Print this Article


දෙලොව ම දිනන මඟ ඉඳුරන් ජය ගැනීමයි

දෙලොව ම දිනන මඟ ඉඳුරන් ජය ගැනීමයි

බුදුදහමේ අවසාන ඉලක්කය සත්ත්වයා සසර දුකින් මුදවා උතුම් නිවන් සුව පසක් කරවීමයි. එම ඉලක්කය සපුරාලන ගමන් මගේ දී අප ලැබූ මේ මිනිසත් බව වඩ වඩාත් ඵලදායක කර ගැනීම ද, දුක් කම්කටොළු දුරුකර ගැනීම ද බුදුදහමෙන් පෙන්වා දෙන කරුණකි.

තමා විසින් තමා තුළ ඇති කර ගත යුතු ආත්ම දමනය හෙවත් ඉඳුරන් සංවර කර ගැනීම මෙලොව හා පරලොව සුවයට උපකාරී වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවට අනුව පුද්ගලයන් හික්මවීමට බුදුදහමෙන් උපදෙස් සපයයි. සීලයෙන් කයේ හික්මීම ද, සමාධියෙන් සිතෙහි එකඟ බව ද, මෙම දෙකෙහි ම ප්‍රතිඵලය ලෙස ප්‍රඥාව ද ලැබේ.

මෙකී ත්‍රිශික්ෂා සම්පූර්ණ වීමට ඉඳුරන් දමනය කිරීම හා සිතෙහි පිරිසුදු බව පැවතීම අත්‍යවශ්‍ය වේ.

නිවන් මඟට හේතුවන ප්‍රඥාව ලැබීම සඳහා සිත,කය, වචනය යන තුන්දොර සංවර කර ගැනීම මූලිකව සිදු කළ යුතු ය. එය මෙලොව සැනසිල්ලට ද හේතු වන්නකි. තිදොරෙහි සංවර බව දියුණු වූ පමණට ම සමාධිය හා ප්‍රඥාව ද වැඩේ. සමාධිය හා ප්‍රඥාව වැඩීමට සංවර බව හේතු වන්නා සේ ම දෛනික ජීවිතයේ කටයුතු සාර්ථක වීමෙහිලා ද ඉන්ද්‍රිය දමනය බොහෝ සෙයින් උපකාර වන බව කරුණු විමසීමෙන් අපට පැහැදිලි කර ගත හැකි ය.

ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් හික්මීම හෙවත් තමන්ට අවනත වන පරිදි හසුරුවා ගැනීම ඉන්ද්‍රිය සංවරයයි. නොයෙක් අරමුණු පැමිණි විටෙක සිත එක අරමුණක නොරැඳි විවිධ අරමුණු කරා යොමුවීමෙන් සිතේ සසල බව ඇතිවේ. අප කැමති අරමුණක ඇලීම ද, අකැමැති අරමුණක ගැටීම හෙවත් ප්‍රතික්ෂේප කිරීම ද නිරන්තරයෙන් අප විසින් සිදුකරනු ලැබේ.

ධර්මානුකූලව බලන විට එහිලා හේතුවන අකුසල මූලයන් වනුයේ තණ්හාව හා ද්වේෂයයි. රූප, ශබ්ද ආදි අරමුණු කරා ඇදෙන්නේ, ඒ හා බැඳෙන්නේ ඉන්ද්‍රිය දමනයෙන් තොර වූ විට ය. අරමුණු සමඟ ගැටීම් ඇතිකර ගන්නේ ද නොදැමුණු ඉන්ද්‍රියන් හා නොදැමුණු සිත් නිසා ය.

අපගේ සිත නිතර සැලෙන ස්වභාවයෙන් යුක්ත ය. කිසියම් එක අරමුණක රැඳී නොසිටීම සිතේ ගතියයි. ඒ දියෙන් ගොඩ දැමූ මසකු සුපුරුදු පරිසරය නොමැතිකමින් සැලෙන්නාක් මෙනි. සිත නිතර සැලෙන්නේ පසිඳුරන් මඟින් විවිධ අරමුණු සිතට ලබාදෙමින් සිත විවිධ අරමුණු කරා ගෙනයමින් සිතට කරදර උපදවන බැවිනි. එයට හේතුව ඉන්ද්‍රියයන්ගේ අසංවර ක්‍රියාකාරිත්වයි. නොයෙක් සිතිවිලිවලින් සිත කැළඹෙන්නේ මෙම සිතේ විපිළිසර බව නිසා ය.

චේතනාව ම කර්මය බවට පත්වන බව (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි)

බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. නොයෙක් අරමුණු මඟින් මෙහෙයවනු ලබන සිතෙහි පහළවන සිතිවිලි පරම්පරාව ම කර්මය බවට පෙරළේ. ඒ නිසා අසංවර සිතක් හා නොදැමුණු ඉඳුරන් ඇති අය නිතරම අයහපත්කම් රැස්කර ගනිති.

මේ ලෝකයේ ස්වභාවය නම් අපට කාමයට හෝ ද්වේෂයට පොළඹවන අරමුණු සෑම තැනකම පැතිර පැවතීමත්, ඒවා සෑම විටකම ඉඳුරන්ට ගොදුරු වීමත් ය. ඒ නිසා අප අවට ඇති බාහිර අරමුණු සියල්ල දුරු කළ නොහැකි ය. නමුත් අපට කළ හැකි මනා වූ දෙය නම් අප තුළ සංවර බවක් ඇති කර ගැනීමයි.

පොළොවෙහි ඇති වළ ගොඩැලි, දූවිලි, ගල්, බොරළු, අපවිත්‍ර දෑ ආදි සියල්ල ඉවත් කොට පයට පහසු සමතැනිතලා බිමක් සකසා ඉතා පහසුවෙන් ඇවිද යාමට කවරකුට නම් හැකි වේද? නමුත් අපට කළ හැකි දෙයක් තිබේ. එනම් ඒ සියලු බාධක මැඩ, ඒවායින් ආරක්ෂාවීමට පයට පාවහන් යුගළක් පැළඳීමයි. එවිට මුළු පොළවම, පයට ආරක්ෂිත සුවපහසු තැනක් බවට පත්වේ.

අපහසුවෙන් රැකිය යුතු වූ සැලෙන චපල සිත විවිධ අරමුණු කරා යාමෙන් වළක්වා සිත ශක්තිමත් කර ගැනීමට හැකියාව ඇත්තේ නුවණැති මිනිසුන්ට ය. හී වඩුවා යකඩයේ ඇද ඇර හී සකසන්නාක් මෙන් සැලෙන සිත ශක්තිමත් කළ යුතු වේ. ඒ බව ධම්ම පදයේ මෙසේ දක්වා ඇත.

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජු කරෝති මේධාවි
උසුකාරොව තේජනං

සිතෙහි ස්වභාවය නම් ඉතාම වේගයෙන් ක්‍රියාකාරී වීමයි. බොහෝ දුර ගමන් යා හැකි, තනිව හැසිරෙන, ශරීරයක් නොමැති, අපගේ ශරීරය නමැති කූඩුවේ වසන සිත දමනය කර ගැනීම ද ඉතා අපහසු ය. අපහසුවෙන් වුව එය දමනය කර ගතහොත් ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම ද ඉතා පහසු ය. සසර සියලු දුකින්ම මිදෙන්නෝ එවැන්නෝ ය. බුදුරජාණන් වහන්සේ එය මෙලෙස දේශනා කළ සේක.

අප අතරින් ඇතැම් අයෙක් රූපාදි කිසියම් අරමුණකට ලොල්ව තම උන්හිටිතැන්, නෑ හිත මිතුරන් පමණක් නොව ඇතැම් විටක ජීවිතය පවා විනාශ කර ගනිති. රූපාදී අරමුණෙහි එල්ලීම කෙතරම් ද යත් තවත් අයකුගේ දිවි තොර කිරීමට වුව ඇතැමෙක් පෙළඹෙති. එමඟින් බොහෝ දුක් කරදරවලට මෙලොවදීම (මෙන්ම පරලොවදී ද) මුහුණදීමට සිදුවේ. ඉන්ද්‍රිය දමනය ලෞකික වශයෙන් අපගේ මෙලොව සාර්ථකත්වය උදෙසා ද හේතුවන බව ඉන් ප්‍රකට වේ.

ඇස ආදී පසිඳුරන් දමනය නොකර ගැනීමෙන් සිදුවන අවැඩ උපමා කිහිපයකින් ධර්මයේ විස්තර කෙරේ. ඇස දමනය නොකරගත් පුද්ගලයා පහන් දැල්ල කරා ඇදී ගොස් විනාශ වන පළගැටියා මෙන් වැනසේ.

සවන සංවර නොකරගත් පුද්ගලයා විනාශයට පත්වන්නේ වැද්දා හඬවන මිණිගෙඩි රාවයට ලොබ බැඳ පැමිණ මැරුම් කා විනාශ වන මුවකු මෙනි.

මද වැගිරෙන ඇතුගේ මද ගන්ඳයට ලොල් වූ බඹරකු ඇතුගේ කන්තල පහරින් විනාශයට පත්වන්නාක් මෙන් නාස ඉන්ද්‍රිය දමනය නොකරගත් අය විනාශයට පැමිණෙති.

බිලි වැද්දාගේ ඇම ගිල බිලීකටුවෙහි ඇමිණී විනාශයට පත්වන මාළුවකු මෙන් දිව අසංවර නැත්තා විනාශයට පත්වේ.

ශරීරය පිළිබඳ සංවරයක් නොමැත්තා පහසට ලොල්ව විනාශයට පත් වන්නේ සුරපුරයකට යන්නේ යැයි සිතා, ගම්බද ඇතිනියක පසුපස ගොස් ගම් වැද විනාශයට පත්වන වල් ඇතකු මෙනි. එබැවින් යමකු කිසියම් හෝ ඉන්ද්‍රියක් අධිකව පිනවන්නට උත්සාහ ගන්නවා යනු එයින්ම විනාශය ළඟා කර ගැනීමක් වේ. එමෙන්ම ඉන්ද්‍රිය සංවර කර ගැනීම මඟින් දෙලොවම යහපත සැලසේ.

චිත්තෙන සංකිලිට්ඨෙන
සංකිලිස්සන්ති මානවා
චිත්තේ සුද්ධෙ විසුජ්ඣන්ති
ඉති වුත්තං මහෙසිනො

සිත පිරිසුදු කරන දහමෙහි හැසිරීම කළ යුතු ය. සිත පිරිසුදු කළ හැකි වන්නේ කුසල ධර්මයන්හි යෙදීමත්, අකුසල ධර්මයන්ගෙන් වැළකීමත් මඟිනි. එහිලා සීලාදී ගුණධර්මයන්හි පිහිටා දස අකුසල ආදියෙන් වැළකිය යුතු ය.

සියලු බුදුවරුන් අනුශාසනා කරන්නේ ද ත්‍රිශික්ෂාව වැඩීම සඳහා ය. මෙලොව දුක් දුරුකර සතුටින් විසීමට මෙන් ම සසර සියලු දුකින් මිදීමට ද ත්‍රිශික්ෂාව වැඩිය යුතු ය.

“සබ්බ පාපස්ස අකරණං” යන ගාථා ධර්මයෙන් සියලු බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ධර්මය කැටිකොට අපට දේශනා කරති.

ඒ පවිත්‍ර සිතක් ඇතිකර ගෙන, සියලු පව් දුරුකොට, කුසල් වඩා නිවනින් සැනසීමට ය. එසේ නම් අප සැම ඒ උතුම් බුදු ඔවදන සිහියට නගාගෙන අවබෝධයෙන් යුතුව හැකි පමණින් ඉඳුරන්ගේ දැමුණු බව ඇති කොට මෙලොව ජය ලබමු. පරලොව ද සුගතිගාමී කර ගනිමු.