Print this Article


මිනිසුන් අලුත් ප්‍රශ්නයක් එනතුරු තියෙන ප්‍රශ්නය විඳවනවා

මිනිසුන් අලුත් ප්‍රශ්නයක් එනතුරු තියෙන ප්‍රශ්නය විඳවනවා - පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

 

මිනිසත්බව ලැබීම කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ අවස්ථාවක්. එවැනි උතුම් අවස්ථාවක් ලැබුවත් මිනිසුන් නිතරම ප්‍රශ්නවලින් විඳවනවා. දුකින් ජීවත්වනවා.මෙහෙම වෙන්නේ ඇයි? දුක පරදා සතුටින් ජීවත වන්නේ කෙසේද? මේ, ඒ පිළිබඳව කඩවත මාවරමණ්ඩිය සිරි ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක, හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්ය ශාස්ත්‍රපති පොල්පිටිමූලකලානේ පඤ්ඤාසිරි හිමියන් පළ කළ අදහස් ය.

මේ මොහොතේත් ලංකාවේ කොහේ හරි තැනක කෙනෙක් ප්‍රශ්න නිසා ජීවිතය නැතිකරගන්න කල්පනා කරනවා. ගෙවල් දොරවල් දාල යන්න කල්පනා කරනවා. මේ වගේ දරාගන්න අමාරු හිතට වදදෙන ප්‍රශ්න අපේ ජීවිතයට එන්නේ ඇයි?

අප භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයේ එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රියක පැමිණ බුදුරදුන් වැඳ එකත්පසව හිඳ බුදුරදුන්ගෙන් මෙසේ ඇසුවා.

අන්තෝජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගෞතම පුච්ඡාමි
කො ඉමං විජටයෙ ජටං

ඇතුළත් අවුල්, පිටතත් අවුල්. මුළු සත්ව ප්‍රජාවම මේ අවවුලෙන් අවුල්ව සිටිනවා. ගෞතමයන් වහන්ස, මේ අවුල නිරවුල් කරන්නේ කවුදැයි ඔබ වහන්සේගෙන් අසමි. මෙම පැනට පිළිතුරු සපයන බුදුරජාණන් වහන්සේ,

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපී නිපකෝ භික්ඛු
සො ඉමං විජටයෙ ජටං

දේවතාවෙනි, සීලයෙහි පිහිටි නැණවත් මිනිසා සමාධිය හා විදර්ශනාව වඩන්නේ, උත්සාහයෙන් ප්‍රඥාවෙන් යුක්ත වූයේ මේ අවුල් නිරවුල් කරන්නේය යනුවෙන් දේශනා කර වදාළා.

පළමුවෙන්ම අපි මේ සියලු ප්‍රශ්න ඇතිවීමේ මූලය සොයා ගන්නට ඕනේ. ඉපදීම නම් වූ තත්ත්වයට පත්වීම නිසා යි හැම කෙනාට ම ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන්නේ. බුදු කෙනෙක් ලොව පහළ වී මිනිසුන්ගේ ප්‍රශ්නවලට සදාතනික පිළිතුරක් දේශනා කර තිබෙනවා. සංසාරගත සත්වයා ඉපිද ඉපිද, මැරි මැරී යන ගමන් මගේ අනන්ත අප්‍රමාණ දුක් වින්දා. ඒ අතරවාරයේ පෙර පිනක් තිබිලා මනුස්ස ලෝකයේ උප්පත්තිය ලබනවා.

බිළිඳු අවධියේ සිට ම අපේ ජීවිතවලට කොයිතරම් ප්‍රශ්න ආවද? අකමැතිවුණත් ප්‍රශ්න අපේ ජීවිතයේ ම කොටසක් බවට පත්වෙලා.

අපට මතකයි පසුගිය කාලයේ කොරෝනා ආවා. හැමෝම ඒ ගැන කතා කළා. ඊට පස්සේ කුඹුරුවලට පොහොර නෑ කිව්වා. ඔන්න දැන් කොරෝනා අමතකයි. පෙට්‍රල් ප්‍රශ්නය ආවා. එතකොට පොහොර ප්‍රශ්නය අමතකයි. එක ප්‍රශ්නයක් තව ප්‍රශ්නයකින් වැහිල යනවා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි තව ප්‍රශ්නයක් එනකන් තියෙන ප්‍රශ්නය ලොකුවට දකිනවා. මෙය ලෝක සනාතන දහමක්.

දරුවන් නැති කෙනාට දුක දරුවන් නැති එක ගැනයි. දරුවෙක් කුස පිළිසිඳගත් පසුව අර දුක අමතක වෙලා දරුවා රැකගන්න දුක ඇතිවෙනවා. දරුවා බිහිවෙන දවස කිට්ටු වෙනකොට රැකගන්න දුක, අමතක වෙලා බිහිවීමේ දුක කල්පනා කරනවා.

දරුවා ඉපදුණු පසුව ලොකු මහත් කර ගැනීමේ දුක ඇතිවෙනවා. ඉන්පසුව හොඳ පාසලකට ඇතුළත් කර ගැනීමේ දුක. එතකොට අර මුල දුක් අමතකයි. දරුවා කොහොම හරි ශිෂ්‍යත්වය පාස් කරගන්න ඕනේ කියනවා. ඉන් පසුව අ.පො.සා ( සාමාන්‍ය පෙළ) කර ගත්ත නම් ඇති, උසස් පෙළ මේ ළමයින්ට තනිවම කරගන්න පුළුවන් කියනවා. උසස් පෙළ කරගත්තට පස්සේ අනේ අපේ දරුවා විශ්වවිද්‍යාලයට ගියා නම් හොඳයි කියනවා. හොඳ රැකියාවක් ලැබුණාට පස්සේ අපේ දරුවට හොඳ විවාහයක් කරල පිළිවෙළක් කරනකම් හිතටට ලොකු බරක් කියනවා. විවාහ වුණාට පස්සේ අපේ පුතාට දරුවෝ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඊට පස්සේ දරුවෝ ලැබෙනවා. පුතාගේ ළමයි ඉස්කෝලේ යනකම් ජීවත්වුණා නම් අපට ඇති කියනවා.

නොදැනීම ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට උත්තර සොයමින් තවත් ප්‍රශ්නවලට උත්තර සොයන්න තිබියදීම මැරිලා යනවා. මේක තමයි ජීවිත ස්වභාවය. ප්‍රශ්න සියල්ලටම උත්තර සපයල මැරිල ගිය කෙනෙක් අපේ හත්මුතු පරම්පරාවේ ම ඉන්නවද? නැහැ.

තරුණ දරුවන්ගේ හිතට දරාගන්න අමාරු විඳවන ප්‍රශ්නයක් ආවොත් ඒ වගේ තැනකදි හිත නිදහස් කරගන්නේ කොහොමද?

අපි හැමෝටම මුදුන් පමුණුවා ගැනීමට බැරිවුණු බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

තරුණ දරුවන් කලකිරීමට පත් කරන ප්‍රධාන කාරණයක් නම් තවත් කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන ආදරය ලබා ගැනීමට නොහැකි වීමයි. කෙනෙක් ආදරයෙන් බැඳුණු විට ඒ ආදරයට සමාන ප්‍රතිචාරයක් අනෙක් පාර්ශ්වයෙන් නොලැබුණොත් ඇති වන්නේ විශාල බලාපොරොත්තු කඩවීමක්. මෙය වැඩි වශයෙන් සිදුවන්නේ තරුණ ගැටවර වයසේ අය අතරයි.

ඕනෑම ආදර සම්බන්ධයක් වෙනස්වීමකින් අවසන් වීමට ඉඩ තියෙනවා. කලක් සුන්දර සිහිනයක් බඳු වූ ආදරය කල් යාමේ දී ඉරිතලන්නට ඉඩ තියෙනවා. වෙනස්වීමේ ලකුණු පහළ වන්නට ඉඩ තියෙනවා. මෙවන් අවස්ථාවක දී සිතේ දරුණු කම්පනයක්, වේදනාවක් ඇති වෙනවා. විශේෂයෙන් දැඩි ප්‍රේම සම්බන්ධයකින් බැඳී සිටියේ නම් කම්පනය ඉතා ප්‍රබල වන්නට ඉඩ තියෙනවා. මෙබඳු වේදනාකාරී අවස්ථාවල දී ඇතැම් තරුණ දරුවන් පහර කා තුවාල ලැබුවන් මෙන් හිස හැරුණු අත අරමුණක් නොමැතිව යනවා. නමුත් මෙහිදී කළ යුතු හොඳ ම දේ ඒ වෙනස්වීම නොවැළැක්විය හැක්කක් බව තේරුම් ගැනීමයි. එසේ නොකළොත් සිදුවන්නේ නැවත සෑදිය නොහැකි යමක් සෑදීමට ගන්නා නිෂ්ඵල උත්සාහයක නිරතවීමයි.

මෙහිදී සිතැඟිවලට වහල්වී මෝඩ ලෙස ක්‍රියා කළ යුතු නෑ. ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීම හේතුකොටගෙන සිදුවන දරුණු ක්‍රියා, සියදිවි නසා ගැනීම්, මිනීමැරීම් ආදිය ගැන නිතර අසන්නට ලැබෙනවා. තවත් අය මානසික සමබරතාව නැති කර ගෙන පිස්සන් බවට පත්වෙනවා. එක්වරක් ප්‍රේම සම්බන්ධයක් කැඩී ගිය විට නැවත ආදරය නොකරන්නට, විවාහ නොවන්නට තීරණය ගන්නා අයත් සිටිනවා.

මිනිසුන් මේ තරම් දුකට පත්වෙන්නේ ඇයි? මේ අය ජීවිතයේ අස්ථිර බව මනා ලෙස අවබෝධ කරගෙන නැති නිසා සිතෙහි ඇතිවන කම්පනයට ගොදුරු වෙනවා. ඔවුන් අනවශ්‍ය ලෙස බැඳී, පමණට වඩා බලාපොරොත්තු ඇතිකර ගන්නවා. ලෝක ස්වභාවය ගැන හොඳට අවබෝධ කරගත් අය දන්නවා සැමටම අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්නට සිදුවන බව.

බෞද්ධයකු වශයෙන් ප්‍රශ්න නිරාකරණයට යොමු විය යුතු හොඳම මාර්ගය කුමක්ද?

අපි සරණ ගොස් සිටින්නේ බුදුරජාණන් වහන්සේයි. ප්‍රශ්න නිරාකරණයට උන්වහන්සේ දේශනා කළ ධාර්මික ක්‍රමවේදයක් තියෙනවා. එහෙත් ඇතැම් අය විවිධ මිථ්‍යා දෘෂ්ඨික වැඩපිළිවෙළවල් ඔස්සේ ගමන් කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි දරුවන් නැති මව්පිය යුවලක් නම්, දරුවෙක් ලබා ගැනීමට සත්‍ය ක්‍රියාවක් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන රුවන්වැලි සෑය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ හලාවත බිංගිරිය බෝවත්තේ අංගුලිමාල මහා සෑය වැනි උතුම් සිද්ධස්ථානවලට ගොස් බුද්ධ පූජාව පවත්වා පිරිත් සජ්ඣායනය කර මේ ස්ථානයේ සත්‍යානුභාවයෙන් අපට පින්වත් දරුවෙක් ලැබේවා කියලා සත්‍ය ක්‍රියාවක් කරන්නට ඕනේ.

කර්මානුරූපීව තමන් බරපතළ අකුසල කර්මයක් කරලා නැත්නම් අන්න එවැනි අවස්ථාවක පින්වත් දරු සම්පත් ලැබෙන්න ඉඩ තියෙනවා. එසේ ලැබුණු දරුවා ගුණ ගරුක යහපත් දරුවෙක් කරන්නට ඕනෑ. එවිට ඒ දරුවා මෙලොවත් ජය ගන්නවා, පරලොවත් ජය ගන්නවා.

අපේ කර්මය අනුව අපට ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. නමුත් සියලු දේ කර්මයට ඉඩදීලා ඉන්න හොඳ නැහැ. කර්මය ඉක්මවා යන ආකාරයේ බලවත් පින්කම් දිනපතා සිදු කළ යුතුයි.

ඇතැම් නිවෙස්වල බිරිඳ අකීකරුයි. ස්වාමියා අකීකරුයි. දරුවෝ අකීකරුයි. සේවක සේවිකාවෝ අකීකරුයි. මෙසේ වෙන්නේ ඇයි?

ඒකට හේතුව තමයි පෙර සංසාරයේ මහා සංඝරත්නයට දානය පිරිනමන විට එය ලස්සනට පිළිවෙළකට සකස් කරදීලා නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ඔබ කාලයක් පින් දහම් කරන විට, මෛත්‍රී භාවනාව වඩනකොට අකුසල ගෙවිලා යනවා. එවිට සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේ ම පවුල්වල තියෙන අඬ දබර දුරුවෙනවා. මනුෂ්‍යයන්ට පි‍්‍රය වෙනවා. ස්වාමියාට භාර්යාව පි‍්‍රය වෙනවා. භාර්යාවට ස්වාමියා පි‍්‍රය වෙනවා. දරුවන්ට මව්පියන් පි‍්‍රය වෙනවා. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙනවා.

කවදා හෝ දවසක මේ ප්‍රශ්න සියල්ල ලිහල දාන ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා උතුම් තිසරණයේ පිහිටන්නට ඕනේ. එවිට නැවත ඉපදෙන්නේ නැති තත්ත්වයට එනම් උතුම් නිවනට පත්වෙන්නට හැකියාව ලැබෙනවා.