Print this Article


මකුරුප්පේ සෝමාලංකාර නාහිමිපාණෝ අනුනායක පදවි ලබති

මකුරුප්පේ සෝමාලංකාර නාහිමිපාණෝ අනුනායක පදවි ලබති

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ විසි දෙවැනි අනුනායක පදවියෙන් සම්ප්‍රසාදිත රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 18 වැනි දින සිදු කිරීමට නියමිත ය.

මකුරුප්පේ සෝමාලංකාර අනුනාහිමිපාණන් වහන්සේ වර්ෂ 1960 ජූනි මස 15 වැනි දින කන්ද උඩරට නුවර එළිය දිස්ත්‍රික්කයේ කොහොන කෝරළයේ දියතිලක පත්තුවේ මකුරුප්ප ග්‍රාමයේ දී උපත ලැබූහ.

පුරාකෘත පුණ්‍ය මහිමය හේතුවෙන් වර්ෂ 1974 ජූනි මස 26 වන දින හඟුරන්කෙත වදවල ශ්‍රී විමලාරාමයේ දී රාජකීය පණ්ඩිත හඟුරන්කෙත විමල අනුනාහිමි, රඹුක්වැල්ලේ සෝරත අනුනාහිමි සහ හඟුරන්කෙත ඤාණාලෝක නාහිමි යන ආචාර්යයන් වහන්සේලාගේ ශිෂ්‍ය පුත්‍රයකු වශයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබූහ.

1980 ජූනි මස 17 වැනි දින කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් 1984 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා 1985 සිට රත්නපුර පනාමුර පර්ෂද විද්‍යාලයෙන් ගුරු සේවයට එක් වූ අනුනාහිමිපාණෝ අනුක්‍රමිකව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති උපාධි සහ අධ්‍යාපන ඩිප්ලෝමා, ජපන්භාෂා ඩිප්ලෝමා, විදුහල්පති ශ්‍රේණි විභාග ආදිය සම්පූර්ණ කළහ. විදුහල්පති හිමියන් ලෙස වසර ගණනාවක් සේවය කොට 2020 වර්ෂයේ විශ්‍රාම ලැබූහ. ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දහම් සරසවි පාඨමාලාවේ කථිකාචාර්ය හිමිනමක වශයෙන් ද කටයුතු කොට තිබේ.

31 වැනි වියෙහි දී අරුක්ගොඩ ඉන්දසරාරාම විහාර පාර්ශ්වය නියෝජනය කරමින් කර්මවාගාචාර්යයන් වහන්සේ නමක වශයෙන් කෝට්ටේ සංඝ සභාවෙහි උපසම්පදා කාරක සභාවට පත් වී 2006 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ කර්ම වාගාචාර්ය ධුරයට පත්ව 2011 වර්ෂයේ සිට මේ දක්වා උපසම්පදා ලේඛකාධිකාරී හිමියන් වශයෙන් කටයුතු කරන සේක.

අභිනව අනුනාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 18 වැනි ශනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන් ඇතුළු සම්භාවනීය ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර අභිනව අනුනාහිමිපාණන් වහන්සේ වෙත අභිනන්දන උත්සවය 19 වැනි ඉරු දින තෛ‍්‍රයිනිකායික ගරුතර මහා සංඝරත්නයේ සහ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු අග්‍රවිනිශ්චයකාරතුමාගේ සහභාගීත්වයෙන් කිඳෙල්පිටියේ ශ්‍රී මහා චේතියාරාමයේ දී පැවැත්වේ. 19 වන දින රාත්‍රියේ හෙරළියාවල සුධර්මාරාමයේ දී රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 20 වැනි දින දහවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට කටයුතු සම්පාදනය කොට ඇත.

නිරහංකාර සංඝශෝභන ගුණයන්ගෙන් යුත් අභිනව අනුනාහිමිපාණන් වහන්සේ ලෝක ශාසනාභිවෘද්ධිය පිණිස කටයුතු කිරීමට ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා'යි ප්‍රාර්ථනා කොට සිටිමු.