Print this Article


කාන්තාවට අරහත් ධජය හිමි වූ උතුම් බිනර පෝදා

කාන්තාවට අරහත් ධජය හිමි වූ උතුම් බිනර පෝදා

මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ සනාතන රැකවරණය ලබමින් උතුම් පැවිදි උපසම්පදාව ලද මහා ප්‍රජාපති උත්තමාවියගේ උතුම් නාමය නිති සිහිවෙන බිනර පුන් පොහෝ දිනය ශාසන ඉතිහාසයේ කාන්තාවනට විමුක්තිය සැලසු උතුම් දිනය යි.

එදින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටි දිනයකි. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය භාග්‍ය‍වතුන් වහන්සේ වෙත පැමිණ වන්දනා කරමින් මින් පෙර ද අවස්ථා දෙකක දී විමසූ අනගාරිකා පැවිදි බව ලබා ගැනීමේ ආයාචනය සිදු කළා ය. තෙවැනි වතාවේදීත් ශාස්තෘන් වහන්සේ වදාළේ,

“ගෞතමියනි, තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ති‍්‍රය විසින් ගිහිගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා! යනුවෙනි.”

දිනක් රෝහිණි නදියේ ජලය මුල් කරගෙන ශාක්‍ය කෝලිය වංශිකයන් යුද කෝලාහලයකට පිළිපන් මොහොතේ එම කලහය සංසිඳුවන්නට වැඩම කොට වදාළ බුදු සමිඳුන් දෙසු ශි‍්‍ර සද්ධර්මයේ පහස ලද ශාක්‍ය කුමාරවරුන් පන්සිය දෙනා උතුම් අරහත් ධජය දරමින් පැවිදිව සවු කෙලෙසුන් නසා අරහත්වයට පත්විය. එම කුමාරවරුන්ගේ ගිහි කල බිසෝවරු ගිහිගෙයි නො ඇලුණු සිත් ඇතිව පැවිදි බවට ම අසාවෙන් හුදකලා විවේකයෙන් ම සිටි මහා ප්‍රජාපතිය වටා එක්රොක් වූහ.

මේ වන විට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවෙහි ය. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය කෙස් සිඳවා මුඩුකරවාගෙන ශාක්‍ය ස්ති‍්‍රන් සමඟ විශාලා මහ නුවර කූටාගාර ශාලාව බලා පැමිණියහ. ඉදිමී ගිය පාදයන්ගෙන් යුක්තව දුහුවිලි වැකි ගිය සිරුරින් යුක්තව, දුකට පත් වූවා වූ, දොම්නස් වූවා වූ, කදුළු වැකුණු මුහුණින් යුතුව දොරටුවෙන් බැහැරව සිටියා වූ මහා ප්‍රජාපතී ගෞතමිය දුටු ආනන්දයන් වහන්සේ සියලු තතු දැන බුදු සමිඳුන් වෙත වැඩම කොට තමන් වහන්සේ ද තෙ වරක් කාන්තාවන් සඳහා පැවිද්ද ආයාචනා කොට වදාළ නමුත් බුදුරජාණන් වහන්සේ එය බැහැර කළ සේක.

ආනන්දයන් වහන්සේට මෙවැනි සිතක් පහළ විය.

“ භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන් සඳහා පැවිද්ද තෙවරක් ම ප්‍රතික්ෂේප කොට වදාළා. ඒ නිසා මම අන් මඟකින් විමසීම සුදුසු ය” යනුවෙනි.

“ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහිගෙයින් නික්ම පැවිදි ව දිවි දෙවැනි කොට දහමෙහි හැසිරුණහොත් සෝතාපන්නවීම, සකදාගාමීවීම, අනාගාමීවීම, අරහත්වයට පත්වීම සිදු විය නොහැකි දෙයක් ද ?

භබ්බෝ ආනන්ද මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සෝතාපත්තිඵලම්පි සකදාගාමිඵලම්පි අනාගාමිඵලම්පි අරහත්තඵලම්පි සච්ඡිකාතුන්ති.

- ගෝතමී සුත්‍රය

“ආනන්දයෙනි, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද අත්දකින්නට සමර්ථ වන්නී ය.”

“ඉදින් ස්වාමීනී, ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමීඵලය ද, අනාගාමීඵලය ද, අරහත්ඵලය ද ලබන්නට සමර්ථ වන්නී නම්, මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරී වූවා ය. සුළු මව් වූවා ය. අත් පා වැඩුවා ය. පෝෂණය කළා ය. භාග්‍යවතුන් වහන්සේගේ මව් කළුරිය කළ කල්හි කිරි පෙව්වා ය. ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහිගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති” වශයෙන් කරුණු වදාළ සේක.

එසේනම් පින්වත් ආනන්ද, ප්‍රජාපතී ගෞතමිය අෂ්ටගරු ධර්මයන් පිළිගන්නේ නම් එය ම ඇයගේ පැවිද්ද වන්නේ ය. උපසම්පදාව වන්නේ ය!

ඉනික්බිති ආනන්දයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද අෂ්ට ගරු ධර්මයන් මහා ප්‍රජාපතිය හට දන්වා සිටි සේක.

උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳීලි බැඳ වැඳීම්, යහපත්වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මයන් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නො එළඹිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීමත්, අවවාද ලැබීමට එළඹීමත් ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසුදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය.

බරපතළ ඇවතකට පත් භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂමානත් පිරිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

දෙ වසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාරකොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය

භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නො කළ යුතු ය. පරිභව නො කළ යුතු ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය

ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නො වැසුණේ ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය යනුවෙනි.

අලංකාරය කැමති තරුණ දරුවකු හොඳින් දිය නා පිරිසුදු ව සිටින විට සමන් මල් දමක් හෝ මහනෙල් මල් දමක් දෝතින් ම පිළිගෙන හිසේ පැළඳ ගන්නේ යම් සේ ද මහා ප්‍රජාපතී ගෞතමිය ඒ උතුම් අෂ්ට ගරු ධර්මයෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දොහොත් මුදුන් දී පිළිගත්තා ය.

ඒ සුපින්බර දිනයේ පැවිදි උපසම්පදාව ලද මහා ප්‍රජාපතී ගෞතමිය ශාක්‍ය මුනීන්ද්‍ර වූ බුදු සමිඳුන් විසින් දේශනා කොට වදාළ උතුම් සිරි සදහම් සිත්හි දරාගෙන සවු කෙලෙසුන් නසා අරහත්වයට පත්වී වදාළ සේක. ඒ අනුව යමින් පන්සියයක් වූ ශාක්‍ය දියණියන් මෙන් ම මෙතෙක් පටන් ඒ ඒ ගම් නියම්ගම් රාජධානින්හි වෙසෙන කුල කුමරියන්, කුල ස්ති‍්‍රහු ගෞතම බුදු සසුනේ සුපහන් සිතින් පැවිදිව ඒ අමා නිවන් සුව පසක් කරගත්තාහු ය.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හට අග්‍රස්ථානයන් පිරිනමන මොහොතේ

“ ඒතදග්ගං භික්ඛවේ, මම සාවිකානං භික්ඛුනීනං රත්තඤ්ඤූනං යදිදං මහාපජාපතිගෝතමී ” - ඒ්තදග්ගපාළි

යනුවෙන් පැවිදි වී බොහෝ කල් ගත වූ භික්ෂුණීන් අතර අගතනතුර පිරිනමමින් මහා ප්‍රජාපතී මහරහත් උත්තමාවිය හට ලබාදුන් සේක.

මෙසේ මහා ප්‍රජාපතී ගෞතමිය කාන්තාවන් හට උතුම් අරහත් ධජය දරමින් බුදු සසුනේ සසුන් බඹසර පුරන්නට උපකාර කළ සේක. ඒ උත්තම බුද්ධ මාතාව වූ මහා ප්‍රජාපතී මහරහත් උත්තමාවිය සිහිවන මේ උතුම් බිනර පුන් පොහෝ දවසේ පින්වත් ඔබ සියලු දෙනාට ම ශිී‍්‍ර සද්ධර්මයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා !