Print this Article


පහන් සිතක කවි සංස්කරණය

 

විකසිත කරන මල්

සමිඳුන් අබියස මිලාන වන්නට
අනිත දහම හදවත රඳවන්නට
පියුමක් දෝතින් සිරස දරන්නට
විහාර දොරටුවෙ අලෙවි බඳුනකට

නෙත සිත ඇදුනේ බොහෝම දුර සිට
විකසිත වෙනවා පෙත්තෙන් පෙත්තට
අලෙවිකරුගෙ ඒ කඩිසර දෑතට


අඳුරෙන් මිදෙමු

කෙළවර නොමැති සසරේ උපදින මැරෙන
ලෝ සත දුකින් මුදවාලන මඟ සොයන
බුදු නුවණටයි පෙනුණේ යා යුතු ගමන
පුදුමෙකි අසිරිමත් වූ ඒ බුදු නුවණ

බුදු කරුණාවෙ උල්පත ගැලු මහ නදියේ
මතු වූ අනගි සදහම් මිණි කැට පොදියේ
විහිදුන රැසින් කරවා ලොව කල එළියේ
අඳුරෙන් මිදුණි අපමණ සත ලහි ලහියේ

පිදුවත් මල් ටිකක් මේ දෝතින් රැගෙන
මේ මිහිතලයෙ ඇත අපමණ මල් පිපෙන
ඒ සැම නෙළා පිදුවත් සැනසුම නොවන
ඒ මල් සුවඳ පරදාලයි බුදු නුවණ

සතහට පෑව මහ කරුණා ගුණේ තද
සිතු විට කෙලෙස සම්බුදු හිමි පුදන්න ද
දෙසු දම් පරිදි කෙලෙසුන් සහමුලින් බිඳ
බුදුහිමි පිදිය යුතු අප සැම නිවන් වැද


දුරුතු සඳේ සඳ එළියෙන්

සුදු සඳරැස් ගල ගලා
තුරුලිය මත පැතිරිලා
දුරුතු සඳේ සඳඑළියෙන්
බැතිමත් දන පුබුදලා

බුදු සමිඳුගෙ ගුණ කඳ
පවසා දෙන බැති පුද
මුළු තුන්ලෝ වැසියන් හැම
මෙහිදී දසතම අද

සිරිපා වැඳුමට සිතා
පැමිණෙන සතුටින් ඉතා
ලොව බොදු බැති හැම දෙනකුම
නමදිති සිත සුව පතා

කුරුලු රංචු එක් වෙලා
හඬදී නොයෙකුදු තලා
බැතිමතුනගෙ කරුණාවට
පරිසරයම ඔප වෙලා


ඉල්පුර පෝදා

සිත් පහදවාගෙන මතුවට බුදු බව පතලා
ගත් අධිටනින් ගෞතම සසුනට බැඳිලා
ලත් අවසරින් සළුවක් මුනිඳුට පුදලා
මෙත් බෝසතුන් ඉල් පෝයට විවරණ ලබලා

තිලොවට තිලක අපෙ සම්බුදු හිමිගේ
බෙදුමට දහම් හැටනම පළවෙනි සඟගේ
දෙසුමට දහම් සනසා මනුදන සැමගේ
ඇරඹුම වුණේ ඉල්පෝ දිනකයි අපගේ

සම්බුදු සමිඳු අපගේ ගෞතම මුනිඳූ
උරුවෙල විසූ ජටිලයො ළඟ විහිදූ
සම්බුදු බලෙන් තුන්වෑයන් අවිදූ
ඉල් පොහො දිනේ පැවිදිව ඇති පසිඳූ

ගිහිගෙයි සිටියදී ඔහු වී උපතිස්ස
රූපසාරි මව්තුම මිසදුටු දිගැස
යහමඟ ගෙනා සැරියුත් හිමි අගස
පිරිනිවු දිනත් විය ඉල්මහ පොහො දවස

පෙරවස් වසන්නට නොහැකි වු සඟරුවන
පසුවස් පවාරන්නෙත් මේ පෝය දින
ථූපාරාමෙ වැඩ පෑතිස් නිරිඳු දින
ඇරඹුම සිදුව ඇත ඉල් පෝ දා සොඳින


බුදුබණ අසමු

මුනිඳු දෙසු බණ
තත් කල සඟ ගණ
දෙසනා ලෙස රණ
අසනෙමු බුදු බණ

රහතුන්ගේ බණ
දෙසනා සඟ ගණ
නමා සිරස දණ
අසා වඩමු නැණ


දුරුතු පොහෝදා

යක් සෙන් ගතිහු ලක් දෙරණට කළ නේක
කරදර කම්කටොළු බිඳහැර දැමූ සේක
සීතල දුරුත්තේ පසළොස්වක දාක
බුදුහිමි පළමුවර ලක්දිව වැඩි සේක

සම්බුදු සමිඳු බිය කෙරුමට යකුන් රැළ
ගල්මුල් ගසා විද්දා ඇඟට ඊතල
ඒ කිසිවකින් නොවුනා බුදුහිමි සසල
කරුණා දයාවෙන් වැඩුවා මෙත් සිසිල

සම්කඩ එළා ගැනුමට අවසර ඉල්ලා
මොහොතින් මොහොත වැඩුවා මහ ගිනි ජාලා
ඉන්නට නොහැකි තැන භීතිය වැඩි වීලා
ගිරි දිවයිනට යක් රැළ දිව්වා පැනලා

සුදට සුදේ බබළන මියුගුණ සෑයයි
සීතල දුරුතු පෝ දා සුදු සඳ එළියයි
සැදහැති පින්වතුන්ගේ සාධු හඬයි
සිරිලක් දෙරණ වෙත අද සැනසුම් සුවයයි


එකම සිතකින්

මාර වේසෙන් රාග දෑසින්
කිමද ළං වී මා පෙළන්නේ
රාග සිතකින් මිදී සිටිනා
උත්පලාවකි මා

කාමයන්ගේ කාම ලෝකෙන්
සිතින් වෙන් වී නෙතක සැංගී
නිවුණ හදකින් සිසිල සොයනා
උත්පලාවකි මා

එකම සිතකට පිදූ පෙමකට
එරෙහි වන්නට නොහැකි මා හට
එවන් හදකට පෙමෙන් බැඳෙනා
උත්පලාවකි මා


ගමන

මීදුම තුළින්
හුදකලාවේ
මතුව ආ මිනිසා
මීදුම තුළම
හුදකලාවෙම
නැවත යයි ගිලිලා


නිරයට යන හැටි

බලතල නිළතල යහමින් සියතට ගන්නා
සමාජයට සුදු පිරුවට ඇඳ පෙන්වන්නා
සම්මා දිට්ඨිය නොදැකම නොමඟට යන්නා
මිථ්‍යා දෘෂ්ටිය නිසාම නිරයට යන්නා