Print this Article


සැබෑ ආලයේ හිමිකරුවා කවුරු ද?

සැබෑ ආලයේ හිමිකරුවා කවුරු ද?

බුදු දහම නිර්වාණය ම ඉලක්ක කරගත් දහමකි. නමුත් ලෞකික ජීවිතය සාර්ථක නො කරගත් නිර්වාණගාමී මාර්ගයක් බුදු දහමේ දහමේ අන්තර්ගත නොවේ.

ලෞකික ජීවිතය හෙවත් පුද්ගලයා සැරිසරන වටපිටාව නොයෙක් බැඳීම් මත පදනම් ව ගලා යන්නකි. උදාහරණයක් ලෙස දෙමාපිය, දූ දරු, ගුරු ශිෂ්‍ය, හිතමිතුරු, නෑදෑ හිතමිතුරු, අඹුසැමි බැඳීම් පෙන්වාදිය හැකි ය.

සමාජයේ එක් පුද්ගලයෙක් තමා සිටින ස්ථානය අනූව විවිධ භූමිකා රඟ දක්වති. ඒ භූමිකාවන්ට පැවරෙන යුතුකම් හා වගකීම් සිදුකරති. එය අනුව බැඳීම් ලෝකයේ පවතී. එකිනෙකා අතර අන්‍යොන්‍ය බැ¼දීම් පවතින විට එකිනෙකාට ප්‍රියකරති. ආලය ද වඩති. බුදු දහමට අනුව අප කාට ආලය කළ යුතු ද යන්නට පිළිතුරක් සැපයීමට මෙහිදී උත්සාහවත් වනු ලබයි.

ත්‍රිපිටක සූත්‍රවලින් සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයේ බන්ධන වග්ගයට අයත් මල්ලිකා සූත්‍රය පුද්ගලයකු සැබැවින් ම ආලය කළ යුත්තේ කාහට දැයි පහදා දෙයි. මල්ලිකා සූත්‍රයේ පවතින නිදාන කතාව අප විමසා බලමු. දිනක් කොසොල් මහරජතුමා මල්ලිකා දේවිය හමුවට ගොස් දැඩි ආලයෙන් පැනයක් අසයි. එය සූත්‍රයේ සඳහන් වන්නේ

“අත්ථි නු ඛො තෙ මල්ලිකෙ චඤ්ඤො අත්තනා පියතරරොති” යනුවෙනි. මල්ලිකාවනි, තමාට වඩා ප්‍රිය වූ වෙනත් අයෙක් සිටීද යන්න එහි අර්ථය යි.

එවිට මල්ලිකා දේවිය පිළිතුරු ලබා දුන්නේ

“නත්ථි නු කො මේ මහාරාජ කො චඤ්ඤො පියතරොති” මහරජ මට වඩා ප්‍රිය වූවෙක් මා හට නොවේ යැයි යනුවෙනි.

නමුත් කොසොල් රජු අපේක්ෂා කළේ මල්ලිකා දේවියගෙන් එබඳු පිළිතුරක් නොවේ. තමා ප්‍රිය වූවෙක් ඇත්නම් ඒ ප්‍රිය මහරජු වේ යැයි ආදී පිළිතුරකි. සරලව අන්‍යොන්‍යව ආදරය කරන්නවුන් එකිනෙකා ගැන ඇති ආල හැඟීම් ප්‍රකාශයකි. රජු මල්ලිකා දේවිය හා සංවාදයෙන් ලද කළකිරීමෙන් බුදුරදුන් හමුවේ සිදු වූ පුවත ප්‍රකාශ කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ද පිළිතුරු ලබා දුන්නේ පහත සඳහන් ගාථා පාඨයෙනි.

සියලු දිසාවන්හි බැලුව ද තමාට වඩා ප්‍රිය වු කිසි අයෙක්, කිසි තැනකවත් නොලැබූ බවත් ලොවෙහි සියලු දෙනාට ම තම තමන් ප්‍රිය වන බවත්‍ ය. එහෙයින් තමාට ප්‍රිය වූ පුද්ගලයා, තමන් නොපෙළන්නෙක් වන්නේ ය යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ ලබා දුන් උපදේශය අනුව තමන් නො පෙළන්නෙක් ලෙස කටයුතු කරන්නේ කෙසේ ද යන්න තවත් වක්‍රව නැඟෙන ගැටලුවකි. එයට ද බුද්ධ උපදේශය ම සලකා බැලීම වටී.

බුදු දහමේ පෙන්වා දෙනු ලබන්නේ අකුසලයන්ගෙන් වැළකී කුසලයන් රැස් කර ගනිමින් දිවි ගත කරන්නා තමාට ම ආලය කරන්නකු බවයි. තමන් නො

පෙළන්නෙක් බවයි.

තමා ආරක්ෂා වීම බුදු දහමේ බාහිර ප්‍රශ්න ගැටලුවලින් මිදී, සැඟවී සිටීමෙන් සිදු නොවන බව අවධාරණය කරයි. මිනිසකු තම ජීවිත කාලය පුරාවට දොර අගුළු දමා වැසූ නිවසක වෙසෙමින් අකුසල් කරයි නම් ඔහු තමා රකින්නකු නොවන බවත්, එළිමහනේ සිට වුව ද සමාජයේ ගැටෙමින් කුසල් රැස් කරන අයකු නම් ඔහු තමා ආරක්ෂා කරන්නෙකු, තමාට ම ප්‍රිය වන්නකු, තමාට ම ආලය කරන්නකු වන බව බුදු දහමේ පෙන්වා දෙයි.

ධම්මපද පාලියේ අත්ත වග්ගයේ පළමු ගාථාවෙන් නිරූපණය කෙරෙන පරිදි කුසල් රැස් කරන පුද්ගලයා “තිණ්ණමඤ්ඤතරං යාමං පටිජග්ගෙය්ය පණ්ඩිතො” තමාට ම ප්‍රිය වූ පුද්ගලයකු බවට පත්වීමේ දී තුන් වයසින් එක්තරා වයසක දී අකුසල් දුරු කොට තමා රැක ගත යුතු බව පෙන්වා දෙයි. එම අවස්ථා තුන ධම්මපද

අටුවාවේ දක්වා තිබෙන්නේ මව්කුස තුළ සිටිය දී , තරුණ වියේ දී හෝ මුහුකුරා ගිය මොහොත යන අවස්ථාවන් තුනේ දී ය. ඒ අනුව අපි ඉහත දැක්වූ අවස්ථාවන් තුනෙන් එක් අවස්ථාවක දී තමා රැකීම පිණිස කුසල් රැස් කරමු.