Print this Article


චේතනාව ම කර්මය වේ

චේතනාව ම කර්මය වේ

මේ ලෝකයේ සදාතනික සුවපත් බවක් ලැබූ යම් කෙනෙක් වෙත් නම් ඒ බුදු, පසේබුදු ,මහරහත් උතුමෝ ය. සසර නම් වූ මහා බිහිසුණු සාගරය තරණය කිරීමට සමත් වන්නේ ධර්මය නම් වූ නෞකාවෙන් පමණි. ධර්මය අනුව ක්‍රියාත්මක වන්නා සුගතියට පත්වීම දක්වාම සුරක්ෂිත වන්නේ ය.

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ මෙකල වැඩ සිටියහ. ඒ කාලයේ රජගහනුවර සිටු පවුලක දියණියක් බොහෝ රූපශ්‍රීයෙන් යුක්ත වූවා ය. තුරුණු වියෙහි පසු වූ, ඇය කම් සැපයෙහි ද ලොල් විය. මව්පියන් ඇය ඉතා හොඳින් ආරක්ෂා කිරීමේ අරමුණින් සිටු මැදුරෙහි උඩුමහල ඇයට ම වෙන්කර, එහි ඇයට අවශ්‍ය සියලු දේවල් සහිතව රඳවා තැබීය. මේ කාලයෙහි කුක්කුට මිත්ත නම් වූ වැදි පුරුෂයෙක් මුවන් මරා ඒ මස් කරත්තයක පටවාගෙන නගරයට විකිණීම සඳහා ගෙන යන ගමනේ සිටු මැදුර අබියස මාර්ගයේ ගමන් කළේ ය.

සිටු දියණියට උඩු මහලේ සිට මාර්ගය හොඳින් පෙනේ. මග දිගේ යන වැදි පුරුෂයා ඇගේ නෙතට හසු විය. ඒ පුරුෂයා කෙරෙහි තදබල ඇල්මක් ඇයට ඇති විය. මෙබඳු බැඳීමකට හේතු වූයේ ඒ පුද්ගලයා පෙර අත්බවෙහි ඇයගේ ස්වාමියාව සිටි බැවිනි. ඔහු කෙරේ බැඳී ගිය සිත කෙසේවත් වෙනස් කළ නොහැකි වූ තැන ඇය තම ආරක්ෂාවට සිටි සේවිකාව ද තම අදහසට නංවාගෙන තමා ඇඳ පැළඳ සිටි වටිනා ආබරණ හා සළු, පිළි උනා තබා පරණ වී ගිය වස්ත්‍රවලින් සැරසී මඟට බැස පයින්ම ගමන් කර එක්තරා ස්ථානයකට වී, වැදි පුරුෂයා ආපසු පැමිණෙන තෙක් බලා සිටියා ය. කුක්කුට මිත්ත ආපසු එනු දැක ගැල තමා පසුකර යත්ම ගැල පසුපසින් ඔහුට නොදැනෙන සේ ගමන් කළා ය. වැදිතෙම තම ගැල පසුපසින් තමා අත නොහැර එන මේ රූමත් ලලනාව ගැන විමසිලිමත්ව ගැල නවතා ඇය කවුද? කවර කාරණයක් උදෙසා ගැල පසුපසින් එන්නේ දැයි විමසීය. ඇය තමාගේ අදහස පවසා මොන තරම් දුක් විඳීමට සිදු වුවත් ඔහු සමඟ වාසය කිරීමට එන බව කීය. වැදිතෙම ඇගේ ඒම නවතාලීමට කොතෙකුත් උත්සාහ කළත් එය කළ නොහැකි විය. අවසානයේ ඇගේ මහත් ඉල්ලීම නිසා ඔහු ඇය ගැලෙහිම හිඳුවාගෙන පිටිසර කැලෑබද තිබූ තම නිවසට කැඳවාගෙන ගියේ ය.

මෙසේ වැදි පුරුෂයා සමඟ පේ‍්‍රමයෙන් වාසය කළ ඇය ඔහුගේ සුවච කීකරු භාර්යාව වූවා ය. මේ දෙදෙනාට දාව පුත්තු සත් දෙනෙක් උපන්හ. ඔවුන් නිසි වයසට පත් වූ පසු භාර්යාවන් ද සරණ පාවා දුන් අතර, මොවුහු සියලු දෙනා එකම නිවසේ විසූහ දඩයම ඔවුන්ගේ ජීවනෝපාය විය. එකල්හි ලොව බලා වදාරණ බුදුරජාණන්වහන්සේට කුක්කුට මිත්ත ප්‍රධාන එම දරු පවුල දර්ශනය විය. ඔවුන් සියලු දෙනා සෝවාන් ඵලයෙහි පිහිටන බව බුදුරජාණන් වහන්සේ දුටුවහ. වැදි තෙම කැලයේ කිහිප තැනකම මළ පුඩු, අටවා තැබීම සිරිතක් කරගෙන සිටියේය. බුදු පියාණන් මේ බව දැන ඒ මළ පුඩු කිසිවකට සතුන් හසු නොවේවායි අදිටන් කර අවසාන මළ පුඩුව තිබෙන ස්ථානයට නුදුරෙහි ගසක් මුල වැඩ සිටියේ තම සිරිපා සටහන් ද වැදි පුරුෂයාට දැක ගත හැකි ලෙස තබමිනි.

වැදි තෙම මළ පුඩු එකිනෙක පිරික්සා බලමින් කිසිම සතකු හසු නොවන, බව දැක අවසාන මල පුඩුව දෙසට යන විට පා සටහන් ද දුටුවේය. මගේ සතුන් මුදාහැරියේ මේ පා සටහන් අයත් පුද්ගලයා විය යුතු ම යි සිතා පා සටහන් අනුව ගොස් බලන විට රුකක් මුල වැඩ හුන් බුදුපියාණන් දුටුවේ, ඉමහත් කෝපයෙන් යුතුව හීය දුන්නට තබා මානාගෙන මුදාහැරීමට දුනු යොත අදින්නට සැරසුණේ ය.

බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දී ම මොහුට දුන්න ඇදගත නොහැකි වේවායි ප්‍රාර්ථනා කළ සේක. වැදි පුරුෂයා දුන්න දික් කරගත් වනම ගල් ගැසුණි. ඔහුට දැඩි පීඩාවක් ද ඇඟ පතේ ප්‍රාණය නිරුද්ධ වූවා සේ ද දැනුණි.

වැදි ගෙදර ඇත්තෝ ඉමහත් කලබලයට පත්වූහ. වෙනදා මළ පුඩු විමසා බලා ඒවාට හසුවී සිටින සතුන් වේ නම් ඒ සතුන් රැගෙන වේලාසනින් ගෙදර එන පියාණන් අද මෙතරම් ප්‍රමාද වන්නේ කිසියම් අනතුරක් වත් වුණි දැයි සිතා පුත්තු සත් දෙනාම පියාණන් සොයා පිටත්වූහ.

බුදුරජාණන් වහන්සේ දෙසට දුන්න මානා ගෙන විදගත නොහැකිව ගල්ගැසී සිටින පියාණන් ඔවුන්ට දැක ගත හැකි විය. මොවුන් ද පියා අනුගමනය කරමින් දුනු මානාගෙන විදින්නට උත්සාහ ගත් මුත් ඔවුන්ට සිද්ධ වූයේ ද පියාණන්ට සිදු වූ දේ ම ය. පුතුන්ගේ ප්‍රමාදය නොඉවසූ බිරින්දෑවරු සත් දෙන ද මාතාව ද මොවුන් සොයා එදෙසට පිටත්වූහ. දුනු මානාගෙන ගල්ගැසී සිටි අට දෙනා ඔවුන්ට දක්නට ලැබුණු අතර ඒ ඊ එල්ල වී ඇත්තේ කා දෙසට දැයි බලත් ම ඉලක්කය බුදුරජාණන් වහන්සේ බව මව සැණෙකින් හැඳින්නා ය. ඇය වහා බුදුරජාණන් වහන්සේ දෙස හැරී, දෙඅත් හිසෙහි තබා ගෙන “මගේ පියාණන්ට විදින්නට එපා”යයි මහ හඬින් කෑ ගසමින් එදෙසට දිව ගියා ය. පියාණන් යැයි ඇමතූ ආකාරයෙන් කුක්කුට මිත්ත සිතුවේ ගස මුල සිටින්නේ තම භාර්යාවගේ පියාණන් බවයි. දුනු ඊතල ඉවතලා බුදුපියාණන් ක්ෂමා කර ගන්නා හැටියට මෑණියන් තම පුතුන්ටත් ස්වාමි පුරුෂයාටත් කීවා ය. එවිට සියල්ලෝ ම බුදුරජාණන් වහන්සේට වැඳ සමාව ගත්හ.

බුදුරජාණන් වහන්සේ මේ පිරිසට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරමින් රූප, වේදනාදි ස්කන්ධ පඤ්චකය, අනිත්‍ය,දුක්ඛ, අනාත්ම වශයෙන් දකින ලෙසත්, මම, මගේ, මගේ ආත්මය යන මුළාවෙන් මිදී කටයුතු කරන හැටියටත් පැහැදිලි කළ සේක. මෑණියන් හැර ඉතිරි පහළොස් දෙනම සක්කාය දිට්ඨිය නම් වූ මහා සංයෝජන බන්ධනය බිඳ දමා මම ය මගේ ය යන දෘෂ්ටියේ නිසරු බව පිරිසිඳ දැක සෝවාන් ඵලයට පත්වූහ. ඔවුන්ගේ සංසාර ගමන ආත්ම හතකට සීමා විය. පංච උපාධානස්කන්ධයේ යථාර්ථය දැනගෙන භව දුකින් මිදීමේ ස්ථිරසාර පිවිසුමට පත් වීමේ භාග්‍යය මොවුන් ලබා ගත්තේ පෙර පින් බලයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට පාත්‍ර වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

තමන් වහන්සේගේ කාර්යය නිමවා විහාරස්ථානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හිමියෝ පාන්දරම ඔබ වහන්සේ කුමක් අරභයා වැඩි සේක් දැයි විමසූහ. ආනන්ද හිමියන්ට සියලු තතු පැවසීම බුදුරජාණන් වහන්සේගේ සමාන්‍ය සිරිත වූ නිසා ආනන්ද හිමියන්ට සමස්ත ප්‍රවෘත්තිය ම දන්වා සිටි සේක.

දම්සභා මණ්ඩපයෙහි රැස්ව සිටි මහා සංඝයා වහන්සේ වෙත ද පුවත සැල විය. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර භික්ෂූන් කතා කරමින් සිටි කරුණ විමසා වදාළ විට බුදුරජාණන් වහන්සේ පාන්දරින් වැඩම කළ ගමන පිළිබඳ කතාබහ කරමින් සිටි බව භික්ෂූහු පැවසූහ. සංඝයා වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වැඩිදුරටත් විමසා සිටියේ ඒ මාතාව පමණක් සෝවාන් ඵලයෙහි නොපිහිටියේ කවර හෙයින්ද යන්නයි. ඇය සෝවාන් ඵලයට පත් වූයේ ඇගේ ළමා වයසේදී ම යැයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැවසූහ.

එසේ සෝතාපන්න වූවකු නම් පාප ක්‍රියාවල යෙදෙන වැදි පුරුෂයකුගේ භාර්යා තනතුරට පත්වූයේ කවර හෙයින් දැයි අනතුරුව භික්ෂූහු ප්‍රශ්න කළෝ ය. සතුන් මැරීම වැනි පාප කර්මවලට ඇය උදව් දුන්නා නොවේ. ඇය අතින් ඉටු වූයේ සැමියාට අවශ්‍ය දේ සපයා දීම පමණි. උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය හා එය වැරැදි දැක්මක් විතරක් බව ඇය අවබෝධ කර අවසාන ය. ඒ නිසා ආර්ය ශ්‍රාවක වූ ඇය අතින් සතුන් මැරීම හෝ අඩු තරමින් ඒ සඳහා අනුබල දීමක් හෝ සිද්ධ වන්නේ නැතැයි සංඝයා වහන්සේ දැනුවත් කරමින් බුදුහු වදාළහ. අනතුරුව පහත සඳහන් ගාථාව දේශනා කරමින් තවදුරටත් කරුණු තහවුරු කළ සේක.

තුවාලයක් නැති අත්ලෙන් ගත් විෂ ශරීරයේ නොපැතිරෙන්නා මෙන් අකුසල් නොකරන්නාට පව් සිදු නොවේ යනුවෙන් ධම්මපදයේ සඳහන් වේ.

යමකු යම් ක්‍රියාවක් කළ පමණින්, චේතනාවක් නැත්තේ නම් පවක් සිද්ධ වන්නේ නැත. කි‍්‍රයාව කර්මය නොවන්නේ ය. කර්මය වන්නේ චේතනාව ම ය. දරුවන් යහමඟට ගැනීමේ අදහසින් මව්පියන් ඉතා තදින් සැරවැර කළත් දැනුවත් කළත් අභ්‍යන්තරයේ ඇත්තේ යහපත් සිතිවිල්ලක් නිසා අකුසසලයක් සිද්ධ වීමට ඉඩක් නැත. සානුකම්පිතව යහපත උදෙසා කරන ලද ක්‍රියාවක් වුව ද මෙයින් අකුසලයක් වන්නේ නැත. කවර තරම් විෂ සහිත දෙඅත්ලෙහි තැවරුණත් එම විෂ ශරීරගත නොවන්නා සේ ය.