Print this Article


උත්සාහයේ වටිනාකම

උත්සාහයේ වටිනාකම

සැදැහැයෙන් පැවිදි වී මහණ දම් පිරූ සංඝයා වහන්සේ දෙනමක් සැවැත්නුවර වාසය කළහ.මේ දෙදෙනා වහන්සේ ඉතාම හොඳ මිතුරෝ ය. දිනක් මේ භික්ෂු දෙනම බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සිත වැඩීමට සුදුසු භාවනා පිළිවෙත විමසා සිටියහ.

බුදුරදුන් වෙතින් කමටහන් ලබා ගත් දෙදෙනා වහන්සේ වස් කාලය පුරා භාවනානුයෝගීව වැඩ වාසය කිරීම සඳහා ඈත කැලෑවක පිහිටි පන්සලකට වැඩම කළහ.

මේ දෙනමගෙන් එක් භික්ෂු නමක් එහි ගොසින් ආරණ්‍යයට වැඩි අරමුණ අමතකව වියළී ගිය දඬුපත්, කොළ ආදිය එකතු කර ගිනි අවුළුවා වන අරණ බොහෝ ශීත යැයි පවසා බොහෝ වේලාවක් ගිනිතපියි. පසුව පන්සලේ වැඩ වාසය කරන පොඩි හාමුදුරුවරුන් සමඟ ආගිය තොරතුරු නිසරු දෙතිස් කතා යනාදිය පවසමින් කාලය ගෙවති. වනයට වැඩම කළේ භාවනා වඩමින් මගඵල දොර විවර කර ගැනීමට යැයි අමතක වූ ඒ භික්ෂූන් වහන්සේ ගිනි තපිමින් හා සාමණේර හිමිවරුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කල් හරිති.

මේ හාමුදුරුවන් සමඟ වැඩි අනෙක් හාමුදුරුවෝ බුදුරදුන් වෙතින් ලබා ගත් කමටහනේ සිත යෙදා බලවත් උත්සාහයෙන්, වීර්යයෙන් යුතුව භාවනා වඩා රහත්ඵල අවබෝධයට සමත්වූහ.

තම යහළු භික්ෂුවගේ කුසීත අලස ගති ද සම්ප්‍රප්පඵලාපයෙන් කාලය ගෙවෙන හැටි ද දැක අනුකම්පාවෙන් යුතුව භාවනාවේ පමා නොවන්නැයි ඒ භික්ෂුවට කොතෙක් අවවාද කළ ද ඒ කිසිවක් නොඇසූ සේ සිටි අලස භික්ෂුව තමන් වහන්සේ තුළ වූ කම්මැලිකම් නිසාම කිසිදු ධ්‍යාන සමාපත්තියකට, මඟපල අවබෝධයකට නො පැමිණියේ ය.

එහෙත් දෙදෙනා වහන්සේ පෙර සේම මිතුදමින් යුතුව සමගියෙන් කල්ගත කළහ. වස්සමය අවසානයේ දී මේ දෙනම දෙව්රම් වෙහෙරට වැඩියහ.

බුදුරදුහු කමටහන් ලබා වනයට වැඩි මේ භික්ෂු දෙනම දැක ආගිය තොරතුරු, සුවදුක් විමසා එක් භික්ෂුවක් උත්සාහයෙන් යුතුව වෙර වීරිය වඩා භාවනාවේ නියැළීමෙන් නිවන් අවබෝධය ලද බවත්, අනෙක් භික්ෂුව අලසකමින් පමාවී භාවනාවේ සිත නොයොදවා නිසරු කතාවෙන් හා කම්මැලිකමට ගිනි තැපීමෙන් කාලය නැති කර ගෙන අලසව කල් යවා නිවන් මඟ වසාගත් බවත් දැක කුසීතව කම්මැලි වුවත් ජවය නැති, කොර නොවූ අශ්වයකු සේ පල නොලබා පරදින බව ද නොපමා වූ නැණවත් තැනැත්තා ජවසම්පන්න අශ්වයකු සේ අන්‍යයන් පසුකර මගඵල ලබා නිවන් අවබෝධ කරන බවත් වදාළ සේක.

මෙලොව පරලොව ජයගෙන දෙලොව දිනීමට උත්සාහයේ ඇති වැදගත්කම මේ කතා පුවතින් ද මැනවින් පැහැදිලි වෙයි.