Print this Article


කළකම් අනුව හිමිවන අපාය භූමි

කළකම් අනුව හිමිවන අපාය භූමි

බුදුන් වහන්සේ නිරය, තිරිසන්, ප්‍රේත, මනුෂ්‍ය, දිව්‍ය, ස්කන්ධ, ධාතු, ආයතන, මෙලොව, පරලොව, දෙව්ලොව, බඹලොව යනුවෙන් ලෝක යන්න විවිධාකාරයෙන් හඳුන්වා දී ඇත.

සංගීති සූත්‍රයට අනුව නිරය, තිරිසන්, ප්‍රේත, මිනිස්, දේව යනුවෙන් ගති පසෙකි. ඉහත නිරය, තිරිසන් හා ප්‍රේත ලෝක වෙන වෙනම දක්වා ඇතත් ඇතැම් ස්ථානයන්හි එම ත්‍රිත්වය අපාය යන තනි වචනයෙන් දක්වා ඇත. නිරය, තිරිසන්, ප්‍රේත, මනුෂ්‍ය, දිව්‍ය යන නාමයෙන් හැඳින්වෙන ගති තුළින් විශේෂිත සත්ත්ව කොට්ඨාස හා භූමි පිළිබඳ තහවුරුවක් ලැබේ. නිරය, තිරිසන්, ප්‍රේත, මනුස්ස, දේව යන මෙම පඤ්ච ගතීන්ගෙන් නිදහස් වීමට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතු ය.

අපාය භූමී හැඳින්වීම සඳහා ත්‍රිපිටක පාලියේ අපාය, දුගතිය, විනිපාත, නිරය යන පර්‍යාය පද භාවිත වේ. සැපතින් ඉවත් වූ නිසා අපාය නම් වේ. පව් කරන්නෝ මෙහි වහා වැටෙති’යි යන අර්ථයෙන් විනිපාත නම් වේ. ආස්වාද රහිත බැවින් නිරය නම් වේ. සැපයෙන් පහ වූ, දුකට පිහිටි විවශව වැටෙන නිරයට වැටී කටුක දිවි පෙවෙත් ගෙවන එක්තරා තව්සකු බුදුන් දිවැසින් දුටු බව කස්සප සීහනාද සූත්‍රයේ සඳහන් වේ. මෙලොව සිටින සත්ත්වයන් කර්මාභිසංස්කාරයන්ගේ හේතුවෙන් මරණින් මතු නිරයගාමී වේ.

මජ්ක්‍ධිම නිකායේ සන්දක සූත්‍රයට අනුව නිරය 130 කි. සංයුත්ත නිකායේ මහා දිට්ඨ සූත්‍රයට අනුව නිරය 136 ක් හා 130 ක් ලෙස ද දීඝ නිකායේ සාමඤ්ඤපල සූත්‍රයේ නිරය 3000 ක් පිළිබඳව නාමිකව දැක්වේ. නිරය ඇත්තේ එක් ලෝක ධාතුවක පමණක් නොව දස දහසක් ලෝ ධාතූන්හි නිරයන් ඇති බව බෝසතුන් උපන් විට දස දහසක් ලෝ ධාතූවල නිරයන්හි ගිනි නිවුන ආකාරය හා යම් පමණ නිරය වී නම් ඒවා පෙනුණ ආකාරයත් ඒ පිළිබද දැක්වෙන පුවතින් අනාවරණය වේ.

පාලි පෙළ හා අටුවා ග්‍රන්ථයන්හි නිරයන් සංඛ්‍යාව පිළිබඳ ව නිශ්චිතව මෙතැකැයි සඳහන් නොවේ. පොදු ව්‍යවහාරයේ පවතින නිරය අට පිළිබඳ වෙන් වෙන් නම් වශයෙන් එකම ස්ථානයේ සඳහන් නොවන අතර, කථාවත්ථු ප්‍රකරනයේ සඤ්ජීවය, කාල සූත්‍රය, තාපය, ප්‍රතාපය, සංඝාතය, රෞරවය, අවීචිය යනුවෙන් වෙන් වෙන් ව නිරයන් හතක් පිළිබඳ පමණක් සඳහන් වේ.

එහි මහා රෞරව නිරය සඳහන් නොවේ. ජාතක පාලියේ සංකිච්ච ජාතකයේ සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, මහාවීචි, තාපන, ප්‍රතාපන යනුවෙන් අටමහා නිරයන් දක්වා ඇත. වෙනත් නිරයන්හි නම් කිහිපයක් හා ඒ ඒ තැන සත්ත්වයා දුක් විඳීන අයුරු පමණක් එකී තැන්හි දැක්වේ.

අට මහා නරකයේ දොරටු සතර බැගින් වේ. ඒ එකිනෙකහි වෙන් වෙන්ව නිරය සතර බැගින් වේ. මේ අනුව එකිනෙක මහ නිරයේ අතුරු නිරය 16 බැගින් වේ. මේවා ඔසුපත් නිරය වශයෙන් හැඳින්වෙන අතර සියල්ල128 කි. මහ නිරය 8 ත් සමග සියල්ල 136 ක් හෙවත් එක්සිය සතිසෙකි. මෙම එක්සිය සතිසක් නිරය පිහිටා ඇත්තේ අටමහා නිරය වටා ය. නිරයෙහි සාමාන්‍ය ආකෘතිය පෙට්ටියක් මෙන් සතරැස් ය. කොන් සතරක් ඇත. එකෙක්හි දොර සතරක් ඇත. විථී මාර්ගාදී වශයෙන් කොටස්වලට බෙදා තිබේ. අයෝමය ප්‍රාකාරයකින් වට වී ඇත. නව යොදුන් ඝන අයෝමය භූමියකි. මේවායෙහි නිරතුරුවම ගිනිසිලු ඇති අතර ළං විය නොහැකි ය. ලොමු දහ ගන්වන බිය උපදවනු ලබයි.