Print this Article


නිවීම

නිවීම

ලෝකයෙහි ජීවත් වන සියලු සත්ත්වයින් දුකට පත්වෙන අතර, ඉන් අත්මිදීම සඳහා බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දෙන පරම නිෂ්ඨාව නිර්වාණගාමී ප්‍රතිපදාවයි.

නිවන යන්නෙහි අර්ථය දුකින් නිවීමයි. නිරෝධය නම් වන්නේ ද එයයි. නොපැවැත්ම හෙවත්

පැවැත්ම නැති කිරීම යනුවෙන් මෙය අරුත් ගැන්විය හැකි ය. මිනිසා පංච ඉන්ද්‍රියයන් පිනවීමට උත්සුක වෙයි. ඇලීම නිසා දුකට පත් වුව ද පුද්ගලයා නැවත එම ඇලීමෙන් මිදීමට උත්සාහ කරන්නේ නැත. ‘තණ්හක්ඛයෝ නිබ්බානං’ යනුවෙන් ආශාව ප්‍රහාණය කිරීම නිර්වාණ ප්‍රතිපදාවේ මූලික අරමුණයි. උත්පත්තිය සදහා සත්ත්වයාට බලපාන ප්‍රධාන කාරණා ද්විත්වයකි. එනම් කර්මය සහ පුද්ගල ලක්ෂණයි. පටිච්චසමුප්පාදයට අනුව උපත වැළැක්වීමට නම් හේතු නැති කළ යුතු ය.

උදාහරණයක් ලෙස පහනක් දැල්වීමට මැටි බඳුනක්, තිරය, තෙල්, වාතය, ගින්දර ආදී විවිධ සාධක අවශ්‍ය වේ. එහෙත් මෙම සාධක ලබා නොදීමෙන් පහන දැල්වෙන්නේ නැත. ඒ ආකාරයට සත්ත්වයා ඉපදීම සඳහා හේතුවන කරුණු වැළැක්වීමෙන් ඉපදීම වැළකෙයි. පුද්ගලයාගේ උපත වළක්වනු ලබන්නේ නිර්වාණයයි. නිවන ලෝකයෙන් එහා ගිය දෙයකි. එනම් ලෝකෝත්තර දෙයකි. එය අසංඛත වෙයි. ලෝකයේ සියලුම දේ සංඛත වෙයි. එනම් හේතු ඵලයන් ගෙන් හටගත් දෙයයි. ඒවා වෙනස් වෙයි. එකම තත්ත්වය නොපවතී. වෙනස් වන විට පුද්ගලයා දුකට පත්වේ. ඒ ආකාරයට සියලු ලෞකික සැප වෙනස් වුව ද නිර්වාණය වෙනස් වන්නේ නැත. එනිසා නිර්වාණය අසංඛත ලෙස හඳුන්වයි.

සංයුක්ත නිකායේ අසංඛත සංයුත්තයේ නිර්වාණය සඳහා වචන තිස් තුනක් පෙන්වා දී ඇත.

අසංඛත, අන්තං, අනාසවං, පාරං, නිපුණං, සුදුද්දසං, ධුවං යනාදිය ඒ අතර එයි. මේවා අතරින් නිවන සඳහා භාවිත වන ජනප්‍රිය වචනය වන්නේ නිබ්බාන හෙවත් නිවන යන්නයි. පුද්ගලයා දුකට පත්වෙන රාග, ද්වේශ, මෝහ අකුසල් ප්‍රහාණය කොට නිවන වෙත යා යුතු ය.

අංගුත්තර නිකායේ මහා ගිරිමානන්ද සූත්‍රයේ දී “ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර

සමථෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං” ලෙස නිවන පිළිබඳ දක්වයි. එහි අර්ථය නම් සියලු සංස්කාරයන්ගේ සිඳීිමක්, සියලු උපධීන්ගේ දුරලීමක්, තෘෂ්ණාව ක්ෂයවීමක්, විරාගයක් වේ නම් එය නිර්වාණය බවයි. එනිසා පුද්ගලයා දුකට පත්කරවන සහ සසරට ඇද දමන දස සංයෝජනයන්, පංචනීවරණයන්, ආශ්‍රව ධර්මයන් ක්ෂය කරමින් උතුම් සැපය වූ නිර්වාණය ලබාගත යුතු ය.ඒ “නිබ්බානං සුඛා පරං නත්ථි” (ථේරිගාථා) නිවන් සුවයට වැඩි සුවයක් නැති බැවිනි.