Print this Article


අයං වස්සාන කාලො

අයං වස්සාන කාලො

දඹදිව සමාජ පරිසරය තුළ ඉතා ඈත අතීතයේ පටන් ම හේමන්ත,ගිම්හාන හා වස්සාන යනුවෙන් වසරකට ඍතු තුනක් පැවතිණ. වසන්ත ඍතුවක් ද මීට එක්කොට ඇතැම් තැනෙක ඍතු සතරක් ලෙස ද දැක්වෙයි.

වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් ව වැඩ සිටිති. සෑම වසරක ම ඇසළ පොහෝදා සිට වප් පොහෝ දා දක්වා යෙදෙන,වස් කාලය සැදැහැවතුන්ගේ පුණ්‍ය කාලයයි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.

රිසි සේ වැසි වසින්න

ගිම්හානයෙහි අධික සූර්ය රශ්මියෙන් පීඩා ලැබ සිටි දඹදිව වාසීන්ට වර්ෂා සමයෙහි උදාවන සිසිල් පවන් රැලි මුසුවූ වර්ෂාපතනය යම් සිසිලසක් ලබා දුනි. එහෙත් එහි යම් යම් උච්චතම අවස්ථාවන්හි ගෙන දුන්නේ බලවත් පීඩාවන් ය. මෙම තත්ත්වය හමුවේ වැස්සට නොබියව ජීවත් විය හැකි ව තිබුණේ සමාජයේ යම් ධනයක් හා බලයක් උරුමව සිටි අයකුට පමණකි.

බුදුරදුන් හා ධනියගෝපාල අතර සිදු වූ සංවාදය එයට හොඳම උදාහරණයයි. බුදුරදුන් හමුවේ ධනියගෝපාල මෙවන් ධනවාදී ප්‍රකාශයක් ඉදිරිපත් කළේ ය.

මම සිදු කළ බත්කිස ඇත්තෙමි. දෙවූ කිරි ඇත්තෙමි. මහී ගංතෙර සමීපයෙහි මාගේ පිරිවර සමඟ වාසය කරමි. ගෘහය මැනවින් සෙවිළි කර ඇත. ගිනි දල්වා ඇත. මේඝය ඉඳින් රිසි සේ වැසි වසින්න.

මෙයට බුදුරදුන් දුන් පිළිතුර මෙයයි.

මම නොකිපෙන සිත් ඇත්තෙමි. පහව ගිය රාග සිත් ඇත්තෙමි. මහී ගංතෙර සමීපයෙහි රාත්‍රී තනිව වාසය කරමි. ආත්මභාව නැමැති කුටිය කෙලෙස් නොමැති හෙයින් විවෘත ය. රාගාදී ගිනි නිවී ඇත. මේඝය ඉදින් රිසි සේ වැසි වසින්න.

මේ ආදී වශයෙන් ආරම්භ වු සංවාදයේ දී තවදුරටත් බුදුරදුන්ගෙන් ලැබුණූ පිළිතුරු අනුව වැස්ස ප්‍රාර්ථනා කිරීමට වඩාත් සුදුසු තමා නොව උන්වහන්සේ ම බව ධනියගෝපාල ඉතා මැනවින් වටහා ගත්තේ ය.

ථෙර ගාථාවන්හි හමුවන පිවිතුරු උදානයන් දෙස බැලීමේ දී ද මැනවින් පැහැදිලි වන කරුණක් නම් බුදුරජාණන් වහන්සේ මෙන් ම මහරහතන් වහන්සේ ද වැසි සමය දෙස බලා ඇත්තේ ඉමහත් ප්‍රබෝධයකින් බවයි.

සිඳීම්, වියළීම් හා ගැලීම් උරුම කොට ගත් ගඟදිය නොකඩවා ඉදිරියට ගලා බසින්නාක් මෙන් වැසි සමයෙහි මුහුණ දෙන සියලු බාධා සහායක් කොට සිතමින් ස්වකීය ආධ්‍යාත්මික සුවය සපුරා ගැන්මට භික්ෂූන් වහන්සේ උත්සාහවත් වූහ.

වස්සානයේත් ධර්ම චාරිකා

බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් හට දේශනා කර තිබුණේ ජීවිතයේ පරම සංසිඳීම වූ නිවන සාක්ෂාත් කර ගැනීමට සේ ම අන් ජනතාවට ද එම මාර්ගය කියාදීම සඳහා අප්‍රමාදීව ක්‍රියා කරන ලෙසයි. ප්‍රථම රහතන් වහන්සේ සැට නම අරභයා දුන් “මහණෙනි, බොහෝ දෙනාට හිත සුව පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙව්මිනිසුන්ට වැඩ පිණිස ද, හිත සුව පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙදෙනෙකු එක මඟ නොයන්න. මුල, මැද, අග යහපත් වූ , අර්ථ සහිත වූ, සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මයක් දේශනා කරන්න” යන අවවාදය එයට එක් උදාහරණයකි.

මෙම අවවාදය මැනවින් ක්‍රියාත්මක කළ භික්ෂූන් වහන්සේ අව්ව, වැස්ස,රාත්‍රිය, දවාල සහ වෙහෙස මහන්සිය ගැන නොතැකූ අතර, හේමන්තය ද, ගිම්හානය ද, වස්සානය ද යන කරුණුූ කෙරෙහි ද සැලකිල්ලක් නොදැක්වූහ. ඒ අනුව වස්සාන සමය තුළ ද භික්ෂූන් වහන්සේ වැසි ජලය හා තණකොළ පාගමින් ගම්, නියම්ගම් හා නගර සිසාරා ධර්ම දූත චාරිකාවෙහි නිරත වූහ. මෙම ක්‍රියාව පරම අවිහිංසාවාදි ප්‍රතිපත්තියකින් යුක්තව ජීවත්වූ ජනතාවකගේ දැඩි විමතියකට හේතු වුණි. එබැවින් ඔවුනතර ඇති වූයේ මෙවන් කතාබහකි.

කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ හේමන්තයෙහි ද, ගිම්හානයෙහි ද, වස්සානයෙහි ද නිල් තණකොළ පාගමින් ඒකීන්ද්‍රීය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු වුවත් වස් විසීමෙහි යෙදෙති. උත්සාහ රහිතව නිතර එකතැන වාසය කරති. කුරුල්ලෝ ද ගස් මුදුන්වල කූඩු තනාගෙන වැසි කාලයෙහි ඒවායෙහි වාසය කරති.

මෙම කරුණු මත පිහිටා ඇතැම්හු භික්ෂූන් වහන්සේට අවමන් කළහ. නින්දා කළහ.දොස් කීහ. දිගින් දිගට ම මෙම බස් කන වැකීමත් සමඟ ම භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙය සැළ කර සිටියහ.

පසුව බුදුරජාණන් වහන්සේ මේ කෙරෙහි දැඩි අවධානයක් යොමුකොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි”යි වදාළහ.

එකල්හි, කවදා වස් එළඹිය යුතු දැ”යි විමසීමට භික්ෂුන් වහන්සේට සිත්වු හෙයින් එය බුදුරදුන් වෙත සැළ කර සිටියහ. එවිට බුදුරදුන් වදාළේ,”මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි යනුවෙනි.

මෙම වස් විසීමට අනුව සංචාරක දිවියක් ගෙවමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි භික්ෂූන් වහන්සේට එයින් අත්මිදී එක් තැනෙක වැඩ වෙසෙමින් ග්‍රන්ථධුර හා විදර්ශනා ධුර වැඩීමටත් සැදැහැවතුනට අර්ථයෙන් ,ධර්මයෙන් අනුශාසනා කිරීමටත් වස්කාලයේ අවස්ථාව උදා වුණි.

ගිහි පැවිදි සබැඳියාව ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් පැවතිය යුතු බව සිංහල බෞද්ධ ජන සාමජය පිළිගෙන තිබේ. එම සබැඳියාව මැනවින් මූර්තිමත් වන කාල පරිච්ඡේදයක් මෙම වස්සමය තුළින් පිළිබිඹු කෙරෙයි. භික්ෂූන් වහන්සේ සහ සැදැහැවත් ගිහි සමාජය අතර මෙම සබැඳියාව ඇති වූයේත්, ආරාමික දිවිපෙවෙත ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සංවර්ධනය වූයේත් වස් විසීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

පරම අවිහිංසාවාදය

බුද්ධ කාලීන දඹදිව මෙම සමාජ පරිසරය තුළ ම විවිධ ආගම් හා දර්ශනවාදයන් ඉගැන්වූ ආගමික නායකයින් විශාල සංඛ්‍යාවක් දැක ගත හැකි විය. ඒ සියලු ඉගැන්වීම් කැටිකොට ගත් කල දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් පැවතිණ, එකී ආගමික නායකයින් අතර වඩාත් ප්‍රකටව හා පිරිස් බලයක් සහිතව සිටියේ ෂට් ශාස්තෘවරුන් ය. ඔවුන් අතර ද වඩාත් ම ඉදිරියෙන් සිටියේ ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථපුත්තතුමා ය.

ඔහුගේ ප්‍රධාන ඉගැන්වීම වූයේ පරම අවිහිංසාවාදය යි. එම ඉගැන්වීම සෙසු නායකයින්ගේ ඉගැන්වීම් මෙන් ජන සමාජයට හානිදායක නොවීය. ගහකොළ මත සේ ම තණකොළ මත ද ඒකීන්ද්‍රිය ප්‍රාණයක් ඇතැයි ඔහු ඉගැන්වීය. ගස්වල අතුරිකිළි පවා කඩා දැමීම පාපයක් යැයි සැලකීය. එසේ ම ජලය තුළ ද ක්ෂුද්‍ර ජීවින් සිටින බව පවසා දුන් ඔහු වැසි ජලය හා තණකොළ පයින් පෑගීම ද බලවත් පාපයක සේ දුටුවේ ය. තණකොළ පයින් පෑගීම ද බලවත් පාපයක් සේ දුටුවේ ය. පෙරහන්කඩක් නිතර ම ළඟ තබා ගැනීමට නියම කළ ඔහු ජලය පානය කරන සැමවිටෙක ම එය පෙරා පානය කළ යුතු බව ඉගැන්වූයේ ක්ෂුද්‍ර ජීවින්ගේ ආරක්ෂාව සඳහා ය.

මෙම ඉගැන්වීම් තුළ නිගණ්ඨනාථපුත්තතුමා ස්වකීය ශ්‍රාවකයන්ට හා අනුගාමිකයන්ට අධික වැසි සහිත වස්සාන සමය තුළ ගමන්බිමන් තහනම් කොට තිබිණ.මෙම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් එකල දඹදිව වැසියන්ගේ සිත් තුළට තදින් ම කිඳාබැස තිබූ හෙයින් මෙකී ප්‍රතිපත්ති ඔවුහු දැඩිව අනුගමනය කළහ.