Print this Article


ධර්ම ශ්‍රවණයේ දී මොහොතකදු සාධුකාර දුන්නත් අනුසස් අපමණයි

ධර්ම ශ්‍රවණයේ දී මොහොතකදු සාධුකාර දුන්නත් අනුසස් අපමණයි

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ බොහෝ පින් කරන සුන්දර තරුණයෙක් ඒ නුවර වාසය කළා. ඔහුගේ කායික පෙනුම තරුණියන්ගේ සිත් ඇදගත්තා. වචනය ඉතා මිහිරියි. මේ නිසා ම ඔවුන්ගේ යෙහෙළියන් හා මිතුරන් වෙතින් ඔහුට නිතර විවාහ යෝජනා ලැබෙන්න පටන් ගත්තා.

දිනක් එක් යෝජනාවකට ඔහු කැමැත්ත පළ කළා. ඒ තරුණිය මුලු සැවැත්නුවර ම සිටි ලස්සන ම තරුණියයි. ඇය උගත්කමින්, කුලගොත්වලින්, වස්තු සම්පත්වලින් සහ යහපත් ගුණ ධර්මවලින් පිරී තිබුණා.

දෙදෙනාගේ විවාහ යෝජනාව මව්පියන්ගේ මැදිහත්වීම මත සිදු කළා. විශාල මන්දිරයක පදිංචි වී දෙදෙනා ආදරයෙන් සහ සතුටින් කාලය ගත කරන්න පටන් ගත්තා.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල කීර්ති රාවය සැවැත්නුවර පුරා නිතර පැතිරෙමින් තිබුණා. බොහෝ පිරිස් උන්වහන්සේ වෙත එළඹ දහම් ශ්‍රවණය කරන බව තරුණයාටත් දැනගන්න ලැබුණා. බිරිඳත් ‌කැඳවාගෙන ධර්මය ඇසීමට යන්න සිත් වුණා. එහෙත් බිරිඳ නම් එයට කැමැති වුණේ නෑ. කෙසේ හෝ සැමියා කෙරෙහි අනුකම්පාවෙන් දිනක් බණ ඇසීමට විහාරයට ගියා. දෙදෙනාම ධර්මය ශ්‍රවණය කළා.

තරුණයාගේ සිතට පුදුම ශාන්තියක්, සතුටක් ගෙන දුන්නා. දෙවැනි දිනත් ධර්මය ඇසීමට ගියා. මෙසේ ක්‍රමයෙන් දින, සති, මාස ගෙවමින් කාලය ගත වුණා. තරුණයාගේ ධර්ම ඥානය වර්ධනය වුණා. ගිහි ජීවිතය, කම්සැප, වස්තු සම්පත් සියල්ල එපා වුණා. ඒවාට ආශාව නැති වුණා.

දිනක් බිරිඳ අමතා සොඳුර, මේ ජීවිතය දුක්ඛිතයි, සැපයක් කියා දෙයක් නෑ. සැප යැයි සිතන දේවල තියෙන්නේ විදුලි සෙනක් වැනි ඉතාම කෙටි වින්දනයක් විතරයි. ඒ නිසා මේ දුක්ඛිත ජීවිතයෙන් ඉක්මනින්ම මිදිය යුතුයි. අපි දෙන්නාත් පැවිදි වෙමු’යි යෝජනා කළා. එහෙත් බිරිඳ එයට කැමැති වුණේ නෑ.

තරුණයා පැවිදි වීමට අවසර ඉල්ලා සිටියා. එයටත් ඇය අකැමැති වුණා. තරුණයාගේ පැවිදිවීමේ සිතිවිල්ලෙහි ද වෙනසක් වුණේ ම නෑ. නිතර නිතර අවසර ඉල්ලුවා. ඒ නිසා තරුණයාගේ සතුට වෙනුවෙන් පැවිදිවීමට ඇය අවසර ලබා දුන්නා. සතුටින් පිරී ඉතිරී ගිය තරුණයා එදිනම එක්තරා පිණ්ඩපාතික තෙරුන් වහන්සේ නමක් වෙත එළැඹ පැවිදි බිමට පත් වුණා. භාවනා කමටහන් ගෙන භාවනා කටයුතු දිගටම කරගෙන යන්න පටන් ගත්තා.

සැවැත් නුවරෙහි ම සිටි ලස්සනම තරුණියගේ ස්වාමි පුරුෂයා පැවිදි වුණු බවත්, ඇය තනි වුණ බවත් යන පුවත ඉක්මනින් නුවර පුරා පැතිර ගියා. පසේනදී කොසොල් රජතුමාටත් මේ ආරංචිය දැන ගන්න ලැබුණා.

රජතුමා මෙහෙම කල්පනා කළා. “සැමියා නැති බිරිඳ අයිති රටේ රජතුමාට යි, ඇය රූපයෙන් ද අගතැන්පත්. එබැවින් ඇය මාගේ අන්තඞපුරයට ගෙන ආ යුතුයි සිතා රාජ පුරුෂයන් යවා ගෙන්වා ගත්තා.

දිනක් රජතුමා අන්තඞපුරයට පිවිස බිරින්දෑවරු සතුටු කිරීමට මානෙල් මල බැගින් ලබා දුන්නා. ස්වාමි පුරුෂයා පැවිදි බිමට පත් නිසා අන්තඞපුරයට පැමිණි බිරිඳට රජතුමා වෙතින් මහනෙල් මල් දෙකක් ම හිමි වී තිබුණා. ඇය ඒවායෙහි සුවඳ බල බලා සිපගනිමින් පසෙකට වී හඬන්න පටන් ගත්තා. රජතුමා ඇගේ හැඬීම අසා ඇය තමා සමීපයට ගෙන්වා එයට හේතුව කුමක් දැයි ප්‍රශ්න කළා. එවිට ඇය රජතුමා අමතමින්

“ස්වාමිනි, මාගේ සැමියාගේ මුවින් විහිදෙන සුවඳ මානෙල් මල් සුවඳ වගෙයි. ඔහු මතක් වී ඇඬුණායි කියා සිටියා. රජතුමා මෙය කොහෙත් ම විශ්වාස කළේ නෑ. ඒ නිසා නැවත නැවතත් කරුණු විමසා සිටියා. ඒ හැම අවස්ථාවක දී ම ඇය කියා සිටියේ තම සැමියාගේ මුවෙන් හමන සුවඳ මහනෙල් මල් සුවඳට සමාන බැවින් ඔහු සිහිපත් වී ඇඬූ බවයි.

මේ නිසාම රජතුමා ඒ ගැන සොයා විමසා බැලීමට තීරණය කළා. පසුදා උදෑසනම ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පසුදින රාජ මාලිගයේ දානයට වඩින ලෙස ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේත් ආරාධනාව පිළිගෙන පසු දින රජතුමාගේ මාලිගයට වැඩම කළා.

එදින රජතුමා මාලිගයේ තිබුණ සුවඳ විලවුන් සියල්ලම මාලිගයෙන් ඉවත් කළා. සුවඳ හමන්නේ යැයි සලකන කිසිදු දෙයක් තියා ගැනීම තහනම් කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වැඩම කොට දානය වළඳා අවසන් වුණා.

ඒ සියල්ල අවසානයේ දී මහනෙල් මල් දෙකක් හිමි වුණු එම බිරිඳ අමතා තමන්ගේ පුරාණ සැමියා කවර භික්ෂුවක් දැයි විමසා ‌දැනගත්තා. බුදුරජාණන් වහන්සේ වෙත එළඹ

“ස්වාමිනි, මාගේ එක් ආශාවක් අද දිනට යෙදී තිබෙනවා. එය ඉටු කරදෙන සේක්වායි පවසමින් අදාළ භික්ෂුව පෙන්වා උන්වහන්සේ වෙතින් අනුමෝදනා බණ ඇසීමට කැමැති බවත්, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සෙසු සංඝයා වහන්සේ විහාරයට වැඩම කරන ලෙසත් පවසමින් තම ඉල්ලීම කියා සිටියා.

බුදුරජාණන් වහන්සේත් රජතුමාගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන් ම ඉටු කිරීමට අවශ්‍ය කටයුතු සකසා දුන්නා. රජතුමා අදාළ භික්ෂුන් වහන්සේ වෙත එළඹ “ස්වාමිනි, අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන්න” යි. ආරාධනා කළා.

ඒ භික්ෂුව ධර්ම දේශනාවට මුව විවර කරද්දීම ධර්ම ශ්‍රවණයට සකසා තිබුණු ශාලාවේ පටන් ක්‍රමයෙන් රාජ මාලිගය ම මහනෙල් මල් සුවඳීන් පිරී ඉතිරී යන්න පටන් ගත්තා. රජතුමාට අදහා ගන්න බැරි වුණා. සෙසු අන්තඞපුර ස්ත්‍රීන්, රාජ පුරුෂයන් සහ රාජ්‍ය නිලධාරීන් ද සෙසු ජනයා ද පුදුමයට පත් වුණා. රජතුමා තෙරුන් වහන්සේගේ ධර්ම දේශනයෙන් පසු උන්වහන්සේ විහාරයට වැඩමකරවීමට සැලැස්වූවා.

පසුව සවස් යාමයේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “ස්වාමිනි, අද දින අනුමෝදනා ධර්ම දේශනාව පැවැත් වූ තෙරුන් වහන්සේගේ මුවින් මහනෙල් මල් සුවඳ පැතිර ගියා. රාජමාලිගය ම ඒ සුවඳීන් සුවඳවත් වුණා. ස්වාමිනි, ඒ කවර පුණ්‍ය මහිමයක් නිසා ලැබූ භාග්‍යයක් දැයි විමසා සිටියා.

“රජතුමනි, ඒ භික්ෂුව පෙර ආත්මවල ධර්මය ශ්‍රවණය කරමින් ප්‍රීතියෙන් සාධුකාර දී තිබෙනවා. ඒ පින විපාක දීමක් වශයෙන් දැන් මුවින් මහනෙල් මල් සුවඳ හමනවා”යි දේශනා කළා.

ධර්ම දේශනා පවත්වන අවස්ථාවල දී, මොහොතකුදු සාධුකාර දීම් සිදු කරන්නේ නම් ඔහුට හෝ ඇයට නොයෙක් අනුසස් ලැබෙන බවත්, එයට හේතුව ධර්මය ස්වාක්ඛාතවීම බවත් පවසමින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් රජතුමාට ධර්ම කරුණු පහදා දුන්නා.