය ඉතා ම ගෞරවණීයයි. එවන් නාමයකින් පිදුම් ලබන පුද්ගලයා සතුව සුවිශේෂී ගුණ සමුදායක් තිබිය යුතු වනවා. එවන් සැබෑ උපාසක උපාසිකාවන් සතු ගුණ පිළිබඳ පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමි සමඟ කළ සාකච්ඡාවකි

ස්වාමීන් වහන්ස, බෞද්ධ උපාසකයෙක්, උපාසිකාවක් වීම ජීවිතයේ ලබන මහාර්ඝ සම්පතක්. ඒත් අද වන විට බොහෝ දෙනා එයට ලබා දෙන්නේ නාමික වටිනාකමක්. ධර්මයට අනුව සැබෑ උපාසක ගුණ මොනවා ද?

දවසක් මහානාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. උන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, උපාසක උපාසිකා යැයි පවසනවා. මෙසේ උපාසක උපාසිකාවන් කියන්නේ කාට ද? ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මෙලෙසයි. මහානාම, යම් කලෙක යම් කිසි කෙනෙක් බුද්ධ රත්නය සරණ ගියා නම්, ධම්ම රත්නය සරණ ගියා නම්, සංඝ රත්නය සරණ ගියා නම් එපමණකින් ම ඔහු උපාසක කෙනෙක් බවට පත්වනවා. ඒ අනුව යම් කෙනෙක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යෑමෙන් ම උපාසකයෙක් බවට පත්වනවා. කාන්තාවක් නම් උපාසිකාවක් බවට පත්වෙනවා. “මහානාම“ සූත්‍රයේ මේ පිළිබඳ මනා විස්තරයක් සඳහන් වෙනවා.

උපාසක ගුණ ඇති පුද්ගලයා ගිහි ජීවිතය පවත්වා ගන්නේ කොහොම ද?

උපාසක ගුණ ඇති සත්පුරුෂයෙක් ගිහි ජීවිතය පවත්වා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශීත ධර්මයට අනුකූලව ම යි. එසේ ධර්මානුකූලව ජීවත්වීම උදෙසා ගිහි පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා රාශියක් තිබෙනවා. මහා මංගල සූත්‍රය, පරාභව සුත්‍රය, වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය ප්‍රධානයි.

මහා මංගල සූත්‍රයේ දී මංගල කරුණු තිස් අටක් පිළිබඳ කියැවෙනවා. මේ මංගල කරුණු ගැන කෙටියෙන් සඳහන් කරනවා නම් පින්කම් තිස් අටක් යැයි පවසන්නට පුළුවන්. එහෙම නැතිනම් කුසල ධර්ම තිස් අටක් ලෙස පැවසීමට පුළුවන්.

ගිහි බෞද්ධයන් ඒ මංගල කරුණු තිස් අට දැන ගෙන ගිහි ජීවිතයට එකතු කර ගන්නේ නම් ඒ අනුව ජීවත් වන්නේ නම් ඉතා වටිනවා.

පරාභව සූත්‍රයෙන් මෙලොව වශයෙන් මෙන් ම පරලොව වශයෙන් පිරිහීමට පත්වන්නේ කොහොමද? යන්න පිළිබඳ අපූරු විස්තරයක් තිබෙනවා. මේ නිසා ගිහි පින්වතුන් ‘පරාභව සූත්‍රය‘ ඉතා හොඳීන් කියවා, දැන ඉගෙනගෙන ජීවිතය ඒ අනුව හැඩගස්වා ගන්නට ඕනෑ.

‘වසල සූත්‍රය' තුළ යම් කෙනෙක් පහත් ගති - පැවතුම් ඇත්තෙක් වන්නේ කොහොම ද? නින්දිත පුද්ගලයෙක් වෙන්නේ කොහොම ද? වසලයෙක් වන්නේ කොහොම ද? යනුවෙන් විග්‍රහ වනවා.

අපි මෙසේ සිතමු “යම් කෙනෙක් වයසට ගිය තම අම්මාට - තාත්තාට හැකියාව තිබිය දී නොසලකා හරිනවා නම්, ඔහු හෝ ඇය හෝ වසලයෙක් බවට පත්වෙනවා. මේ වගේ උපදේශ රාශියක් වසල සූත්‍රයේ සඳහන් වනවා. ඒ වගේ ම “සිඟාලෝවාද සූත්‍රය ගිහියෙක් හැදෑරිය යුතුම සූත්‍ර දේශනාවක්. මෙම සුත්‍රයේ ගිහි ජිවිතයට අදාළ යුතුකම්, වගකීම් පිළිබඳ හොඳීන් පැහැදිලි කර දෙනවා. මීට අමතරව ගිහි පුද්ගලයෙක් හැකිතාක් දුරට පංච සීලය ආරක්ෂා කර ගන්නට පුරුදු විය යුතු ම යි. ඒ වගේ ම කෙනෙක් විවාහ ජීවිතයට පත්වනතුරු ම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට ඕනෑ. විවාහ ජීවිතයට පත් වූ පසුවත් භාර්යාව තමන්ගේ ස්වාමියාත්, ස්වාමියා තමන්ගේ භාර්යාවත් ඉක්මවා නො යා යුතුයි. බිරිය ස්වදාර සංතෘෂ්ටිය නම් වූ ගුණාංගය ආරක්ෂා කළ යුතුයි. එනම්, ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ යුතුයි. පරපුරුෂයන් ඇසුරු නොකිරීමෙන් සිය පතිවත රැකිය යුතුයි. ඒ වගේ ම සැමියා තම බිරිඳ වෙනුවෙන් ජීවිතය කැප කළ යුතුයි. පර ස්ත්‍රීන් ඇසුරු නොකළ යුතුයි. එනම් පතිනීවත නම් වූ වත් දෙකම ගිහියන් විසින් ආරක්ෂා කරන්නට ඕනෑ.

ස්වාමීන් වහන්ස, වර්තමානයේ බොහෝ දෙනෙක් අනුන් ගැන අසංවේදියි. උපාසකයකු ළඟ සංවේදී ගුණ තිබිය යුතුයි නේද?

වර්තමාන සමාජයේ බොහෝ කෙනෙක් අන්‍යයන් පිළිබඳ අසංවේදී බවක් ප්‍රකටව දකින්නට ලැබෙනවා. බෞද්ධ ධර්මයට අනුව ජීවත්වන කෙනෙක් තමයි උපාසක උපාසිකාවක් ලෙස හඳුන්වන්නේ. එවන් වූ බෞද්ධයා විශේෂයෙන් ම මතක තබා ගත යුතු වනවා, මේ බුදු දහමේ උගන්වන සීල, සමාධි, ප්‍රඥා, ආර්ය අෂ්ඨාංගික මාර්ග නම් ගැඹුරු ධර්ම කරුණු පවතිනවා. මේ ධර්ම කරුණු වටිනා ගුණධර්ම. ඒ වගේ ම ප්‍රධාන ගුණ ධර්ම. මේ ගුණ ධර්ම දියුණු කර ගන්නට පෙර පළමුවෙන් බෞද්ධයා මනුස්සකම රැක ගන්නට ඕනෑ. ඇත්තට ම මනුස්සකම කියන්නේ කුමක් ද?

“තමන් සැප විඳීන්න කැමැතියි. ඒ වගේ ම අනුන් ද සැප විඳීන්න කැමැතියි. අන්න ඒ දේ තේරුම් ගෙන අන්‍යයන්ගේ සැපතට කැමැති වන කෙනෙක් වෙන්නට අවශ්‍යයයි. “සුඛ කාමානි භූතානි“ යනුවෙන් බුදුරජාණන් වහන්සේ එය අපූර්ව ලෙස දේශනා කොට වදාළා.

අනුන්ගේ සැපයට කැමැති වෙන්න. අනුන්ගේ සැපය කියා කීවේ මෛත්‍රිය ඇති කර ගන්න යන්නයි. තමන් සැපයට කැමැතියි වගේ ම අන් අයත් සැපයට කැමතියි. ඒ නිසා අන් අය කෙරෙහි මෛත්‍රිය ඇති කර ගන්න ඕනෑ. එසේ මෛත්‍රිය ඇති කරගෙන සිතෙන් මෛත්‍රිය සිහි කරන්න ඕනෑ. ඒ වගේ ම එදිනෙදා ජීවිතයේ දී ත් මෛත්‍රියෙන් ම ක්‍රියා කළ යුතුයි. යම් කෙනෙක් සමඟ කතා කරන අවස්ථාවේ දී මෙන් ම, යමෙක් ඇති තැනත්, නැති තැනත් මෛත්‍රියෙන් කතා කරන්න, කටයුතු කරන්න පුරුදු වෙන්නට අවශ්‍යයි. නැති තැන බනින්න - දොස් කියන්න - නින්දා කරන්න - අපහාස කරන්න පුරුදු වෙන්න එපා. ඊළගට අනුන්ගේ දුක දුටු තැන තමන්ගේ හදවත උණුවිය යුතුයි. දුකට පත් කෙනාට උදව් කරන්න ඕනෑ. උපකාර කරන්න ඕනෑ. ඒ බව සිතට දැනෙන්නට ඕනෑ. අනුන්ගේ දුක දුටු කල හදවත කම්පාවන ස්වභාවය කරුණාව කියලා ධර්මයේ සඳහන් වෙනවා. සැබෑ උපාසකයකුට අසරණයෙක් දුප්පතෙක් දුටු විට, හදවත උනුවෙනවා. එවන් පුද්ගලයාට උදව් කරන්න, උපකාර කරන්න, හැඟීමක් හදවතේ ඉපදෙනවා.

යමෙකුට අවශ්‍ය උපකාරය, උදව්ව ඔබට කළ නොහැකි දෙයක් නම් කරන්නට දෙයක් නෑ. ඔබ ඒ අවස්ථාවේ දී මධ්‍යස්ථ වෙන්න. ඔබට ඒ උපකාරය සම්පූර්ණයෙන් හෝ, යම් පමණකට හෝ, ස්වල්ප වශයෙන් හෝ කළ හැකි නම් අනිවාර්යයෙන් ම උපකාර කරන්න. අනුන්ගේ දුක දැකලා හදවතක් උණුවෙන ස්වභාවය කරුණාවන්ත බව ඉස්මතු වෙන තැනයි. අන්න ඒ කරුණාවන්ත බව උපාසකයකු තුළ තිබිය යුතු ම උදාර ගුණාංගයක්. සංවේදී මිනිසකු වන්නේ හදවතේ කරුණාව තිබෙන කෙනා තමයි.

ඒ වගේ ම සංවේදී බව දුරු කරන පාප ධර්ම තිබෙනවා. අනුන්ගේ සැප - සම්පත් දුටු විට ඊර්ෂ්‍යා සිතිවිලි හටගැනීම, කෙලෙස් සහිත පුද්ගලයාගේ ස්වභාවයයි. අන්න ඒ අවස්ථාවේ දී අපේ සිතිවිලි හොඳීන් පාලනය කර ගත යුතුයි. අන්‍යයන්ගේ සැපතක් - දියුණුවක් දුටුවිට මෙසේ සිතන්නට පුරුදු වන්න. ඔහු ලෞකික සැප සම්පතින් නො පිරිහේවා. - ඔහු කුසල් සිතිවිලිවලින් නො පිරිහේවා. - ඔහු සියලු සැපතින් නො පිරිහේවා. මේ ආකාරයෙන් මෙත් වැඩීමෙන් සිත තුළ ඊර්ෂ්‍යාව පෝෂණය වන්නේ නැහැ. සිත පිරිසුදු වෙනවා. ඒ වගේ ම මේ ආකාරයෙන් සිතීම පවා උදාර ගුණාංගයක්. ඒ ගුණය ධර්මයේ සඳහන් වන්නේ “මුදිතා ගුණය“ කියලයි. එය සංවේදී පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණ ධර්මයක්.

ඊළගට සංවේදී පුද්ගලයකු වීමට අවශ්‍ය තවත් ගුණාංගයක් තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ බව. සෑම විට ම යම් කෙනකුට උදව් කරන්න බැහැ. දුකට පත් වූ කෙනෙකුට පිහිට වෙන්න බැහැ. සමහර අවස්ථාවක දී අධිකව මානසිකව සංවේදී වන්නේ නැතිව, මධ්‍යස්ථ විය යුතුයි. උදාහරණයක් ලෙස කවුරු හෝ බණින්නේ නම් බණින්නේ නැතිව, තරහ ගන්නේ නැතිව ඒ බැනුම අසාගෙන ඉන්නට පුරුදු වෙන්න.

බුදුරජාණන් වහන්සේ වදාළේ ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නො කර ඉන්නා ලෙසටයි. එවිට ඔහු ජය ගත හැකියි. ඒ වගේ ම අයහපත්, වැරැදි කරන මනුෂ්‍යයාට ඔබ යහපත ම කරන්න. යහපත් ලෙස ම ජීවත්වන්න. එසේ යහපත් ව ජීවත්වන කල්හි අර අයහපත් ව ජීවත්වන පුද්ගලයා ජය ගත හැකියි. ඒ වගේ ම තවත් සිතක් තුළ මසුරුකම පැවතිය හැකියි. එවන් මසුරු සිත දානය පුරුදු කරන්න. දානයෙන් මසුරුකම ජය ගත හැකියි.

ඒ වගේ ම බොරු කියන පහත් ගුණය ඔබ තුළ තිබේ නම්, සත්‍ය වචනය ම පුරුදු කරන්න පුරුදු වන්න. මේ ගුණ ධර්ම එකතු කර ගැනීමෙන් සංවේදී විය හැකියි. ඒ වගේ ම යහපත් පුද්ගලයෙක් බවට පත්වෙන්නට පුළුවන්. මව්පියන්ට ගරු කිරීම, ගුරුවරුන්ට ගරු කිරීම, පැවිදි උතුමන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීමත් සංවේදී පුද්ගලයෙක් වීමට අත්‍යවශ්‍ය දේ බව තේරුම් ගන්න.

ඇතැම් උපාසක උපාසිකාවන් සිල්වත් බව පෙන්වන්නේ පන්සලට පමණයි. සමාජයේ දී ඔවුන්ගේ හැසිරීම් රටාව, සිතිවිලි බෞද්ධකමටවත් ගැළපෙන්නේ නෑ. ඒ තත්වය වළක්වා ගත යුත්තේ කොහොම ද?

උපාසක උපාසිකාවන් වානිජමය විය යුතු නෑ. තමන්ගේ ගුණය විකුණන්න පුරුදුවෙන්න එපා. ප්‍රදර්ශනය කරන්න පුරුදු වෙන්න එපා. හදවතින් ම අවංකව එක් ශික්ෂා පදයක් හෝ රකින්න. ඒ අතර සමහර කෙනෙක් සිටිය හැකියි එක ශික්ෂා පදයක් හෝ රැකිය නො හැකි. කුමක් කරන්න ද? එක් එක් පුද්ගලයාගේ කෙලෙස් හි ස්වභාවය එයයි. අන්න ඒ නිසා එක ශික්ෂා පදයක් හෝ රකිමින් අවංකව සීලවන්ත වන්න. අවංකව බුදුන් වඳීන්න. අවංකව භික්ෂුවකට වඳීන්න. අවංකව මවුපියන්ට සලකන්න. අවංකව හැකි පමණින් සිල් රකින්න. කුසල් වඩන්න. ඔබ රඟපාන කෙනෙක් බවට පත්වෙන්න එපා. එයින් රැවටෙන්නේ ඔබමයි. පිරිහෙන්නේ ඔබමයි. අකුසල් රැස් කර ගන්නේ ඔබමයි.