Print this Article


ගිරි මුඳුනට නැඟ අවට බලන්න

“එක්තරා ගමක් සමීපයෙහි සුවිසල් පර්වතයක් පිහිටා තිබිණි. එක් දිනක යහළුවන් දෙදෙනකු මෙම පර්වතය අසලට ගියහ.

“අපි පර්වතය මුඳුනට නඟිමු ද?” එක් යහළුවකු යෝජනා කළේ ය.

“අනේ, මට බැහැ. ඔයා උඩට නඟින්න. මම පහළින් ඉන්නම්” අනෙක් යහළුවා කුසීතකමින් කීවේ ය.

මුල් යහළුවා අනිකාට පහළින් සිටීමට ඉඩ හැර පර්වතය මුඳුනට නැංගේ ය. ඔහුගේ දෙනෙතට හසුවූයේ අවට පරිසරයේ ඇති මනස්කාන්ත දර්ශනයයි. පී‍්‍රතියෙන් කුල්මත් වු හෙතෙම සිය සහෘදයාට ද එහි සිරි විඳිනු පිණිස ආයාචනා කළේ ය.

“යහළුවේ, මේ පරිසරය පුදුමාකාර සුන්දරයි. මෙහි බිම ඉතාමත් රමණීයයි. අලංකාර ගංගා, ඇළ දොළ, වැව්, පොකුණු, මල්වතු, කෙත්වතු ආදියෙන් වටපිටාවම පිරිලා අනේ, උඩට ඇවිත් මෙහි සිරිය අත්විඳින්න.”

එහෙත් පර්වත පාමුල හුන් යහළුවා එය විශ්වාස කළේ නැත. හෙතෙම හිස දෙපසට සලමින් මෙසේ කීය.

“ඇත්තටම ද ඔය කියන්නේ? මට නම් විශ්වාස කරන්න බැහැ”.

ගිරි මුඳුනේ හුන් යහළුවා උත්සාහය අත්හළේ නැත.

“ඇත්තද නැත්තද බලන්න ඉතිං මේ පර්වතය මුදුනට නඟින්න. ඒ පෙරැත්තය ඉවතලීමට නොහී පාමුල සිටින්නා ද පර්වතයට නැංගේ ය. ඔහුගේ දෙනෙතට ද එකී අලංකාර වටපිටාව දිස් වූ විගස, දෙවැන්නාගේ සිත ද පී‍්‍රතියෙන් කුල්මත්ව ගියේ ය.

“ඔයා කී දේ මොන තරම් ඇත්තක්ද? මේ පරිසරය අතිශයින්ම කමනීයයි. ඒත්, පර්වතය පහළින් සිටිනවිට මේ මොනවත්ම මට පෙනුණේ නැහැ නෙව?”

පර්වතයට මුලින් නැඟි යහළුවා සිනාමුසු මුහුණින් මෙසේ කීවේ ය.

“බිම ඉන්නකොට ඉතිං පර්වතයට ඔක්කොම වැහෙනවා නෙව, යාළුවේ.

මේ උපමා කතාව හමාරකොට භාග්‍යවතුන් වහන්සේ අග්ගිවෙස්සන වෙතට හැරණු සේක.

“පින්වත් අග්ගිවෙස්සන, අවිද්‍යාව ද සුවිශාල පර්වතයකි. කම්සැපෙහි ඇලී සිටින තැනැත්තාගේ නුවණ නම් ඇස අවිද්‍යාවෙන් වැසී තිබේ. එසේ සිටිනා තාක් ඔහු හට ධර්මය පසක් කළ නොහැකි ය. සැබෑ ලෙසම ධර්මය පසක් කර ගැනීමට නම් කාමයන්ගෙන් නික්මී අවිද්‍යාව දුරු කළ යුතු වේ.”

අග්ගිවෙස්සන සාධුකාර දෙමින් බුදු වදන පිළිගත්තේ ය.

අපද වැසී ඇත්තේ එම පර්වතයෙනි. විසුද්ධි මාර්ගයේ දැක්වෙන පරිදි අප සයාකාර අවිද්‍යාවකින් යුතුව සිටිමු.

නොවිඳිය යුතු කාය දුශ්චරිතාදිය විඳීමට ද, විඳිය යුතු කාය සුචරිතාදිය නොවිඳීමට ද,

ශරීරය පංචස්කන්ධයක් එක්වී සෑදී ඇති බව ද,

ධාතුන්ගේ ධුව (ඒකාන්ත) සුඛ, සුභ (මනරම්) යන ස්වභාවයක් නැති බව ද, ආයතනයන්

ආයතනයන් සේ වෙන්කොට නොහඳුනන බව ද, ඉන්ද්‍රියන්ගේ අධිපති බව ද හා සත්‍යයන්ගේ යථාර්ථය නොදන්නා බව ද යනාදී ස්වභාවයන්ට ද

දුකෙහි ඇති පීඩනය, සිත හා කයෙහි වේදනාව, ගින්නකින් මෙන් නැවත නැවත තැවෙන සංතාපය හා කය – සිත දෙකෙහි බිඳි බිඳී යන විපරිනාමය යන ස්වභාව පිළිබඳ නොදැනුවත්කමටද?

කෙළවරක් නැති සංසාර සාගරයේ අරමුණුූ රහිතව සියලු යෝනි ගති, භව, විඤ්ඤාණ, ඨිති, සන්තාවයන්හි දුවවන බවට ද,

පරමාර්ථ හෙවත් සැබෑම සත්‍යයක් නොවන ස්ත්‍රී, පුරුෂ ආදී සම්මුති ස්වභාවයන් තුළ සිත නිරන්තරයෙන් බැසගෙන ඇති බවට ද

යන සයාකාරයේ අවිද්‍යා අඳුරකින් නොහොත් ගිරකින් අපේ නුවණ මුවහ කොට තිබේ.

එහෙයින් සත්ත්වයෝ මෙලොව ද දුක සේ ජීවත් වෙති. පරලොව ද දුක සේ ජීවත් වෙති. දෙලොව දී ම දුක් දෙවන ස්වභාවය අවිද්‍යාව හේතු කොටගෙන ම ඇති වී තිබේ.

එසේ නම් මේ දුකින් මිදීමට ය, අප අවිද්‍යාව ප්‍රහාණය කළ යුතු වන්නේ. ධර්මය අපට මඟ පෙන්වන්නේ එයට ය.

අවිද්‍යාවෙන් මිදී විද්‍යාව ඇති කර ගැනීමට අප කළ යුත්තේ කුමක් ද?

අප සියල්ලන් තුළ අවිද්‍යාව පවතින බව තේරුම් ගැනීම එයින් මිදීමේ මූලාරම්භක පියවර වේ.

එසේම අප තුළ පවතින සත්‍ය ස්වභාවය තේරුම් ගැනීමට අවශ්‍යතාව ද, ඊට ඇවැසි ධෛර්යය ද, එසේ ධර්මය තේරුම් කරදිය හැකි කල්‍යාණ මිත්‍රයන් ද, එම ධර්මයට අනුව ලෝක සත්‍යය දැකිය හැකි යහපත්, අඛණ්ඩ සිහියක් හෙවත් යෝනිසෝ මනසිකාරයක් ද ඇති කර ගත යුතුව තිබේ.

අවිද්‍යාව විදාරණය කිරීම ආරම්භ වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තුළිනි. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ තැනැත්තා තුළ කෙමෙන් බෝධි පාක්ෂික ධර්ම පරිපූර්ණ වන්නේ ය.

සතර සතිපට්ඨානය දියුණු වන්නේ ය. සතර සම්‍යග් ප්‍රධාන ද සතර ඍද්ධි පාද ද, පඤ්ච ඉන්ද්‍රිය ධර්මද පඤ්ච බල ධර්ම ද, සප්ත බොජ්ඣංග ධර්ම ද දියුණූු වන්නේ ය.

මින් අවිද්‍යාව විදාරණය කළ තැනැත්තා ඒකාන්ත වශයෙන්ම ගිරි කුළ මුඳුනේ සිට අවට බලන තැනැත්තකු වනු ඇත.