Print this Article


සම්බුදු සසුන් කෙතේ අස්වනු නෙළා ගැනීමට ශ්‍රද්ධාවන්තයා අප්‍රමාදී ය

සම්බුදු සසුන් කෙතේ අස්වනු නෙළා ගැනීමට ශ්‍රද්ධාවන්තයා අප්‍රමාදී ය

අතීතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගී මගී යාචකාදීන්ට මහා දානයන් දෙයි. ඔහු ඇසුරු කර ජීවත්වන අන්නභාර නම් දුගියෙක් විය.

එක් දවසක් උපරිට්ඨ නම් පසේබුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී සිට ඉන් නැඟිට අනුග්‍රහ කළ යුත්තකු විමසන්නාහු අන්නභාර නම් දුගියා දැක ඔහුට අනුග්‍රහ කරනු පිණිස ඔහු වනයෙහි සිට සිය නිවෙසට එන වේලාවෙහි පා සිවුරු ගෙන අහසින් වැඩම කර ග්‍රාමද්වාරයෙහි අන්නභාර එන පෙරමග සිටි සේක. දුගී අන්නභාර හිස් පාත්‍රයෙන් සිටි පසේබුදුන් දැක, උන්වහන්සේට වැඳ

“ස්වාමීනි, භික්ෂාව ලද සේක් දැ’යි විචාළේ ය.

“ලබන්නෙමි, මහපිනැතිය”යි පසේ බුදුහු වදාළහ. එකල්හි අන්නභාර

“ස්වාමීනි, මොහොතකට මෙහි ම වැඩ සිටිනු මැනව“යි කියා වේගයෙන් ගෙට ගොස් භාර්යාව අමතා

“සොඳුර, අපට පෙර පින් මඳ බැවින් දිළිඳුව සිටින්නට වී ඇත. අපට දෙනු කැමැත්ත ඇති වූ දාට දෙන්නට දෙයක් නැති වෙයි. දෙන්නට දෙයක් ඇති දාට ප්‍රතිග්‍රාහකයකු නො ලැබෙයි. අද මට උපරිට්ඨ පසේබුදුන් වහන්සේ හමුවූහ. මාගේ බත් පංගුව මේ පාත්‍රයට බෙදා දෙව“යි කීය. නුවණැති බිරිය සිය සැමියාගේ දානයට තමා ද කොටස් කාරියක විය යුතු ය යි සිතා තමාගේ බත් පංගුව ද ඒ පාත්‍රයට බෙදා දුන්නී ය. අන්නභාර පසේ බුදුන් වහන්සේ වෙත පාත්‍රය ගොස් පිළිගන්වා

“ස්වාමීනි, මේ පිනෙන් මම මේ දුප්පත් ජීවිකාවෙන් මිදෙම්වා”යි කීය. “පින්වත, එසේ ම වේවා”යි පසේබුදුන් වහන්සේ වදාළහ. ඉක්බිති අන්නභාර ඔහුගේ උතුරු සළුව බිම අතුරා,

“මෙහි වැඩසිට වළඳනු මැනව“යි කීය. පසේ බුදුන් වහන්සේ එහි වැඩසිට ආහාර වැළඳූ සේක. දන් වැළඳූ පසු අන්නභාර පසේබුදුන් වහන්සේට පාත්‍රය සෝදා ගැනීමට වතුර ද සපයා දින අවසානයේ පසේ බුදුන් වහන්සේ පසේ බුදුවරුන්ගේ සිරිත පරිදි,

“ඉච්ඡිතං පත්ථිතං තුය්හං - ඛිප්පමේව සමිජ්ඣතු

සබ්බේ පූරෙන්තු සංකප්පා - චන්දෝ පණ්ණරසී යථා”

යි අනුමෝදනා කොට මඟට පිළිපන් සේක. එකල්හි සුමන සිටුගේ ඡත්‍රයෙහි වෙසෙන දෙවියා ඒ දානය දැක,

“අහො දානං පරමදානං උපරිට්ඨෙ සුප්පතිට්ඨිතං” යි තුන්වරක් කියා සාධුකාර දින.

එකල්හි සුමන සිටු ඔහුගේ සාධුකාරය තමාගේ දානය ගැන දුන් සාධු කාරයකැයි සිතා

“කිමෙක් ද මෙතෙක් කල් මා දන් දෙනවා නුඹ නුදුටුවෙහි දැ”යි කීය.

“සිටුතුමෙනි මම ඔබගේ දානයට සාධුකාර දුන්නේ නො වෙමි. අන්නභාර විසින් උපරිට්ඨ පසේ බුදුන්ට දුන් දානයට පැහැදී සාධුකාර දුනිමි”යි දෙවියා කී ය. එබස් අසා සුමනසිටු” මෙය කොතරම් පුදුමයක් ද මෙතෙක් දන් දුන් මට එක දවසකුදු දෙවියන් ලවා සාධුකාර දෙවන්නට නො පිළිවන් විය. මා නිසා ජීවත් වන මේ අන්නභාරට සුදුසු ප්‍රතිග්‍රාහකයකු ලැබීමෙන් එක පිණ්ඩපාත දානයකින් ම දෙවියන් ලවා සාධුකාර දෙවිය හැකි විය. දෙවියන් පවා සාධුකාර දුන් ඒ දානය එසේ මෙසේ එකක් නො විය හැකි ය. එය මහ පිනක් විය යුතු ය. සුදුසු දෙයක් කොට අන්නභාර සතුටු කරවා ඒ දානයත් මා අයත් කරගත යුතුය”යි සිතුවේ ය.

“අහෝ තණ්හාවක සැටි” අපමණ සම්පත් ඇතුව සිට බොහෝ පින් කරමින් සිට ඒවා මදි වි දුප්පතාගේ පිනත් අයත් කර ගන්නට මේ සිටුතුමා සිතී ය.

ඉක්බිති සිටුතුමා අන්නභාර ගෙන්වා, “අද නුඹ යම් කිසිවකුට දානයක් දුන්නෙහි දැ”යි ඇසීය.

“මම අද උපරිට්ඨ පසේබුදුන් වහන්සේට මාගේ බත් පංගුව දුනිමි”යි කී ය. පින් මිලයට ගැනීමේ විකිණීමේ සිරිතක් පෙර ලොව පැවතිණ. දැනුදු ඇතැම් පෙදෙස්වල ඒ සිරිත පවතිනවා විය හැකි ය. ඒ සිරිත පරිදි සිටුතුමා “නුඹ දුන් දානය කහවණුවක් ගෙන මට දෙව“යි කී ය. අන්නභාර “නොදෙමි”යි කීය. සිටුතුමා ක්‍රමයෙන් මිල වැඩි කොට ඉල්ලීය. දහසකට ද නො දෙන බව අන්නභාර කී ය. එසේ නම් දහසක් ගෙන මට පින් දෙව“යි සිටුතුමා කී ය. “එසේ කිරීමත් සුදුසු ද නුසුදුසු ද කියා මම නො දනිමි. පසේ බුදුන් වහන්සේගෙන් අසා, එසේ කිරීම සුදුසු නම් පින් දෙමි”යි සිතා ඔහු පසේ බුදුන් වහන්සේ වෙත ගොස් වැඳ

“ස්වාමීනි සුමනසිටු, නුඹ වහන්සේට දුන් දානයේ පින් දහසක් දී මගෙන් ඉල්ලයි. ඔහුට පින් දෙම් ද නො දෙම් දැ”යි විචාළේ ය. එකල්හි පසේබුදුන් වහන්සේ වදාරන සෙක්

“පින්වත, නුඹට උපමාවක් කියමි, ගෙවල් සියයක් ඇති ගමෙක එක් ගෙයක පහනක් දැල්වෙයි, සෙස්සෝ තෙල් ගැල්වූ පහන්තිර ගෙනවුත් ඒ පහනෙන් දල්වා ගෙන යති, කිමෙක් ද? එයින් පළමු පහනේ එළිය ඇතිවේ ද, නැතිවේ ද?” යි වදාළ සේක. අන්නභාර

“හිමියෙනි පළමු පහනේ එළිය තුබුණාටත් වඩා වැඩිවේය”යි කීය. “පින්වත එමෙන් ම කැඳ සැන්දක් වුව ද දී එයින් ලැබෙන පින අනුන්ට දුනහොත් එයින් තමාගේ පින වැඩෙන්නේ ය. නුඹ එක පිණ්ඩපාතයක් දුන්නෙහි ය, සුමන සිටුට පින් දෙන කල්හි පිණ්ඩපාත දාන දෙකක් වන්නේ ය. ඉන් එකක් සුමන සිටුට හිමි වේ. අනික නුඹට ම හිමි වේ.

හෙතෙමේ පසේ බුදුන් වැඳ සුමන සිටු වෙත ගොස් “පිණ්ඩපාත දානයේ පින් ගනු මැනව“යි කීය. “එසේ නම් කහවණු දහස ගන්න”යි සුමන සිටු කීය. “මම පිණ්ඩපාතය නො විකුණමි, ඔබට සැදැහැයෙන් පින් දෙමි”යි අන්නභාර කී ය.

“පින්වත, නුඹ මට සැදැහැයෙන් පින් දෙව, මම ඔබගේ ගුණයට පූජාවක් වශයෙන් දහසක් දෙමි, එය ගනු මැනව“යි සුමන සිටු කීය. “එසේ වේවා” කියා අන්නභාර කහවණු දහස පිළිගත්තේ ය. ඉක්බිති සුමන සිටු

“පින්වත, දැන් නුඹට මහන්සි වී වැඩ කරන්නට වුවමනා නැත. වීදියේ ගෙයක් සාදා ගෙන සුව සේ වාසය කරව, එසේ වෙසෙන කල්හි නුඹට යම් අඩුවක් වුවහොත් එය මගෙන් ගනුව“යි කී ය.

සුමන සිටු රාජ සේවයට ද යන්නේ ය. රජගෙට යන කල්හි වෙනදා සුමන සිටු අන්නභාර කැඳවා ගෙන නො යන මුත් එදින අන්නභාර ද කැඳවාගෙන රජු වෙත ගියේ ය. අන්නභාරගේ පින් බලය නිසා එදා රජු සිටු දෙස නොබලා අන්නභාර දෙස ම බැලුවේ ය. “දේවයන් වහන්ස, නුඹ වහන්සේ මේ මිනිසා දෙස මෙතරම් බලන්නේ කිම්දැ”යි සිටු කීය, “මොහු පෙර දැක නැති බැවිනැ”යි රජු කීය. “දේවයන් වහන්ස, මේ මිනිසා බැලිය යුත්තෙක් ම ය”යි සිටු කීය. “බැලීමට තරම් වන මොහුගේ ගුණය කවරේදැ”යි රජු කීය.

“මහ රජාණෙනි, මොහු අද තමාගේ බත් පංගුව තමා නොකා උපරිට්ඨ පසේ බුදුන්ට දුන් බැවින් මාගෙන් කහවණු දහසක් පූජා ලැබීය”යි සිටු කීය. “මොහුගේ නම කුමක්ද?” මොහුගේ නම අන්නභාරය”යි සිටු කීය. “නුඹේ අතින් මොහු දහසක් ලද නිසා මාගෙන් ද දහසක් ලැබීමට නිසි ය. මම ද මොහුට පූජාවක් කරමි”යි කියා රජු ද ඔහුට දහසක් දිණ.

ඉක්බිති රජතුමා ඔහුට ගෙයක් සාදා දීමට නියම කෙළෙන් මිනිස්සු ඔහු උදෙසා බිමක් ශුද්ධ කරන්නට පටන් ගත්හ. එහි උදළු පහර ගසන ගසන තැන නිධන් සැළි විය. ඒ බව රජුට දැන් වූ කල්හි රජතුමා ඒ නිධන් සාරා ගොඩ ගන්නට අණ කළේ ය. සාරාත් සාරාත් නිධාන පොළොවෙහි ගැලෙන්නට විය. එකකුදු මතු කළ නොහැකි විය. ඒ බව රජුට දැන් වූ කල්හි රජතුමා

“එසේ නම් අන්නභාරගේ වචනයෙන් සාරව්” යි කීය. අන්නභාරගේ වචනයෙන් ය” කියා සාරන්නට පටන් ගත් කල්හි උදලු පහර දෙන දෙන තැන හතු පිපෙන්නාක් මෙන් නිධන් මතුවන්නට විය. ඒ ධන රාශිය ගෙනැවිත් රජු සමීපයේ ගොඩ ගැසූහ. රජතුමා ඇමැතියන් රැස් කරවා “මේ නුවර මෙතෙක් ධනය අනිකකුට ඇති දැ”යි විචාළේ ය. “නැත දේවයන් වහන්සයැ”යි ඇමැතියෝ කීහ. එසේ නම් “අන්නභාර මේ නුවර ධනසිටු වේවා”යි කියා ඔහුට රජතුමා සිටු තනතුර දුන්නේ ය. ඔහු එතැන් පටන් නොයෙක් පින්කම් කොට මරණින් මතු දෙව්ලොව උපන්නේ ය.

යමෙක් තමාගේ ආහාරය තමා අනුභව නො කොට නිතර අනුන්ට දෙයි නම් එය මහ ගුණයෙකි. දුෂ්කර වැඩකි. මුළු ජීවිත කාලයට ම එක් වරක් තමාගේ බත් පංගුව දීම ලොකු වැඩක් නො වේ. එක බත් වේලක් දීම මහ දෙයක් කෙළේ ය කියා පූජා සත්කාර කිරීමට තනතුරු දීමට තරම් කරුණක් නො වේ. සිටුතුමාගේ හා රජතුමාගේ සිත් අන්නභාරට පූජා සත්කාර කිරීමට තනතුරු දීමට නැමුණේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනැමීමෙන් වූ කුසල බලය නිසා ය. ඔහුට ඒ පිණ්ඩපාත, දානය ඉහාත්මයේ දී ම විපාක දෙන කුසලයක් වූයේ පසේ බුදුන් වහන්සේගේ ගුණ සම්පත්තිය නිසා ය. සාමාන්‍ය පුද්ගලයන්ට එබඳු පිණ්ඩපාත දානයන් දහස්වර දසදහස්වර දුන ද ඒවායින් ඉහාත්මයේ විපාකයක් නො ලැබේ.

(රේරුකානේ චන්දවිමල මහ නා හිමිපාණන්ගේ සුවිසි මහ ගුණ ග්‍රන්ථයෙනි)