Print this Article


පහන් සිතක කවි

බුදු ගුණ රැව් දේ

බුදුගුණ පිරුණ හදවත තුළ කිලුට නැත
ඒ හද දැහැමි සිතිවිලිවල වෙළෙනු ඇත
මේ වෙනසට ම මුල කිමදැයි සිතෙනු ඇත
පින්වත දුටුවේ ද මුකුලිත වන දියත

සුදුවත දරන් උවසුන් එක පෙළක් සැදී
ගාට ගාටමින් ගොස් සෑ රදුට වඳී
හද සැනසේ ය නෙත් සිත් වෙනතකට නොදී
නේරංජනාවක් වැනි සිත නිසලව ම හිදී

බුදු ගුණ රැව් දේය මද සුළඟට මුසුව
සුපහන් වදන් ම ය කා අතරෙත් කසුකුසුව
තෙමඟුල් දිනය උතුමන් කෙලෙසුන් නැසුව
සිහිපත් කරයි බෝපත් සුළඟට මුසුව


අමා නිවන් ලැබුමට

මේ කය පෙණ පිඬ මිරිඟුව වැන්නේ
සිතන තැනැත්තා කෙලෙස් සිඳින්නේ
බන්ධන මල් දම් සිඳ බිඳ ලන්නේ
අමා නිවන් මඟ පසක් කරන්නේ


බුදු හිමි දැක්කෙමි

අමාමෑණී බුදු හිමියනි
ඔබ දෙසු දම් කඳින්
අබැටක් සා පමණ
දැන ගත්තෙමි
දැක ගත්තෙමි
ඉවසීමෙන් විමසීමෙන්
ශ්‍රද්ධාවෙන් බුද්ධියෙන්
එළඹ සිටි සිහියෙන්

තාවකාලිකයි අස්ථිරයි
සියලු දේ මෙදියත
වෙනස් වෙයි අසුරු සැණක් පාසා
අල්ලා බදා නොගනිමි
ලොවේ කිසිවෙක් කිසිවක්


සම්බුදු තෙමඟුල

ඉපදී බුදුව පිරිනිවනට වැඩි වෙසඟේ
බොදු දන යා යුතු ය හිමි දෙසු මඟ සුමගේ
දූ දරුවනේ නොයනු මැනවි නොමඟේ
බලනු මැනවි සෑසි රජු වැඩිය රඟේ

සම්බුදු සසුන තව දිගුකල් වැජඹේවා
ගෞතම සමිඳු අප හට මිණි පහනක් වේවා
නිර්මල දහම ලොව දස අත පැතිරේවා
නිවන් දකින තුරු අප සුගතියෙ ඉපදේවා

තිලොවට තිලක සිරි සම්බුදු තථාගත
අපහට දෙසා ඇත අමා මහ නිවන් මඟ
ලුම්බිණියේ උපන් සුදොවුන් මහමායා පුත
සසරේ දියුණු කර දම් දෙසුවා ය සිත


අලුත් සඳක් පෑයුවා - මහමෙව්නා උයනේ

අලුත් සඳක් පෑයුවා මහමෙව්නා උයනේ
සඳ හිරු සේ පවතීවා පින් ඇති ලක් දෙරණේ
විරු දන ජන රැකදේවා සෙත සලසා පෙමිනේ
මලින් ගඳින් පුද දේවා සඳ හිරු සෑ රජුනේ

සඳ හිරු සමිඳුන් සෙවණේ
සුදු වැලි ඇතිරූ මළුවේ
දෙදණ නමා වැඳ වැටුණේ
පතමින් හිමි සඳු සරණේ

මහ දාගැබ් සිප හමනා
සුළඟේ දැවටී ඇදෙනා
රට රැක සුර විරු සුවඳයි
වැලිතල මළුවේ දැනෙනා

සුවහස් දන මන සනහා
දිවිදුන් විරු දන පිදෙනා
සඳ හිරු සෑ රජු පුදනා
වන මල් විලසින් පිදෙනා


ජීවිතය ...

චුති චිත්තය
ඉවත්ව ගොස්
ප්‍රතිසන්ධිය ලබා
 කලලයක
නැවත පටන්ගත් ජීවිතය
ඒ මම ද?
නැත
මම නොවෙමි ද?
නැත
නචසෝ නච අඤ්ඤෝ
සමිඳු දෙසූ වග
ඇසුනි දෙසවනට
දම් දෙසුමක දී
කුමක්ද?
මේ ජීවිතය...
සොයා යමු


මිනිසත් බවක් ලැබුමට

සසරේ කරන ලද පින් පව් අකට යුතු
අනුව ම සිදුවේ ය කෙනකුගෙ බවය මතු
බුදු බණ අනුව පැහැදිලි කළ යුතු ය තතු
මිනිසත් බවක් ලැබුමට පින තිබිය යුතු


විපාකය

නිමල සිතක උපදින සිතිවිලි නිර්මලය
එවන් සිතිවිලි අප හැර නොයනා සෙවනැල්ලක් බඳුය
අයහපත් චේතනා උපදින සිත පිළිකුල් ය
ඒ සිතිවිලි දෙන විපාකය ගොනු පසු පස යන ගැල මෙන් ය

පාණදුර අරුක්ගොඩ
ඩබ්.පී. ඉන්ද්‍රානි


සයුර හා සසර

ඈත රළ පෙළ
බිඳෙන හෝ හඬ
වසා නෙතු පියන්
නොසෙල් වී වෙරළ වැලි තල මත

නතර වී සක්මන
මදක් යොමු කොට සවන
එක් තැන් කොට
විසිරුණු දහසකුත් සිතිවිලි

අත් හළෙමි එකින් එක
නැත මගේ කිව හැකි කිසිත්
දැනුණි සුවයක් සදාකාලික
සයුර වන් කෙලෙස් පහව යන බව දැන


බුදුගුණ

කෙලෙස්් බරින් තෙරපී බව කතරෙ ගැලී
මිනිසා දුවන විට ආශාවෙහි ම වෙළී
නවතිනු කියා සතහට දුන්න සැනසිලී
දසබල පියේ ඔබ හට මහද ගඳ කිළී

ඉපදී රජ ගෙයක සම්පත් පිරුණු සැම
ඒ යස ඉසුරු කොට පාදූලියට සම
දුක් විඳ සොයා ගිය මෙ බව කතරෙ නිම
හිමියනි ඔබේ සිරිපා යුග වඳිමි මම


පැහැදීම

බින්තැන්නේ වැව් සිසිලස ලබා වෙහෙස නිවාගන්නේ
සමන් සුරිඳුගේ පිහිට පතාලා වරම් ලබා ගන්නේ
මියුගුණ සෑයේ සෙවණේ ඉඳලා නෙත් සනසා ගන්නේ
බුදුබණ අසලා මහ බෝ වැඳලා සිත් පහදා ගන්නේ