දළදා පූජාවලිය
බත්තරමුල්ල
මයුරපාද මහ පිරිවෙන් විහාරාවාසී
රාජකීය පණ්ඩිත
රත්මලානේ රතනසිරි හිමි
ශ්‍රී ලාංකේය බෞද්ධයන් අතර, පූජනීයත්වයෙන් සැලකෙන වස්තු අතර ශ්‍රී දන්ත ධාතුන්
වහන්සේට ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. ස්තූපය, බෝධි වෘක්ෂය, බුද්ධ ප්‍රතිමා යනාදිය
සඳහා වැඳුම් පිදුම් ක්‍රම, බෞද්ධයන් අතර යම් සේ ප්‍රචළිතව ගියේ ය. එමෙන් ම දළදා
වහන්සේ පිළිබඳ නානා විධ පූජා සත්කාර සහ වත්පිළිවෙත් රාශියක් කාලයාගේ ඇවෑමෙන් ඇති
විය.
දළදා වහන්සේ පූජනීය වස්තුවක් වන හෙයින් ඒ වටා විශාල සාහිත්‍යයක් ගෙතී යාම
බලාපොරොත්තු විය හැකි කරුණකි. දළදාවේ ඉතිහාසය කියාපාන දැනට ඇති පැරැණිම සිංහල
ග්‍රන්ථය කුරුණෑගල්පුර රජ කළ සතර වැනි පරාක්‍රමබාහු රජ දවස ලියන ලද දළදා සිරිතයි.
එයට මූලාශ්‍රය වූයේ පොලොන්නරු යුගයේ දී ධර්මකීර්ති නම් තෙර නමක් විසින් රචිත පාලි
දාඨාවංශයයි. එහි දස වැනි පද්‍යයෙන් කියැවෙන පරිදි එම පාලි කෘතියට මූලාශ්‍රය වූයේ
අතීතයෙහි පැවැති සිංහල දළදා වංශය නම් කාව්‍යයකි.
සදෙස භාසාය කවීහි සීහළෙ
කතම්පි වංසං ජිනා දන්ත ධාතුයා
හිරුන්තියා මාගාධිකාය වුද්ධියා
කරොමි දීපන්තරු වාසිනාං අපි
දළදා සිරිතේ මුල් පරිච්ඡේද පහ සඳහා පාලි දාඨාවංශය මූලාශ්‍රය වූ බව නිසැක ය. එහෙත්
සිංහල ග්‍රන්ථයෙහි අමතර විස්තර රාශියක් ඇතුළත් වී තිබේ. කුරුණෑගල සතර වැනි
පරාක්‍රමබාහු රාජ කාලය දක්වා දළදා වහන්සේට ලැබුණු පුද සත්කාර විස්තර කරන අනෙක්
ග්‍රන්ථය නම් දළදා පූජාවලියයි. එය ගම්පොළ පස් වැනි බුවනෙකබාහු රජ දවස රචිත බව
සැලකිය හැකි ය. තවත් පඬිවරු මෙය කුරුණෑගල යුගයට අයත් බව දක්වති.
පස් වැනි බුවනෙකබාහු රජ සමයේ විසූ අලගක්කෝනාර සහ ජයසිංහ පතිරාජ යන ඇමැතිවරුන්ගේ නම්
ග්‍රන්ථාරම්භයෙහි සටහන් වන හෙයින් ගම්පොළ යුගයේ මෙම ග්‍රන්ථය රචනා වූ බව නිගමනය
කිරීම සහේතුක ය. දළදා පූජාවලියෙහි සහ දළදා සිරිතෙහි ඇත්තේ එකම කතා ප්‍රවෘත්තියයි.
එහෙත් දළදා පූජාවලියේ රචනා ක්‍රමය වෙනස් මඟක් ගෙන ඇත. දාඨා වංසයෙන් සහ මහාවංසයෙන්
උපුටා ගත් පාලි පාඨ මෙහි තැන් තැන්වල දිස්වෙයි. බුද්ධ චරිතය ගැන කියැවෙන තැන්වල ජින
චරිතය, ජිනාලංකාරය ආදී පාලි ග්‍රන්ථවලින් කතුවරයා ආභාෂය ලැබූ බව කිව හැකි ය.
පරිච්ඡේද හයකින් යුක්ත වූ දළදා පූජාවලියෙහි පළමු පරිච්ඡේදය ආරම්භ වන්නේ පහත
ගාථාවෙනි.
සත්ථුජ්ජසත්ථචරණං සරණං ජනානං
බ්‍රහ්මදිමෝලිමණිරංසි සමාවහන්තං
පඛ්කේරුභාගමුදුකෝමල චාරු වණ්ණං
වන්දාමි චක්ක වර ලක්ඛණමාදධානං
ජනතාවට සරණ වූ, බ්‍රහ්මාදීන්ගේ කිරුළු රැස් මොනවට උසුලන්නා වූ, පද්මයකට සමාන, මෘදු,
කෝමල වූ, මනරම් වර්ණ ඇති, උතුම් චක්‍ර ලක්ෂණයක් දරන්නා වූ බුදුරජාණන් වහන්සේගේ
උත්තම ශ්‍රී පාදය වඳිමි යන අදහසින් බුද්ධ නමස්කාරයකින් ග්‍රන්ථය ආරම්භ වේ. එය
පැරැණි ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ චිරත්තන සම්ප්‍රදායයි.
යටගිය දවස බ්‍රහ්මදේව නම් බුදුකෙනෙකුන් වහන්සේගේ ශ්‍රී පාද මූලයෙහි දී “මම
බුදුවෙමි” යි යන මනෝ ප්‍රණිධාන කොටා එතැන් පටන් සතාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි,
වාග්භේද ප්‍රාර්ථනා කොට, ආ තැන් පටන්, මේ මහා භද්‍රකල්පයට සාරාසංඛ්‍ය කල්ප
ලක්ෂයකින් යටගිය දවස, ලෝකයෙහි පහළ වූ තුන් ලොවට අසහාය ප්‍රදීපායමාන, වූ දීපංකර නම්
සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යයෙහි සුමේධ තාපසව නියත විවරණ ලැබීමේ පුවත
පළමු පරිච්ඡේදයෙහි රමණීයව අටුවා පුවත් අනුව ගෙනහැර දක්වා ඇත.
තෙවැනි පරිච්ඡේදයේ සිට දළදා ඉතිහාසය ගෙන හැර දැක්වීම ආරම්භ වේ. බුදු කිස අවසන් වූ
පසු අසූවැනි වියෙහි දී මහා පරිනිර්වාණයට පත්වීමත්, ශ්‍රී දේහයෙහි ආදාහන කෘත්‍යය
පිළිබඳවත් මහා පරිනිබ්බාන සූත්‍රය හා අටුවා ආශ්‍රයෙන් කෙටියෙන් තොරතුරු දක්වා ඇත.
ඛේම නම් තෙරුන් වහන්සේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඇරගෙන, කලිඟු පුරයෙහි රජ කරනා
කලිඟු රජ හට හෙවත් බ්‍රහ්මදත්ත රජ හට බණ කියා කෘදෘෂ්ටි හරවා, රත්නත්‍රය ප්‍රසාදයෙහි
පිහිටුවා, දන්ත ධාතුන් වහන්සේ පුදන පරිද්දෙන්, ඔහු හට දුන් කල්හි, දළදා වහන්සේ
කෙරෙහි ප්‍රසන්න වූ බ්‍රහ්මදත්ත රජ තෙමේ,
සුවණ්න, ඛචිතාලම්බමුත්තා
ජාලේහි සෝභිතං
කූටාගාර සතාකිණ්ණං
කරුණාදිච්ච සන්නිභං
යනු හෙයින්, රන්කම් කොට එවන ලද්දා වූ මුතු දැල් පන්තියෙන් හා ගැවසී ගත්තා වූ
කුළුගෙවල් සිය ගණනාවකින් බාලාරිකයක් මෙන් අනේක ශ්‍රී විභූතියෙන් විරාජමාන වූ නොයෙක්
රත්නයන්ගේ ශෝභාවෙන් ඇස් දල්වා බැලිය නොහැක්කා වූ, දෙව් ලොවට හා නිවන් පුරයට වාහනයක්
බඳුවූ ලෝ වැසියන් හට අධික ප්‍රසාද එළවන්නා වූ දළදා ගෙය කරවා එහි දළදා වහන්සේ වඩා
හිඳුවා විවිධ පුද සත්කාර පැවැත්වූ ආකාරය සංස්කෘත තත්සම පද බහුල වර්ණනාවකින් දක්වා
ඇත.
ගුහසීව රජතුමා විසින් බෑණා වූ දන්ත කුමාරයා හට ලක්දිව බුද්ධ ශාසනය ප්‍රභාව පිළිබඳ
කරන විවරණය ඉතා වටිනා විස්තරයකි. එයින් එම යුගයේ ලංකාවේ බුද්ධාගමේ තත්ත්වය පිළිබඳ
අවබෝධයක් ලබා ගත හැකි ය.
“එම්බා දන්ත කුමාරයෙනි, දශබලධාරි වූ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ
සිංහල ද්වීපයෙහි බොහෝ පිහිටි සේක. එසේ හෙයින් සසර බිය නැසීමට දක්ෂ වූ සර්වඥයන්
වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ (සපරියාප්තික නව ලෝකෝත්තර වූ සද්ධර්මය ද එහි ම
පවත්නේ ය. තවද බුදුන්ගේ නවාංග ශාස්තෘ ශාසනයත් එහිම පවත්නේ ය. අගණිත සංඝයා වහන්සේ ද
වසන සේකැයි යනාදීන් කියා තව ද තොපට ලංකා ද්වීපයෙහි භය නැතැයි කියන ගුහසීව රජතෙම,
“එම්බා දන්ත කුමාරයෙනි, ඒ සිංහල ද්වීපයෙහි මහා සේන නම් රජ්ජුරු කෙනෙක් ඇත. ඒ
රජ්ජුුරුවොත් මට අතිශයින් ම ඉෂ්ට මිත්‍රයෝ ය.
ලක්දිව රජ දරුවන් දළදා වහන්සේ පිළිගෙන විවිධ පුද සත්කාර සම්මාන පවත්වා ඇත. විජයබාහු
රජු, ද අයෝපබ්බත නිවාසි මහා බුවනෙකබාහු රජතුමා ද, හස්තගිරි නිවාසී ත්‍රිබුවනෙකබාහු
රජ ද සර්වඥයන් වහන්සේගේ දාඨා ධාතුන් වහන්සේට අනවරතයෙන් ගන්ධකුට, රත්න කරඬු ද කරවා
ඇත. ශ්‍රී පරාක්‍රමබාහු මහ රජාණෝ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දස දහසකින් රජත කරඬුවක්
කරවා, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එහි වඩා, විසිතුරු පූජෝත්සව පවත්වා, අවුරුද්දෙහි
කාන්තියෙහි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට සියයට කාලක් අගයෙන් නව තොටින් පඬුරු පූජාත්
සලස්වා, බොහෝ කුසල සම්භාරයක් රැස්කරවා , ස්වර්ග, මෝක්ෂ සම්පත් සාදා ගත්තා වූ, ඒ
රාජෝත්තමයා යට කියන ලද බොහෝ රජ දරුවන් ද කරවූ සුචරිත මෙන් දළදා පූජා ද පිළිවෙළින්
අසා, දැනුදු, එන දවස දු, සිරිලකට පැමිණී රාජ මහා මාත්‍යාදීන් විසින් ශ්‍රද්ධා
බුද්ධි සම්පන්නව දෙලොවින් සිතූ සැපත් දෙන්නා වූ මේ සුචරිතය සතුටු සිතින් පැවැත්විය
යුතු ය.
රාජධම්මා පබෝධෙන්තා
රඤ්ජයන්තා මහාජනං
රාජානෝ’පි චිරං සම්මා
පාලයන්තු වසුන්දරං |