Print this Article


රැවටිලි පිටුදකිමු

රැවටිලි පිටුදකිමු

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නායකයකු වෙන මඟයි. එහෙත් වර්තමාන බෞද්ධයා විවිධ වූ දේශකයන්ගේ අනුගාමිකයෝවී මං මූළා වී සිටිති. කොටසක් බුදුවරු ය, කෙටසක් රහතුන් ය.

ඔවුන් බෞද්ධයෝ ය. ඔවුන්ගේ සව්වෝ වෙති. බුදුරදුන් දෙසු බණ තමන්ගේ සිතැඟි හා එක්ව බණ දෙසති. බණ තුළ වැදි බණ ද දක්නට ලැබෙයි. අන්ධ ශ්‍රද්ධාවෙන් යුක්ත බොදුනුවන් මේ වැදි බණ සිතට ගෙන ඒ අනුව ගොස් තම සසර ගමන නතර කිරීම කෙසේ වෙතත් සසර අතරමං ව කටයුතු කරන බව නම් දක්නට ලැබෙයි.

ආත්මලාභය උදෙසා බොරු සිල් පෙන්නන්නන්ට රැවටුණේ අද පමණක් නොවේ. එදා බුද්ධ කාලයේත් එසේ සිදු විය. ජම්බුක ආජීවක මීට කදිම නිදසුනකි.

එක්තරා නිවසක දරුවෙක් උපදී. මිනිසත් බව ලබන්නට පින තිබුණ ද මිනිස් සැප විඳින්නට පින නො තිබිණි. ඒ පෙර කළ අකුසලයකි. ඔහු කුඩා කල සිටම ඇඳුම් අඳින්නට අකැමැති ය. අහර ලෙස ගත්තේ අසූචියි. මොහුගේ කි‍්‍රයා කලාපය දත් මව්පියෝ එය රහසක් ව තබාගෙන මොහු හැදුණු පසු ආජීව ආරාමයකට බාර දුන්හ. ආජීවක ආරාමයේ දී ඇඳුම් නාදින ප්‍රශ්නයට විසඳුම් ලැබිණි. එහෙත් අසුචි අනුභව කිරීමේ ගැටලුවට විසඳුම් නැති විය. ආජීවකයෝ අසුචි අනුභව කරන බව දැන ඔහු ආරාමයෙන් පන්නා දැමූහ.

නගරයෙහි මිනිස්සු මළ පහ කරන්නට ගියේ එහි වූ ගල් පොත්තකට ය. එතැනට ගිය ඔහු එම ගලෙහි අතක් ඔසවා තබාගෙන එක් පයක් දිග හැර අනෙක් පය නවාගෙන කට ඇරගෙන තපස් රකියි. පුද පූජා ගෙන දුන්න ද බාර නොගනියි. ඔහු කියන්නේ ඔහු ගේ ආහාරය හුළං බවයි. මිනිසුන් එන්නැති අවස්ථාවෙහි දී ඔහු බඩ කට පුරා තමන්ගේ ආහාරය ගනියි. මොහු රහතෙකැයි රැවටුණ මිනිස්සු ඔහු වඳින්නට පුදන්නට වූ හ. අනවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවේ ස්වරූපය මෙය වෙයි.

උපක නම් ආජීවකයා ද නිරුවතින් කුලයකට වී තපස් රකියි. වැදි නායකයකු ඔහුට පැහැදී රහතෙකැයි සිතා තම වැද්දෝ හා එක්ව දන් දෙති. වැද්දගේ දියණිය දුටු කල ඔහුගේ සිඳුණු කෙලෙස් යළි මතු විණි. උපක ආජීවක කතාවෙන් හෙළි වන්නේ ද මෙවැන්නකි.

මෙලොව දියුණු සොයන්නෝ, පරලොව දියුණුව සොයන්නෝ , නිවනින් සැනසීම ලබන්නෝ නිවැරැදි ශ්‍රද්ධාව තමා තුළ ගොඩනඟා ගත්තෝ වෙති. ශ්‍රද්ධාව යනු සිතෙහි ඇතිවන ප්‍රසන්න බවයි. බුදු දහම උභයාර්ථ සාධන ධර්ම පර්යායකි. එය මෙලොව, පරලොව, ලෞකික, අලෞකික දියුණුව සාධනය කරන්නෙකි. මෙලොව සැප විඳ විඳ සිටීම බුදු දහම පිටු දැක්ක සර්වාස්ථි වාදයකි. යමෙක් නිවන නොදකියි නම්, නිවන ගැන බුදුරදුන් නොකිව් බව කියයි නම්, ඒ සර්වාස්තිවාදි දර්ශනයෙහි එල්බ ගත්තෙකි. අංගුත්තර නිකායෙහි අට්ඨම නිපාතයෙහි ගෝතමී වර්ගයෙහි ව්‍යග්ඝපජ්ජ සූත්‍රය මේ උභයාර්ථ සාධනය අපට කියා දෙන සූත්‍ර ධර්මයකි.

එම සූත්‍ර දේශනාව තුළ මිනිසා තුළ තිබිය යුතු ගුණ ධර්මයක් ලෙස ශ්‍රද්ධාව දක්වයි.

කසී භාරද්වාජ සූත්‍රයට අනුව ශ්‍රද්ධාව බීජයකි. ගසක් හැදෙන්නේ බීජය රෝපණය වීමෙනි. අරමුණු ඉටු කර ගන්නා බීජ අවස්ථාව ශ්‍රද්ධාව ලෙස දක්වයි.

අංගුත්තර නිකායෙහි දී ශ්‍රද්ධාව බලයකි. ශක්තියකි. අරමුණ කරා යාමේ ශක්තියකි. ශ්‍රද්ධාව ධනයකි. ආර්ය ධනයකි. ධනය වනාහි සංවර්ධනය සඳහා වූ සාධයකි. ජීවිත සංවර්ධනය උදෙසා ශ්‍රද්ධාව ඉවහල් වෙයි.

සංයුක්ත නිකායෙහි දට්ඨබ්බ ආදි සූත්‍ර දේශනා තුළ ශ්‍රද්ධාව ඉන්ද්‍රියකි. ජීවමාන බව සංකේතවත් කරයි.

අභිධර්මයට අනුව ශ්‍රද්ධාව සිතිවිල්ලකි. රජු හමුවන්න රජ මාලිගාවට පිටිසර මිනිසකු ගිය කල සේනාධිනායකයා රජු කරා එම මිනිසා රැගෙන යන්නා සේ මිනිස් සිත දන් සිල් භාවනා දී පිනට නැඹුරු කරන්නේ ශ්‍රද්ධාවයි. කළ යුතු පින්කම් නිවැරැදිව සොයා දෙන්නේ ශ්‍රද්ධාවයි. රජුගේ අෂ්ඨවංක මාණික්‍යය මඩ පිරුණු පොකුණට දැමූ විට මඩ තුනී වී පැහැදිලි ජලය ඇති වෙයි. නිල් ජලය තුළ මැණික මතුව එයි. මිනිස් සිතත් එසේ වෙයි. ලෝභ, ද්වේෂ, මෝහාදි මඩ කුණු පීරී ඇත. සිතෙහි ශ්‍රද්ධාව වූ කල මේ ලෝභා දි මඩ කුණු පහව ගොස් සිත පැහැපත් වෙයි. පැහැපත් සිත පින් කිරීමට පෙළඹෙයි.

ශ්‍රද්ධාව යනු සිතෙහි ඇතිවන ප්‍රසාදයයි. පැහැදීමයි. පැහැදීම මත ගොඩනැඟෙන විශ්වාසයයි. මෙම විශ්වාසය දැඩි වීමට ප්‍රඥාවත් එකතු විය යුතුයි. ප්‍රඥාව යනු අන්ධ විශ්වාසයෙන් පිළිගැනීම, ඇදහීම නොව යථාර්ථය දැක වැළඳ ගැනීම හා පිළිපැදීමයි.

ශ්‍රද්ධාවෙහි කොටස් දෙකක් වෙයි. අමූලිකා හා අකාරවතී යනු ඒ කොටස් දෙකයි.

යම් ලක්ෂණයක් සඳහා පැහැද, ඒ කෙරෙහි ලැදිවීම අමූලිකා ශ්‍රද්ධා වෙයි.

එක් තරුණ භික්ෂුවක් විය. එම භික්ෂුවගේ ඇවතුම් පැවතුම් නිසා එක්තරා දායකයෙක් පැහැදෙයි. දායකයා භික්ෂුවට දානයකට ආරාධනා කොට භික්ෂුව සමඟ ගමන් කරයි. යන මඟ දිය පාරක් තිබුණි. භික්ෂුව මේ ජල පහර තරණය කරන්නට ඊට උඩින් පනියි. දායකයා භික්ෂුව කෙරෙහි කළ කිරෙයි. දානයට ආරාධනා කළ නිසා දානය දෙනවා පිරිකර නම් දෙන්නේ නැහැ, දායකයා හිතයි.

ඊළඟට ඊට වඩා විශාල ජල පහරක් තිබුණි. එයින් භික්ෂුව බැස යයි. මේ භික්ෂුව පළමු දිය පහරෙන් පැන්නා. දෙවැනි දියපාරෙන් ඇවිද ගියා. දායකයාට ප්‍රහේලිකාවකි. ඔහු සිතූ දෙය දුටු භික්ෂුව කියන්නේ, පළමු ජල පහරින් පැන්න නිසා පිරිකර නැති වුණා. මෙයින් පැන්නොත් දානයත් නැති වන නිසා එසේ ගිය බවයි. මේ භික්ෂුව රහතන් වහන්සේ නමකි. දායකයා තුළ වූ ශ්‍රද්ධාව අමූලිකා ශ්‍රද්ධාවකි. අමුලිකා ශ්‍රද්ධා නොව තිබිය යුත්තේ ශක්තිමත් වූ අකාරවතී ශ්‍රද්ධාවකි. ඒ තුණුරුවන කෙරෙහි ඇති කර ගන්නා පැහැදීමයි.

බුදු ගුණ දැන බුදු ගුණ තුළින් බුදුරජාණන් වහන්සේ දැක ඒ බුදු ගුණ තම ජීවිතයට ගෙන පිළිපැදීමයි. යමෙක් බුදු රජ දකී නම් ඔහු බණ දකියි. යමෙක් බණ නිවැරැදිව දකී නම් ඔහු බුදු රජ දකී. මේ අයුරින් දහම් ගුණ, සඟ ගුණ දැක ඒ ගුණ පිළිපැදීම අකාරවතී ශ්‍රද්ධාවයි. තිබිය යුත්තේ එයයි.

තෙරුවන ගුණ දැක ඒ ගුණ ප්‍රතිපදාවක් සේ පුරන්නා මෙලොව දියුණු වෙයි. පරලොව දියුණු වෙයි. නිවනින් සැනසීම ලබා ගනියි. බෞද්ධයා මේ ශ්‍රද්ධාවෙන් යුක්ත නම් සියල්ල දැක නිවැරැදි දේ ගෙන එය පිළිපදියි. එවිට ඔහු තමා ම නිවැරැදි ධර්මය දකියි. අනුගාමිකයකු, අනුකාරකයකු නොවෙයි. යහපත පිළිපදින නායකයෙක් වෙයි. මේ දහම පිළිපැද නිවනින් සැනසෙමු. ඒ සඳහා ශ්‍රද්ධාව රැක ගනිමු. රැවටිලි පිටු දකිමු.