Print this Article


සෑම පින්කමක් කුසලයක් අවසානයේම නිවන් සුව ප්‍රාර්ථනා කළයුතු ඇයි?

සෑම පින්කමක් කුසලයක් අවසානයේම නිවන් සුව ප්‍රාර්ථනා කළයුතු ඇයි?

මෙලොව ජීවත්වන සෑම පුද්ගලයකුටම තම පුද්ගල දිවිපැවැත්ම සඳහා මහෝපකාරී වන වටිනා සූත්‍ර දේශනාවක් ලෙස ධනංජානි සූත්‍රය පෙන්වා දිය හැක .

ගෞතම බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ පන්සිය නමක් පමණ මහා සංඝයා වහන්සේ සමඟ දක්ෂිණා ගිරි ජනපදයේ වස් සමාදන් වූහ .දක්ශිණාගිරි විහාරය තිබුණේ රජගහනුවර සිට යොදුන් ගණනාවක් ඈතින් ය.

මේ වස් කාලය නිම වී මාසයකට පමණ පසුව එක්තරා භික්ෂූන් වහන්සේ නමක් රජගහනුවර සිට සැරියුත් මහරහතන් වහන්සේ බලන්නට පැමිණියා. සතියක් පමණ දක්ශිණාගිරි විහාරයෙහි වාසය කළ මේ භික්ෂූන් වහන්සේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපයට ගොස් “ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්ස, මම මේ දක්ෂිණ ගිරියේ සිට යොදුන් හතළිහක් පමණ දකුණු දිගින් පිහිටි වනයක වාසය කරමි. මගේ ලොකු ආසාවක් තිබුණා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. මම මෙයට මාස කිහිපයකට පමණ කලින් ආරණ්‍යයෙන් පිටත් වුණා. ඉන් අනතුරුව රජගහනුවරට ආවා. අනේ මහා වාසනාවක්. මට බුදුහාමුදුරුවෝ දකින්න ලැබුණා. උන්වහන්සේ මගෙන් ආ ගිය තොරතුරු විමසුවා.

"ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්ස, මා වස්කාලය ගතකළේ වේළුවනාරාමයේ යි. පසුගිය හාර මාසය ම බුදුහාමුදුරුවෝ දැක්කා. දිනපතාම සවස් භාගයේ උන්වහන්සේගෙන් බණ අහන්න ලැබුණා. එයින් මගේ ශ්‍රද්ධාවත්, ධර්මය පිළිබඳ දැනුම හා අවබෝධයත් දියුණු වුණා. නොසිතූ ලාභයක් මට ලැබුණේ.

බුදුරජාණන් වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේගෙන් වැඩි දෙනෙක් දකින්නට ලැබුණු නමුත් සැරියුත් මහරහතන් වහන්සේ දකින්ට නොහැකි වුණා. ඒ නිසාම පැමිණුනේ ඔබ වහන්සේ බැහැ දකින්න. දවස් කිහිපයක් ඔබ වහන්සේගෙන් බණ අසා යන්ටයි පැමිණියේ."

“සැරියුත් මහරහතන් වහන්සේ සුදුසු ධර්මාව වාදයක් මේ භික්ෂූන් වහන්සේට ලබා දී එම භික්ෂූන් වහන්සේ ප්‍රමුදිත කළා. උන්වහන්සේ සතියක් පමණ ගත කොට නැවත යාමට සූදානම් වන අවස්ථාවේ රජගහනුවර පිළිබද තොරතුරු ටිකක් සැරියුත් මාහිමියන් විසින් එම භික්ෂූන් වහන්සේගෙන් විමසනු ලැබුවා. “කෙසේද ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ සුවසේ වෙසෙනවා ද” ?

එසේ ය ස්වාමීනි.

"මාගේ පැවිදි සොයුරු මුගලන් මහරහතන් වහන්සේ කෙසේද”

උන්වහන්සේ මෙවර ගිජ්ජකූටයේ වස් විසුවා. ආනන්ද මහතෙරුන් ආදී අනෙකුත් උතුමන් ගැන ද විමසුවා. “රජගහනුවර මගේ හිත මිත්‍රයෙක් සිටිනවා. ඔහුගේ නම ධනංජය බ්‍රාහ්මණයා. ඔහු කෙසේද? සුවසේ වෙසෙනවද?.

“අනේ සාරිපුත්තයන් වහන්ස, ඒ පිළිබඳ නම් අසන්න එපා. ඔබ වහන්සේගේ මිත්‍රයා පිළිබද එතරම් සුභවාදී කරුණු නම් නෑ.

“ස්වාමීනි සාරි පුත්‍රයන් වහන්ස, ඔබ වහන්සේගේ මිත්‍ර ධනඤ්ජානි බමුණා රජු සමඟ ලෙන්ගතුකම් දක්වා මහා මහජනයා මුලාකොට මහජන දේපළ ගසා කනවා . ශ්‍රද්ධාවන්ත වැදගත් පවුලකට අයත් ඔහුගේ ගුණවත් බිරිඳ මිය ගියා. දැන් ඔහු කිසිම සැදැහැත් බවක් නැති, කිසිවකුටවත් උපකාරයක් නොකරන ස්ත්‍රියක් සරණ පාවා ගෙන තිබෙනවා. ඔහොම තමයි ඔබ වහන්සේගේ මිත්‍රයා ගැන කියන්න තිබෙන්නේ. ඔහුගේ නම කියන විට කවුරුත් අකමැති යි.

“ඇවැත්නි, ඔබ වහන්සේගෙන් මගේ මිත්‍රයා ගැන දැන ගන්නට ලැබුණු දේ පුදුමයි. ඔහු ගැන රටේ පවතින රාවය හොඳ මදි. මම ළඟදීම රජගහනුවරට ගිය විට ඔහු හමුවීමට යනවා” යනුවෙන් සැරියුත් මාහිමියෝ ප්‍රකාශ කළහ.

දෙතුන් දිනකට පසු සැරියුත් තෙරුන් වහන්සේ උදෑසනම තම මිත්‍රයා වන ධනඤ්ජානි බමුණුතුමා දකින්නට පිටත් වුණා. ඒ යන අතරමඟ දී දන්නා කියන බමුණු කෙනකු හමුවුණා. බොහෝ සතුටින් සුවදුක් විචාරා ගෙදරට වැඩමවා , දවල් පිණ්ඩපාතය පූජා කළා. දන් වළඳා ස්වල්ප වේලාවකින් ඔවුන්ට ධර්මානුශාසනාවක් කළ සැරියුත් හිමියන් තම මිතුරාගේ නිවසට වැඩියා. ඒ යන වෙලාවේ ධනංජානී බ්‍රාහ්මණ තුමා පානය කිරීම පිණිස විශේෂ ආරක්ෂාවක් සහිතව වෙසෙන තම එළදෙනගෙන් කිරි දොව දොව සිටියා. තමාගේ ප්‍රයෝජනයට කිරි එළදෙනකු ඇති කිරීම ඔවුන්ගේ සිරිතක්.

සැරියුත් හාමුදුරුවන් දුටු විගසම ගේ ඇතුළට වඩමවා උන්වහන්සේට කිරි වීදුරුවක් පූජා කළා. “ධනංජානී බමුණු තුමනි, දැන් මට කිරි එපා. මම එන අතරතුර දානය වළඳලයි ආවේ"...

“නැත ස්වාමීනි, ඔබ වහන්සේ මෙය පිළිගන්නා සේක්වා”

මට මෙය එපා යනුවෙන් උන්වහන්සේ ප්‍රතික්ශේප කළහ.

“ස්වාමීනි, සාරිපුත්තයන් වහන්ස, මට ඔබ වහන්සේ, දුටු විගසම දන් ටිකක් පූජා කරන්නට ආසාවක් ඇති වුණා. පසුව මගේ හිතේ තිබෙන බොහෝ දේ කියන්නට ඕනෑ” යනුවෙන් බමුණා ප්‍රකාශ කළා.

“ධනංජානි බමුණු තුමනි කලකිරෙන්න එපා. මම දැන් අර නුග ගහ යටට ගොස් විවේකීව ඉන්නම්. ඔබ කෑම කා එතැනට එන්න. එවිට අපට ටික වෙලාවක් කතා කරන්නට පුළුවන්”

සැරියුත් තෙරුන් ඒ මහා වනස්පති ගස යටට ගොස් දිවා විහරණයෙන් ටික වෙලාවක් ගත කරද්දී බමුණු තුමා ද එතැනට පැමිණියා. දෙදෙනා අතර සාකච්ඡාවක් ඇතිවුණා.

සාරිපුත්‍රයන් වහන්ස, බොහෝ කාලෙකින් ඔබ වහන්සේ මේ දැක්කේ.. පසුගිය කාලයේ මට කරදර රාශියක් සිද්ධ වුණා. මගේ අර ගුණවත් සැදැහැවත් බිරිඳ හදිසි ආබාධයකින්,රෝගයකින් මිය ගියා. එය මට දරාගන්න බැරි පාඩුවක්. කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිණිස මම නැවත දුප්පත් බමුණු පවුලකින් කාන්තාවක් සරණ පාවා ගත්තා. ඇය බොහෝ ආඩම්බරයි. අහංකාරයි. දුප්පත් පවුලකින් තෝරාගත්තේ ආඩම්බරය අහංකාරකම අඩුවෙයි කියලයි. නමුත් එය හිස් බලාපොරොත්තුවක් වුණා.” යනුවෙන් බමුණු තුමා තමන්ගේ හිතේ තිබෙන වේදනාව සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා.

මගේ මිය ගිය බිරිඳ බොහෝම ගුණවත්, මගෙන් අඩුපාඩුවක් වුණත් ඒ සියල්ල අමතක කොට කටයුතු කිරීම ඇගේ සිරිතක්. කෙනෙක් යම් කිසි අමාරුවක් වී ආ විට පිහිට වෙනවා. මහජනයා අතර ඇය ගැන තිබුණේ පුදුම ලැදියාවක්, බැඳීමක්. දැන් ඉන්න බිරිඳගේ නපුරුකම් නිසා මිනිස්සු මා කෙරෙහි කලකිරීමක් තිබෙනවා. ස්වාමීනි, මේ වගේ ප්‍රශ්න රාශියක් මැදයි මා ජීවත් වන්නේ.”

ධනංජානි සිටුතුමනි. මට ඔබ ගැන අගුණ රාශියක් දැන ගන්නට ලැබුණා. ඒ නිසා මාත් ඔබ හමුවීමට පැමිණියා. ඔබ නරක විදිහට රාජසන්තක දේපළත්, මහජන සන්තක දේපළත්, ගසා කන කතාවක් රටේ තිබෙනවා. ඔබ එසේ කර ඔය හැටි ධනය උපයන්නේ කුමකට ද?.

“ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්ස, ගිහියන් වූ අපට වියහියදම් මාර්ග බොහෝමයක්. එනිසා ධනය ඉපයීමේ දී ප්‍රමාද අඩුපාඩු ඇති වීම පුදුමයක් නොවෙයි.”

ස්වාමීනි, බොහෝ මවුපියන් පෝෂණය කරන්න, රැකබලා ගන්න තිබෙනවා. අඹු දරුවන් පෝෂණය කරන්න තිබෙනවා. අපගේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, කර්මාන්ත ශාලාවල වැඩකරන පිරිස බලාගන්න තිබෙනවා. අසල්වාසීන්ගේ අමාරුකම් ගැන සොයා බලන්න තිබෙනවා. මියගිය අයගේ අවමංගල්‍ය කටයුතුවලට පිහිට වෙන්න තිබෙනවා. ආගමික කටයුතු, දේව පූජා ආදිය සපුරාලන්න තිබෙනවා. රාජකාරි කටයුතු, අය බදු ගෙවීම් ආදී වැඩ තිබෙනවා. මේ සියල්ලම නොපිරිහෙලා ඉටුකරන අතර අපිත් හොඳට කන්න බොන්න ඕනෑ. සිත සතුටු වන නැටුම් ගැයුම් බඳු ඉන්ද්‍රිය පිනවන දේ නරඹන්න ඕනෑ. එහෙම නැතිව මේ ලෝකෙ ජීවත් වෙන්න බැහැ. මේ කියපු සෑම දෙයකට ම මුදල් උවමනා කරනවා. වස්තුව නැති නම් ඔය එකක්වත් ඉටු කරන්න බැහැ. මුදල් ඉපයීමේ දී ප්‍රමාද දෝෂ ඇති වන්නේ ඒ නිසයි.”

ධනඤ්ජානි බමුණා ගේ මේ ප්‍රකාශය අසා සිටි සැරියුත් හිමියන් ධනඤ්ජානි බමුණු තුමාගෙන් මෙසේ ප්‍රශ්න කරන්ට පටන් ගත්තා.

“මිත්‍ර බමුණුතුමනි, මේ ටික අහන්න, ඔබ දැන් මට කීවා මව් මවුපියන් පෝෂණය කරන නිසා ධනය වුවමනා බව. හොඳයි. ඔබ අදමිටුකමෙන්, නරකින් ධනය උපයා මවුපියන්ට සලකනවා. එය හැබෑවක් ද?. ඔබ මරණ මොහොතට පත් වූ විට මරණ බිය ඇතිවෙයි. නිරපල්ලන් දැන් ඔබ නරකයට ඇද ගෙන යාමට සූදානම්. ඔබට නිරපල්ලන්, යමපල්ලන් කර්ම වේගය නිසා පෙනෙන්ට පටන් ගනියි. ඒ අවස්ථාවේ දී බමුණුතුමනි, ඔබට පුළුවන් ද යමපල්ලනේ මා අපායට ගෙන යන්න එපා.

මම අධර්මයෙන් හම්බ කළාට වියදම් කළේ මවුපියන්ට කියා බේරෙන්නට හැකි ද?”

“නොහැකියි ස්වාමීන් වහන්ස”

“හොඳයි ධනංජානි, ඔබේ මවුපියෝ පැමිණ මේ අපේ පුතා අපට හොඳට සැලකුවා. යමපල්ලනි අපායට ගෙන යන්නට එපා. කියා බේරාගන්ට පුළුවන් ද?.

“බැහැ ස්වාමීනි.”

“හිතවත් බමුණු තුමනි, ඒ මරණාසන්න මොහොතේ දී ඔබ කියනවා මං අධර්මිෂ්ට ලෙස අසාධාරණ ලෙස ධනය හම්බ කළාට දූ දරුවන් වෙනුවෙන්, නෑදෑයින් වෙනුවෙන් අසල්වාසීන් වෙනුවෙන් වියදම් කළා. ඒ නිසා මාව නරකයට ගෙන යන්න එප, බේරෙන්න පුළුවන්ද.?

“බැහැ ස්වාමීනි”

එසේ නම් අනුන්ට උදව් කරන්ට කියා වැරැදි වැඩ කරන එක හොඳද?.”

නරකයි. සාරිපුත්ත මාහිමියන් වහන්ස. දැන් මට තේරෙනවා ස්වාමීනි, කවර කෙනකු වෙනුවෙන් වත් පව් කරන්න හොඳ නැහැ කියලා”. ධනංජනී, අපාගත වන මොහොතේ දී රජුට ඉදිරිපත් වී බේරා ගන්ට බැහැ. දැන් ඔබට කාරණය තේරුණා. මෙසේ කරුණු කියා ඔහු හොඳ මඟට යොමු කොට සැරියුත් තෙරණුවන් වහන්සේ ආපසු වේලුවනාරාමෙට වැඩම කළා.

ඉන් අවුරුදු පහළොවකට, විස්සකට පසු මහලු ධනංජානි බමුණු තුමා රෝගාතුර වුණා. මාස ගණනකට පසු අසාධ්‍ය වුණා. දැන් කිසිම බෙහෙතක් අහන්නේ නැහැ. මේ අවස්ථාවේ බමුණු තුමා තමන්ගේ තවත් ඥාතිවරයකුට කතා කරලා, දැන් මගේ අන්තිම අවස්ථාව. තව දවස් දෙකක්වත් ජීවත් වෙයි කියා හිතා ගන්න අමාරුයි. දැන් මට කරන්න තිබෙන ලොකුම උපකාරය මගේ හිතමිත්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ දෑස් පියවෙන්න කලින් දකින්ට සැලැස්වීමයි. වහා ගොස් මාගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේ වඳින්න. එසේම සාරිපුත්තයන් වහන්සේට මා වෙනුවෙන් වැඳ මාගේ තත්ත්වය පහදා දී උන්වහන්සේ දකින්ට මා බලවත් කැමැත්තෙන් සිටින බව දන්වා මෙහි වැඩමවාගෙන එන්න. මට දැන් කළ යුතු උපකාරය මෙයයි.

ඔහු වහා වේළුවනාරාමයට ගොස් බුදුරදුන් දැක වැඳ පුදා, නැවතත් ධනංජානි තුමා වෙනුවෙන් ද බුදු පියාණන් වහන්සේට වැඳ දැනුම් දුන්නා. ඉන්පසු සැරියුත් තෙරුන් වහන්සේ සොයා ගොස් මිතුරු ධනඤ්ජානි බමුණු තුමා තදබල ලෙස රෝගාතුරව සිටින බවත් උන්වහන්සේ දකින්නට බලවත් කැමැත්තෙන් සිටින බවත් දන්වා සිටියා. “හොඳයි මා එන්නම්” කියා සැරියුත් මහරහතන් වහන්සේ හිරු අවරට හැරෙන්ට ධනංජානි නිවසට වැඩම කළා.

ධනංජානි සිටුවරයාට හරිම අමාරුයි. එතුමාගේ දරුවන් පැමිණ උන්වහන්සේ ගේ ඇතුළට වැඩමවා අසුනක් පනවා, පියාණෙනි ඔබ නිතර නිතර සාරිපුත්ත හාමුදුරුවන් මතක් කළා. දැන් උන්වහන්සේ වැඩම කොට මෙහි වැඩ ඉන්නවා.

දරුවනි, මට විශාල සැනසිල්ලක් උන් වහන්සේ මේ ළඟ වැඩ ඉන්නවා. සතුටට පත් ධනංජානි බමුණු තුමා අමාරුවෙන් දෑස් ඇර අත්දෙක දරුවන්ගේ ආධාරයෙන් එක්කොට පපුව මත තබාගෙන වැන්දා. ඉන්පසු අමාරුවෙන් මෙසේ කියන්ට පටන් ගත්තා “ස්වාමීනි, දැන් නම් මට බොහොම අමාරුයි.

අහෝ දුකයි “සැරියුත් මාහිමියන් වහන්ස, මට නම් ඉවසන්න බැහැ. මට නම් ඉන්නට බැහැ. දුක් වැඩියි. මොන විදියකින්වත් දරාගෙන ඉන්න බෑ .හොඳ හයිකාරයෙක් උලකින් මගේ හිසට අනිනවා වගේ දැනෙනවා. හරියට හරක් මරන්නෙක් මුවහත් පිහියෙන් මස් කපන්නා සේ මගේ කුස තුළ කපනව වගේ දැනෙනවා. හොඳ ශක්තිය ඇති දෙන්නෙත් දුබලයකු අල්ලාගෙන ගින්නෙහි දමා එහාට මෙහාට අදිමින් පුළුස්සන මෙන් මගේ මුළු ඇඟම දනවා. සාරිපුත්තයන් වහන්ස, බොහොම අමාරුයි. ඔබ වහන්සේගේ පිහිට මිස වෙන පිහිටක් නැහැ. මට සුගති සැපයක් සලසා දෙනු මැනවි. ඔබවහන්සේ කැඳවා ගත්තේ මේ ටික කියන්නමයි” කියා ඔහු කීවා.

සැරියුත් මහ තෙරුන් වහන්සේ මහා ප්‍රඥාවන්ත මනෝ විද්‍යාඥයෙක් බඳු ය. එහෙයින් උන්වහන්සේ දැන ගත්තා බමුණු තුමාගේ අන්තිම අවස්ථාව බව. දැන් මෙතුමා නොකියා කියන්නේ අපා දුක් හිතට පේන ආකාරයයි. යමපල්ලන් නිරිසතුන් ධනංජානී තුමාගේ මනස වෙළාගෙන සිටින අයුරුයි. “මේ මගේ මිතුරා අපා දුකින් ගලවා ගැනීම මගේ යුතුකමක්. මගේ බුද්ධි මහිමය අනාගත ගිහි පැවිදි කාටත් තේරුම් ගැනීමට හැකි වන පරිදි ආදර්ශයක් වශයෙන් මා විසින් ඔහුගේ සිත, මනස වෙනත් අතකට යොමු කළ යුතුයි. එය මහා කුසලයක්. මීට වඩා උපකාරයක් නෑ. ඒ ශ්‍රේෂ්ඨ සැලකිල්ල මම දැන් සපුරාලිය යුතු යැයි අධිෂ්ඨාන කරගෙන සැරියුත් හාමුදුරුවෝ තමන්ගේ දේශනාව ආරම්භ කළා.

“ධනංජානි මිතුරු තුමනි, මගේ වචනයට හොඳීන් ඇහුම් කන් දෙන්න” දැන් ඔබ බොහොම අමාරුවෙන් ගොත ගසමින් කීවේ, ඔබේ අමාරු තත්ත්වයයි. ධනංජානි මේ අවීචි මහා නරකය, බොහෝම දුකක්. හැබැයි ඊට වඩා තිරිසන් අපාය හොඳ බව කිව යුතුයි. මෙසේ උන්වහන්සේ අපායට වඩා ඉහළින් තිරිසන් අපාය ගැන වර්ණනා කොට මෙහෙම ඇසුවා.

“ඔබට මේ දෙකෙන් හොඳ කුමක් ද? “ස්වාමීනි, සාරිපුත්තයන් වහන්ස, අපායට වඩා තිරිසන් ලෝකය හොඳ යැයි මට සිතේ.

කොහොමද ප්‍රේත ලෝකය, නොපෙනී යා හැකි තරම් බලයක් ඇති තැනක්, තිරිසන් ලෝකයේ ඒ බලය නැති බව පේනවා.

මෙසේ තිරිසන් ලෝකයට වඩා ප්‍රේත ලෝකය පිළිබඳ සිත් අලවන දේ පවසා ඔහුගේ සිත ප්‍රේත ලෝකයට යොමු කිරීමට සැරියුත් තෙරණුවෝ සමත් වූහ. පෙර සේ ම නැවත මෙසේ ප්‍රශ්න කළ සේක. “කොහොමද හිතන්නේ මිනිස් ලෝකෙ හොඳ තැනක්. සැප සම්පත් ලබා ගත හැකි තැනක්. පින්කම් යුතුකම් ඉටු කර ගන්ට පහසු තැනක් අර ප්‍රේත ලෝකය හොඳ ද? නැත්නම් මේ කියන ලෝකය හොඳ ද?.

මගේ සිත සර්වප්‍රකාරයෙන් ම මිනිස් ලෝකයට යොමුවුණා ස්වාමීනි. මට මිනිස් ලෝක සුදුසු යැයි බමුණු තුමා ප්‍රකාශ කළා.

ජීවත් වෙලා ඉන්න කාලසීමාව තුළ සිදු කළා වූ වැරැදි දේවලට මරණින් මතු අපායගාමී වීමට ඉඩ තිබූ මොහු තමන්ගේ චිත්ත සිතිවිලි හරහා දිව්‍ය ලෝකය දක්වාම මනස යොමු කරවීමට සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමත් වූ ආකාරය ඉන් ගම්‍ය වෙනවා. බ්‍රාහ්මණ තුමනි දැන් කෙසේද?. මේ ඉහළම දිව්‍යලෝකය හොඳද? මීට වඩා අතිශයින් ම යහපත් බඹලොව හොඳ ද?. බඹලොව තත්වය මෙහෙමයි. බ්‍රාහ්මණ ලෝකයට හිත යොමු කරමින් කරුණු පැහැදිලි කළ සැරියුත් හිමියන් ,

බඹලොව යාමට නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණ හතර ඇති කරගන්ට ඕන. එසේ ගුණ ඇති කර ගන්නේ මෙහෙමයි කියමින් කරුණු පැහැදිලි කළා.

දැන් බමුණු තුමාට අන්තිමයි. සතර බඹ විහරණයට සිත යොමුකොට, සමාධිගත කොට සැරියුත් තෙරණුවෝ නිහඬව පිටත් වුණා.

“කිසිම කෙනෙක් කලබල කරන්න එපා. ශබ්ද කරන්න එපා. හඬා වැළපෙන්න එපා. එතුමාගේ අවසන් ගමන ඔය පිහිටන ලද සිතින් යාමට ඉඩ දෙන්න,” කියා දරුවන්ට උපදෙස් දී සැරියුත් මාහිමියන් එම නිවසෙන් පිටත්ව ගියා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සෑම සවස් කාලයක ම ධර්ම දේශනා කරන අවස්ථාවේ ජනී ජනයා අතිවිශාල පිරිසක් බණ අහන්ට රැස්වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසගෙන් මෙසේ ඇසුවා. අර ඈත වඩින්නේ කවුරුන්ද?. සියල්ලෝ ම ඒ පැත්ත බැලුවා.

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, ඒ වඩින්නේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේයි. ඒ මාගේ පුත්‍රයා එසේ මෙසේ හපන්කමක් ඉටුකරලා කියලද හිතන්නේ. අතිවිශාල ක්‍රියාවක්. මාගේ ශ්‍රාවකයකු විසින් කළ හැකි ඉහළම වැඩක් සිදුකර ඔය එන ගමනක්. අපාගත වීමට සිටිය ධනඤ්ජානි බමුණු තුමා බඹලොව ඉපදීමට ලස්වා මාගේ පුත්‍රයා පැමිණෙනවා. සියල්ලෝ ම සාධුකාර දුන්නා.

බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රශ්න කළා.

“සාරිපුත්ත , ඔබ කොහි සිටද එන්නේ? “බුදුරජාණන් වහන්ස, ධනංජානි බමුණු තුමාගේ නිවසේ සිට එන්නේ.”

ඔබ එහේ ගියේ ඇයි ? “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔහුට අන්තිමයි. බලන්නට කැඳවීමක් තිබුණා. මා යන විට ඔහු අපා බියෙන් හඬනවා. මම ඔහුගේ සිත නොදැනුවත් ම පිළිවෙලින් ලෝකයෙන් ලෝකයටම හෙමින් බඹලොව දක්වා යොමු කලා. “හොඳයි සාරිපුත්ත මොකද වුනේ?. බුදුරජාණන් වහන්ස, මම පැමිණියා මිස සමවතට සිත යොමු කරවා ඔහුට සිදුවුනේ කුමක් දැයි බැලුවේ නැහැ.”සුලු මොහොතකට කලින් ඔබ එන අතරතුර ඔහු මියගොස් බ්‍රහ්මලෝක උප්පත්තිය ලැබුවා.

ඔබ චතුරාර්ය සත්‍යය පිළිබඳ තවත් කරුණු ටිකක් මතක් කලා නම් ඔහු බඹ ලොව උපදින්නේ සෝවාන් ඵලයට පත් ආර්ය ශ්‍රාවකයකු වශයෙනුයි.

“මහණෙනි, ලෝකයේ බුදුවරු පහළ වන්නේ මිනිසුන් දෙව්ලොව යැවීමටවත්, බඹලෝ යැවීමටවත් නොවේ. සත්වයා මේ දුකින් එතෙර කරවීමටයි. අමාමහනිවන් දක්වාම යොමු කර වීමටයි. මහණෙනි, බණ පද හතරක් දේශනා කර අවසාන බණ පදයකින් හෝ පුද්ගලයාගේ සිත නිවනට යොමු කළ යුතු යැයි එදා බුදුරජාණන් වහන්සේ විස්තර සහිතව දේශනා කළා. මෙසේ කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දි සැරියුත් තෙරණුවෝ බඹ ලොවට වැඩම කොට තමන්ගේ මිත්‍ර ධනංජානී බ්‍රාහ්මණයාට බණ කියා සෝවාන් ඵලයට පත් කළා.

එදා පටන් කවර තැනක බණ ටිකක් වදාරන අවස්ථාවේ දී වුණත්, කෙබඳු ආකාරයෙන් පිනක් කරන අවස්ථාවක දී වුණත් අවසානයේ දී නිවනට ම සිත යොමු කොට අවසන් කිරීම සිරිතකි. මේ කුසලයෙන් අපට නිවන් සැප ලැබේවා'යි ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මේ දේශනාවෙන් පසුව ය.

ඒනිසා ධනංජානි සූත්‍රය වැදගත් සූත්‍රයක් , එදා උසස් තනතුරු දැරූ ඇතැම් අය ධනය ඉපයූ ආකාරයත් මෙයින් පැවසෙනවා. එසේම මහජන අප්‍රසාදය පැතිරී යන සැටිත්, යහපත් බිරිඳක් ගැනත්, එබඳු ගුණවත් කාන්තාවක් පිළිබඳ ලැබෙන යහපත් ප්‍රතිඵල මෙයින් පැහැදිලි වෙනවා.

නරක ස්ත්‍රියක භාර්යාවක වුවහොත් අගුණ රටේ පැතිරී යන සැටිත් මේ සූත්‍රයෙන් දැක්වෙනවා. ඒ සියල්ලට ම වඩා කෙනකුගේ මරණ මොහොතේ දී පහළ වන තත්වය ගැන ද ධනංජානි බමුණු තුමා අන්තිම මොහොතේ ගොත ගසා කියන ලද කරුණුවලින් පෙනෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළ කාරණය අපි කවදාවත් අමතක කළ යුතු නෑ. බුදුවරු ලොව පහළ වන්නේ මනුෂ්‍යයන් දෙව්ලොව යැවීමට නොව බඹලොව යැවීමට නොව නිවන් දැක්වීමට බව උන්වහන්සේ දේශනා කළා. බුදුවරුන් පහළ නොවුණත් හොඳ ක්‍රියාවන් කළොත් සත්වයෝ දෙව්ලොව උපදිනවා. වෙනත් ආගම් දෘෂ්ටිය අනුව පිළිපැද බඹලොව යනවා. එහෙත් නිවන් මඟ පෙන්වීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වීම විය යුතුයි. එනිසා අපගේ සෑම කුසලයක අවසානයේ පැතුම නිවන විය යුතු වේ.