Print this Article


විනය ශාසනයේ ආයුෂය යි

විනය ශාසනයේ ආයුෂය යි

විනය යනු හික්මීම යි. ගිහි පැවිදි කා හටත් විනය නීති රීති අවශ්‍ය වේ. සමාජයක ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි යනුවෙන් කොටස් දෙකක් පවතී. එයද,නැවත භික්‍ෂු, භික්‍ෂුණී හා උපාසක, උපාසිකා වශයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇත.

එය බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිස වශයෙන් හඳුන්වා ඇත. මේ කුමන ආකාරයකින් බෙදුවද රටක, සමාජයක පැවැත්ම උදෙසා සෘඡුවම බලපාන මාතෘකාවක් ලෙස විනය හැඳීන්වීමට පුළුවන. හික්මීම, සංවරකම, ශීලාචාරකම ආදී වචනවලින් ද විනය පිළිබඳ අර්ථවත් වේ. ගිහි විනය පිළිබඳ කතා කිරීමේ දී, පැවිදි විනය පිළිබඳ මදක් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ උදෙසා පනවන ලද විනය ප්‍රාතිමෝක්‍ෂය තුළ ඇතුළත් වන්නේ පැවිදි පක්ෂයට අදාළ ශික්ෂා පදයි. එය බුදු සසුනේ චිර පැවැත්මයි.

“විනයෝ නාම සාසනස්ස ආයු” විනය ශාසනයේ ආයුෂ යි. බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් ම ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කළහ. “සබ්බ පාපස්ස අකරණං” යනුවෙන් පැහැදිලි වන්නේ එය යි. එසේ අවස්ථානුකූලව අවවාද අනුශාසනා කිරීම තුළින් භික්‍ෂු විනය ආරක්‍ෂා කර ගැනීමට පුළුවන් විය.

නමුදු අවුරුදු 20ක් ඉක්මවීමත් සමඟ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ප්‍රමාණවත් නොවීය. එනිසා බුදුරජාණන් වහන්සේට විනය ශික්‍ෂා පද පැනවීමට සිදුවිය. එය ආනා ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් භික්‍ෂු, භික්‍ෂුණීන් උදෙසා දේශනා කරන ලද්දකි.

එනම් පැවිදි පක්‍ෂය උදෙසා ඔවුන්ගේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා කළ දේශනාවකි. භික්‍ෂූන් වහන්සේ උදෙසා පනවන ලද එම විනය ශික්‍ෂා පද වර්තමානය තෙක්ම බුදු සසුන ඉදිරියට පැවතීමට හේතු විය. අද වුව ද බුදු සසුන ආරක්ෂා වී ඇත්තේ එම ශික්ෂා පද භික්ෂූන් වහන්සේ ආරක්ෂා කිරීම තුළිනි. පැවිදි පක්‍ෂයේ බුදුරජාණන් වහන්සේ උදෙසා දේශනා කළ විනය නීති රීති සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල්හි 220කි. පැවිදි පක්ෂයේ භික්ෂුණීන් වහන්සේ උදෙසා දේශනා කළ විනය නීති රීති සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල්හි 304කි.

පළමුව පැවිදි පක්ෂ උදෙසා විනය ශික්ෂා පද දේශනා කළ බුදුරදුන් දෙවනුව ගිහි පක්ෂය උදෙසා ද විනය පිළිබඳ දේශනා කළහ. ඒවා බොහෝ දුරට සමාජයක් සදාචාර සම්පන්නව ඉදිරියට පවත්වා ගෙන යාම උදෙසා යුතුකම් හා වගකීම් මත තහවුරු කොට තිබීම ඉතා වැදගත්වන්නකි.

වෙන් වෙන් වශයෙන් ගෙන එක් කොටසක් පමණක් විනය ගරුකවීම ප්‍රමාණවත් නොවන්නකි. පැවිදි පක්ෂය ද, ගිහි පක්ෂය ද විනය ගරුක විය යුතුය. මෙහිදී අප සාකච්ජාවට ලක් කරන්නේ ගිහි සමාජයේ විනය නොහොත් හික්මීම සම්බන්ධව දේශනා කළ කරුණු සමුදායක් පිළිබඳ ය. සිඟාලෝවාද සුත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර ගිහි සමාජයේ විනය සම්බන්ධව වැදගත් ඒවා ය.

ඉහත දක්වන ලද විනය ශික්ෂා භික්ෂු - භික්ෂුණී දෙපක්ෂයට ම ඉතා වැදගත් වන්නකි. එයට හේතුව බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ ශාසනයේ සජීවී ඒකකය වන්නේ පැවිදි පක්ෂය යි. මුල් කාලයටත් වඩා වර්තමානය හා අනාගත කාලය සඳහා බුදු සසුන තරමක් දුරට හෝ රැකබලා ගැනීමට එම විනය ශික්ෂා පද ඉතා වැදගත් වේ. ශාසනයට ඇතුළත් වන්නන් ගත් කල්හි විවිධ අය වන්නාහ. ඒ සෑම කෙනකුට ම ස්වයං පාලනයක් සිදු කර ගැනීමට අපහසු බැවින් විනය ශික්ෂා පද පිළිබඳ අවධානය යොමු කීරීම ඉතා වැදගත් වේ. ඒ විනය ශික්ෂා පද පිළිබඳ අවධානය යොමු කරවීමෙන් සිතින්, කයින්, වචනයෙන් තරමක් දුරට හෝ පාලනය වීමට සිතනවාට කිසිදු සැකයක් නැත. හිරි ඔතප් නම් වූ ලෝක පාලක ධර්ම ඇතිකොටගෙන මේ බුදු සසුන තුළ හික්මීමට උත්සාහවත් වෙති.

අනාගතයේ දී අන්තර්ධාන පහක් සිදු වනු ඇත. එනම් අධීගම, ප්‍රතිපත්ති, පර්යප්ති, ලිංග, ධාතු වශයෙනි. මේ අන්තර්ධාන පහ සිදු වූ කල්හි බුදු සසුන ද අන්තර්ධාන වේ.

විශේෂයෙන් හොඳින් නොඇසීම, සකසා පාඩම් කර නො ගැනීම, සකසා සිතට නො ගැනීම, සිත්හි ධාරණය කර ගත් ධර්මය හොඳින් අභ්‍යාස නො කිරීම සහ ධාර්මිකව ජීවත් නොවීම යනාදී කරුණු හේතු කොටගෙන ශාසන අන්තර්ධානය සිදු වන ආකාරය අංගුත්තර නිකාය තුළ පැහැදිලි කොට ඇත.

ගිහි විනය හැටියට දී:නි සිඟාලෝවාද සුත්‍රය තුළින් ප්‍රකට කොට ඇත්තේ ගිහි සමාජයේ ප්‍රගමනයට හේතුවන කරුණු සමූහයකි. එහිදී බැහැර කළ යුතු පාප ක්‍රියා දාහතරක් දක්වා ඇත. එනම් සතර කර්මක්ලේස, සතර අගති, ධන විනාශමුඛ හය ආදි වශයෙනි.

එම අන්තර්ගතය හරහා සමාජයේ පැවතිය යුතු සියලු පැතිකඩ නිරූපණය වන්නාහ. ඒවා තුළින් මිනිසකුගේ ලෞකික පිරිහීමත්, ලෝකෝත්තර පිරීහිමත් සිදු වේ. එසේම මිනිසකුගේ ලෞකික දියුණුව හා ලෝකෝත්තර දියුණුව උදෙසා හේතු වන්නේ එම පිරිහීමේ කරුණුවලින් වැළකී සිටීමෙන් ය. සිඟාලෝවාද සූත්‍රය තුළ යුතුකම් හා වගකීම් පිළබඳ දේශනා කිරීමේ දී ඉහතින් මතක් කළ බැහැර කළ යුතු පාප ක්‍රියා පිළිබඳ අවධානය යොමු කිරීම ප්‍රධාන සාධකය යි. එයට හේතුව සමාජයක් ඉදිරියට ගමන් කළ යුත්තේ විනයත්, හීක්මීමත් මත බැවිනි. එසේ නොමැති වුවහොත් එම සමාජය කොතරම් භෞතික දියුණුවක් ලැබුව ද ගුණධර්ම නොමැති, පින්, පව් නො හඳුනන ගෝත්‍රික සමාජයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය.

ගිහි සමාජයේ ප්‍රගමනයට සිඟාලෝවාද සූත්‍රයේ කරුණු ඉදිරිපත් කළ ද, විනය සම්බන්ධව කතා කිරීමේ දී ශීලය ප්‍රගුණ කිරීම ඉතා වැදගත් කොට සලකා ඇත. ඒ සඳහා පංචශීලය ප්‍රධාන වශයෙන් ගිහි සමාජයට වැදගත් වේ. ඊට අමතරව අෂ්ඨාංගික ශීලය, නවාංග උපෝසථ ශීලය, දස ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය ප්‍රගුණ කිරීම ද ඉතා වැදගත් වේ.

ශීලය ප්‍රගුණ කිරීම උදෙසා වත්පිළිවෙත් පිරීම අතවශ්‍ය අංගයකි. එයට හේතුව එතුළින් තුනුරුවන් උදෙසා ගෞරවය වැඩි වී ඒ හරහා ඉන්ද්‍රියන් තුළ මනා හික්මීමක් සිදු වන බැවිනි.

වත් සම්පූර්ණ නොකරන්නේ, ශීලය සම්පූර්ණ නො කෙරේ. ශීල ශුද්ධිය නො ලබන්නේ, සිතේ සමාධිය නො ලබයි. වික්ෂිප්ත සිත් ඇත්තේ, ධර්මය නො දකී. ධර්මය නො දක්නෝ දුකින් නො මිදේ.

වත් පිළිවෙත් කිරීමෙන් තිදොරම සංවර වන බැවින් තිදොරින් සිදුවන සියලු පාප ක්‍රියා සිදු නොවීමට එය මහඟු පිටුවහලක් වන්නාහ. ඒ වගේම ගිහි විනය සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී හිරි ඔතප් දෙක ද වැදගත් වේ. සප්තාර්ය ධනය පිළිබඳ විමසීමේ දී හිරි ඔතප් දෙකත්, ආර්ය ධනයක් හැටියට දේශනා කොට ඇත. පව් කිරීමට ඇති ලජ්ජාව හිරිය යි. පව් කිරීමට ඇති බිය ඔත්තප්පය යි.

තම ශාස්තෘවරයාගේ උසස් ගුණය, තම දෙමාපියන්ගේ වැදගත්කම, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදිය තමාගේ නුවණින් ම සලකා බලා වැරැදි වැඩ කළහොත් ඒ උතුමන්ටත් තමාටත් මදිකමක් සේ සිතා කෙනකු වැරැදි වැඩවලින් මිදෙන්නේ හිරිය නොහොත් පවට ඇති ලජ්ජාව නිසා ය.

මේ ලජ්ජාව බාහිර බලපෑමක් නිසා නොව කෙනකුගේ අභ්‍යන්තරයෙන් ම පැන නඟින්නකි. පව් කිරීමට ඇති බිය ද හතරාකාරයකි. එනම්

අත්තානුවාද භය (තමා කළ පව් සිහිවීමෙන් තමාගෙන් ම දොස් නැඟී තමාට පසුතැවිලි වන්නට වේ යැයි ඇති වන බිය

පරානුවාද භය (තමාට අනුන්ගෙන් දොස් නැඟෙතැයි ඇති වන බිය

දණ්ඩ භය (වැරැදි වැඩක් කිරීමෙන් තමන්ට දඬුවම් ලබන්නට සිදුවෙතැයි ඇතිවන බිය)

දුග්ගති භය (මේ පව් කිරීමෙන් අපාගතවීමට සිදුවෙතැයි ඇතිවන බිය)

සමස්තයක් වශයෙන් ගත් කල්හි ඉහතින් සඳහන් කරන ලද කරුණු කාරණා සියල්ලක් ම ගිහි සමාජයක් විනය ගරුකව හා සදාචාර සම්පන්නව ඉදිරියට පවත්වා ගෙන යෑමට මහෝපකාරි වන්නාහ. විශේෂයෙන් ගිහි පින්වතුන් නිවසේ සමාජයේ ජීවත් වන විට ඉහත කරුණු පිළිබඳ අවධානයක් යොමු කොට සිහියෙන් යුක්තව කටයුතු කිරීම කාගේත් යහපත උදෙසා හේතු වන්නකි.

තමන්ටත්, අනුන්ටත් මෙලොවටත්, පරලොවටත් යහපත කැන්දන විනය නොහොත් හික්මීම පිළිබඳ අද වෙනදාටත් වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතුව ඇත. මේ සංකීර්ණ ලෝකයේ ජීවත්වීමේ දී පංච ඉන්ද්‍රියයන්ට හසුවන සියලු දේ ම ග්‍රහණය නො කොට ගෙන ජීවිතය අවුල් නොකොට ගෙන ජීවත් විය යුතු ය. ඒ සඳහා බුදුරදුන් දේශනා කළ එම විනය සම්බන්ධ කරුණු කාරණා පිළිබඳ තව තවත් අධ්‍යනය කොට දෙමාපිය - දූ දරු, ස්වාමි - භාර්යා, ගුරු- සිසු ,ස්වාමි - සේවක, ගිහි පැවිදි සම්බන්ධතාවයක් නිරවුල්ව හා ශක්තිමත්ව පවත්වාගෙන යෑමට සියලු දෙනා අධිෂ්ඨානය කර ගැනීම ඉතා වැදගත් වනු ඇත.