Print this Article


දිව්‍ය සැප ලබන්නට දෙවිවරු කළ පින්කම්

දිව්‍ය සැප ලබන්නට දෙවිවරු කළ පින්කම්

ත්‍රිපිටකයෙහි දේවතා ශබ්දය බොහෝ තැන යෙදී ඇත්තේ දිව්‍ය ස්ත්‍රිය, දිව්‍ය පුරුෂයා යන භේදයක් සැලකීමෙන් නොවේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම පොදු වචනයක් වශයෙනි. දෙවියෝ ත්‍රිවිධාකාර ය.

සම්මුති දේව – රජවරු, උත්පත්ති දේව – සදෙව්ලොව දෙවිවරු, විසුද්ධී දේව – බුදු, පසේබුදු, මහරහත් යනුවෙනි

බුද්ධ දේශනාවට අනුව ‘දේව‘ යන ව්‍යවහාරයෙන් මූලිකව ම හඳුන්වන්නේ සදෙව් ලෝකවල ඉපිද දිව්‍යමය යස ඉසුරු වින්දනය කරන උසස් ජීවි කොට්ඨාශයක් පිළිබදව ය. ප්‍රධාන වශයෙන් මෙසේ දෙවිවරු උපදින දිව්‍ය ලෝක හයක් පිළිබඳ ධර්මයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයේ දී ‘භුමාටු දෙවියෝ’ විසින් භාග්‍යවතුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන දේශනාව පැවැත්වී යැයි පී‍්‍රති ඝෝෂා කළහ” යැයි සඳහන් වේ.

භූමාටු දෙවියන් යනු මනුෂ්‍ය භූමිය ඇසුරු කරගෙන ගස්, ගල්, පර්වත, ගිරි ගුහා, ලෙන් ආදිය ඇසුරු කොටගෙන ජීවත්වන දේව කොටසකි. සමහර දෙවිවරු ගසේ මුල් වල සුවඳ ආඝ්‍රාණය කරමින් ද, කඳෙහි සුවඳ ආඝ්‍රාණය කරමින් ද, අරටුවේ සුවඳ ආඝ්‍රාණය කරමින් ද, කොළවල සුවඳ ආඝ්‍රාණය කරමින් ද, මල්වල සුවඳ ආඝ්‍රාණය කරමින් ද, ගෙඩිවල සුවද ආඝ්‍රාණය කරමින් ද, එම ආඝ්‍රාණයන් ආහාර කොට ගනිමින් ජීවත් වෙති. මෙසේ විවිධාකාර වූ භූමාටු දෙවියෝ සිටිති.

එසේම ආකාශයේ දිව්‍ය විමාන තනාගෙන ජීවත්වන දෙවිවරු ද වෙති. එම දෙවිවරු භූමාටු දෙවියන්ට වඩා උසස් වෙති. ඔවුන්ගේ කුසල බලය හේතුකොට ගෙන ඊට ගැළපෙන සේ විවිධ තලවල ඕපපාතිකව ප්‍රතිසන්ධිය ලබති. මෙම දෙවිවරු දිව්‍ය ඵෙශ්චර්යයෙන්, දිව්‍ය තේජසින්, දිව්‍ය කීර්තියෙන් බබළන අය වෙති. ඒ අනුව

චාතුම් මහා රාජික දිව්‍ය ලෝකය, තාවතිංස දිව්‍ය ලෝකය, යාමය දිව්‍ය ලෝකය, තුසිත දිව්‍ය ලෝකය, නිම්මාණරතී දිව්‍ය ලෝකය, පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකය යනුවෙන් දිව්‍ය ලෝක හයක් තිබේ. මේවාට සදිව්‍ය ලෝක යැයි ද කියති. එම දිව්‍ය ලෝකවල උපත ලබන දෙවිවරුන්ට අධිපතිකම් කරන පාලක දෙවිවරු ද වෙති. ඒ අනුව

චාතුම් මහාරාජික දෙව්ලොවට අධිපති වන්නේ සතරවරම් දෙවිවරු ය. ධ්‍රථරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ නමින් එම දෙවිවරු හඳුන්වති.

තාවතිංසයත්, චාතුම් මහාරාජික දෙව්ලොවත් යන දෙදෙව් ලොවට අධිපති වන්නේ සක්දෙව් මහ රජු ය.

යාම දෙව්ලොවට අධිපති දෙවිඳුන් සුයාම දෙවිඳුන් වේ.

තුසිත දෙව්ලොවට අධිපති දෙවියන් වන්නේ සංතුසිත නම් දෙව් මහ රජු ය

නිම්මාණරතී දෙව්ලොව පාලක දෙවියන් සුනිම්මිත දෙව් මහ රජු ය

පරනිම්මිත වසවර්තී දෙව්ලොවට අධිපති වනුයේ වසවර්තී දෙව් මහ රජු ය

මේවාට අමතරව බ්‍රහ්මකායික දෙවිවරු උපදින භූමීන් ද තිබේ.

බ්‍රහ්ම පාරිසජ්ජ වාසී බ්‍රහ්මයෝ, බ්‍රහ්ම පුරෝහිත වාසී බ්‍රහ්මයෝ, මහා බ්‍රහ්මවාසී බ්‍රහ්මයෝ, පරිත්තාභ වාසී බ්‍රහ්මයෝ, අප්පමාණහ වාසී බ්‍රහ්මයෝ, ආභස්සර වාසී බ්‍රහ්මයෝ, පරිත්තසුභ වාසි බ්‍රහ්මයෝ, අප්පමාණ සුභ වාසී බ්‍රහ්මයෝ, සුභකිණ්හ වාසි බ්‍රහ්මයෝ, වේහප්ඵල වාසී බ්‍රහ්මයෝ, අවිහ වාසී බ්‍රහ්මයෝ, අතප්ප වාසි බ්‍රහ්මයෝ, සුදස්ස වාසී බ්‍රහ්මයෝ, සුදස්සී වාසි බ්‍රහ්මයෝ, අකනිට්ඨිකා වාසී බ්‍රහ්මයෝ යනුවෙනි.

මෙසේ දිව්‍යමය ශරීර ඇති උසස් උත්පත්තිය ලබන භූමින් පිළිබඳ බොහෝ සූත්‍ර දේශනා තුළ තොරතුරු හමුවන අතර, එම දේවතා ප්‍රමාණය සංඛ්‍යාවකින් දැක්විය නොහැකි තරම් වේ.

ධම්මචක්කප්පවත්තන සූත්‍රය, මහා සමය සූත්‍රය, ධජග්ග සූත්‍රය ආදී සූත්‍ර මෙන් ම සංයුත්ත නිකායේ සගාථ වර්ගයට අයත් දේවතා සංයුත්තයෙහි එන සූත්‍ර අසූ එකත් දේවපුත්ත සංයුත්තයෙහි එන සූත්‍ර තිහත්, මාර සංයුත්තයෙහි එන සුත්‍ර විසිපහත්, බ්‍රහ්ම සංයුත්තයේ එන සූත්‍ර පහළොවත්, සක්ක සංයුත්තයේ එන සූත්‍ර විසිපහත්, දීඝ නිකායට අයත් සක්කපඤ්හ සූත්‍ර දේශනාව වැනි බොහෝ සූත්‍ර දේශනා තුළ දෙවියන් පිළිබඳ තොරතුරු දැකිය හැක.

බුදුරජාණන් වහන්සේගේ දෛනික චර්යාවෙහි, රාත්‍රී කාලයේ මධ්‍යම යාමයෙහි දස දහසක් සක්වල වසන දෙවියන් අවුත් බුදුරජාණන් වහන්සේ වන්දනා කොට ප්‍රශ්න විචාළ අයුරුත්, පිළිතුරු දේශනාවෙන් සතුටු වූ දෙවියන් සතුටු සිතින් බැහැරව ගිය අයුරුත් දැක්වේ. ඛුද්දක නිකායේ විමානවත්ථු පාළියෙහි සඳහන් වන විමානවාසී දෙවිවරු සම්බන්ධ සූත්‍ර අසූපහ තුළම (85) ඒ ඒ දෙවියන් කරන ලද පින්කම් සහ එහි විපාක ලැබීම් විස්තර කර තිබේ. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, ලක්ඛන මහරහතන් වහන්සේ හමු වූ දෙවියන් පිළිබඳ තොරතුරු ද හමු වේ. මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා, අනාථපිණ්ඩික දේව පුත්‍රයා, ජනවසභ දේව පුත්‍රයා මෙන්ම විශ්වකර්ම දේව පුත්‍රයා ද මාර්ගඵලලාභී දෙවිවරු වූහ.

සතර වරම් දෙවිවරු බුදුරදුන් හමු වී ආටානාටිය සූත්‍ර දේශනාව සිදු කිරීමට ආරාධනා කළ ආකාරයෙන් ද දිව්‍ය ලෝකවල දෙවි දේවතාවන්ගේ ස්වභාවය, ආචාරශීලි බව, තැන්පත් ලීලාව, ශ්‍රද්ධාව පැහැදිලි වේ.

තවද බුදුරජාණන් වහන්සේ විසින් සමථ භාවනාවෙහි සම සතළිස් කර්මස්ථානයන් අතර අනුස්සති භාවනාවක් වශයෙන් දියුණු කළ යුතු, වැඩිය යුතු “දේවතානුස්සතිය” දේශනා කර තිබේ. දේවාතානුස්සතිය වඩන අය සදෙව් ලොව උපදින අයුරු ද දක්වා තිබේ. ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා ආදී සේඛබල ගුණධර්ම වර්ධනය කරන අය මරණින් මතු ඊට අනුරූපී දිව්‍ය නිකායන්හි උපත ලබන ආකාරය පෙන්වා දී තිබේ.

යමකු මෛත්‍රී භාවනාව වඩා දියුණු කරගත් මනසින්, එනම් මෛත්‍රී ධ්‍යාන සිතින්, මිය ගියහොත් බ්‍රහ්මකායික බඹලොව උපත ලද හැකි බවත්, එහි පරමායුෂ කල්පයක් බවත්, එහිදී මෛත්‍රිය දියුණූු කොට සිව්සස් අවබෝධ වීමෙන් එම බඹලොව දී ම පිරිනිවන් පෑ හැකි බවත් දැක්වේ.

යමකු කරුණා භාවනාව දියුණු කොට කරුණා ධ්‍යාන සිතින් මිය ගියහොත් ඔහු ආභස්සර බඹලොව උපදින බවත්, එහි පරමායුෂ කල්ප දෙකක් බවත්, එහිදී කරුණාව දියුණූ කොට සිව්සස් අවබෝධ වීමෙන් එම බඹලොව දී ම පිරිනිවන් පාන බවත් දැක්වේ.

යමකු මුදිතා භාවනාව දියුණු කර ගත් මුදිතා ධ්‍යාන සිතින් මියගිහහොත් ඔහු සුභකිණ්හ බඹලොව උපදින අතර, එහි පරමායුෂ කල්ප හතරකි. එහිදී මුදිතාව දියුණු කොට, සිව්සස් අවබෝධ කොට පිරිනිවීමට පත්වන අයුරු දක්වා තිබේ.

යමකු උපේක්ඛා භාවනාව දියුණු කොට උපේක්ඛා ධ්‍යාන සිතින් මියගියහොත් ඔහු වේහප්ඵල බඹලොව උපදින බවත්, එහි පරමායුෂ කල්ප පන්සියයක් බවත් දැක්වේ. උපේක්ඛාව දියුණු කොට සිව්සස් අවබෝධයෙන් එහිදීම පිරිනිවන් පාන බව දැක්වේ.

දෙව්ලොව උපත ලැබීමට ගුණධර්ම දියුණු කිරීම අත්‍යවශ්‍යම ය. දෙව්ලොව උපතක් ලබන්නට වර්ධනය කරගත යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ.

ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පංචවිධ ධර්ම මනාව වර්ධනය කිරීම, මෛත්‍රී කිරීම, කරුණාව දැක්වීම, මුදිතාව දියුණු කිරීම, පරිත්‍යාගය පුරුදු කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ගරු කිරීම, වන්දනා මාන කිරීම, වැව් පොකුණු පිරිසුදු කිරීම, මාර්ග සකස් කරදීම, මංමාවත් පිළිසකර කිරීම, ළිංපොකුණු තැනීම, පිදිය යුත්තන් පිදීම, සියලු යහපත් වූ ගුණධර්ම දියුණු කිරීම.

දෙව්ලොව අධිපති බව ලබන්නට ද දියුණු කළ යුතු ගුණධර්ම රැසක් තිබේ. ඒ අතර “සප්තව්‍රතපාද සමාදානය” ඉතා වැදගත් වේ.

දිවිහිමියෙන් මවුපියන් පෝෂණය කිරීම, දිවිහිමියෙන් කුල දෙටුවන් පිදීම, දිවිහිමියෙන් මිහිරි වචන කථා කිරීම, දිවිහිමියෙන් කේලාම් බස් නොකීම, දිවිහිමියෙන් පරිත්‍යාගශීලි වීම, දිවිහිමියෙන් සත්‍ය කථා කිරීම, දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නකු වීම ය.

දෙවිවරු, අල්පේශාක්‍ය දෙවිවරු. මහේශාක්‍ය දෙවිවරු යැයි කරන ලද පින්කම්වල විපාක විඳීම් වශයෙන්, සැප අඩු, සැප වැඩි දිව්‍යසම්පත් විඳිති. එසේම සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු, මිත්‍යාදෘෂ්ඨික දෙවිවරු කියා ධර්මයට කැමැති, ධර්මයට අකැමැති දෙවිවරු ද වෙති.

බොහෝ දෙවිවරු මිනිසුන්ට පි‍්‍රය ය. දැහැමිව ජීවත් වන,තෙරුවන් සරණ ගිය, සිල්පද රකින, පින්කම් කරන, ධර්මයෙන් අඹුදරුවන් පෝෂණය කරන, යම් මිනිසකු ලෝකයේ කොතැනක වාසය කළත් දෙවිවරු ඔහු රකින්නේ ය. ආශිර්වාද කරන්නේ ය. නමස්කාර ද කරන්නේ ය.

ගුණධර්ම රකින මිනිසා ම දෙව්ලොව දෙවියන් වන්නේ ය. එම දෙවියන් ම, ගුණධර්ම රකින මිනිසුන් මනුෂ්‍ය ලෝකයේ දී ආරක්ෂා කරන්නේ ය.