Print this Article


බෝධීන් වහන්සේ තුන්නමක් වැඩ වෙසෙන දෙකටන නාමළුව පුරාණ විහාරය

බෝධීන් වහන්සේ තුන්නමක් වැඩ වෙසෙන දෙකටන නාමළුව පුරාණ විහාරය

හෙළ වංශකථාවලට අනුව දෙකටන නාමළුව පුරාණ විහාරස්ථානය මෙරට බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට ලක් වු පුද බිමක් වන්නේ ශ්‍රී නාගපතිණි මෑණියන් බුදු බව පතා භාවනායෝගිව වැඩ හිටි ස්ථානය ලෙස ප්‍රකට බැවිනි.

දඹදෙණි යුගයට අයත් මෙම විහාරස්ථානය පිළිබද ඉකුත් සමයේ ජනතාවගේ අවධානය යොමු වන්නේ වසර 200 කටත් අධික කාලයක් එහි වැඩසිටි දඹදිව ආනන්ද බෝධි ශාඛාව අපවත්වීමත් සමඟ ය . ආනන්ද බෝධි ශාඛාව අපවත් වීම පිළිබඳ අප එම විහාරස්ථානයේ විහාරාධිකාරී විශ්ව කීර්ති ශී‍්‍ර ධම්මභාණී ප්‍රණිධි පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ශාස්ත්‍රපති විද්‍යා විශාරද වෙන්නවත්තේ රතන ජෝති හිමියන් සමඟ කතාබහ කළෙමු. එහිදී උන්වහන්සේ මෙසේ වදාළහ.

“දෙකටන නාමළුව පුරාණ විහාරස්ථානය මෙරට බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට ආදරයට පත් වු පුද බිමක්. මෙම විහාරස්ථාන පිහිටීම අනුව නැගෙනහිර දිශාව බැලු විට ශී‍්‍ර පාදස්ථානය දැක ගන්න පුළුවන්. ඒ වගේම බටහිර පැත්තෙන් බලන විට අපිට පෙනෙන්නේ කැලණිය රාජමහා විහාරය යි. දොම්පේ මැතිවරණ කොට්ඨාශය තුළ පිහිටා තිබෙන සියවස් ගණනාවක් බෞද්ධ ජනතාවගේ වැඳුම් පිදුම්වලට ලක් වු මෙම පුදබිම ලන්දේසි, පෘතුගීසි හා ඉංග්‍රීසි ජාතිකයන් මෙරට පාලනය කරන සමයේ විවිධ බලපෑම්වලට ලක් වුවත් මෙහි වැඩසිටි දඹදිව ආනන්ද බෝධි ශාඛාව වසර දෙසීයකට අධික කාලයක් විරාජමානව තිබ්බා. නමුත් ඉකුත් සමයේ විවිධ හේතු මුල් කර ගෙන මෙම බෝධීන් වහන්සේ අපවත් වුණා. එය බෞද්ධ, අබෞද්ධ කාගේත් කනස්සල්ලට හේතුවක් ද වුණා. මේ අපවත් වූ බෝධීන් වහන්සේගේ ආදාහන කටයුතු අපි ඇසළ මස පෝය දින සියලුම චාරිත්‍රානුකූලව අවසන් කෙරුවා. ඉන්පසු බෝධීන් වහන්සේ තුන් නමක් විහාරස්ථානයට වැඩමවීම සිදු කෙරුවා. ඒ අනුව දඹදිව ආනන්ද බෝධියේ ශාඛාවක්, දඹදිව ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක්, අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධි ශාඛාවක් අද මෙම විහාරස්ථානය තුළ වැඩ හිඳිනවා.

මෙම බෝධීන් වහන්සේ නාමළුව පුරාණ විහාරස්ථානය තුළ රෝපණය කිරීම බෞද්ධ අප කාගේත් සිත් සතන් මෙත් සිසිලෙන් පුරාවාළු කාරණයක්. මේ බෝධීන් වහන්සේ ලා රෝපණය කිරීමේ ඓතිහාසික මොහොත හරිම වැදගත්. මෙහිදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශාඛාව මමත්, සජන සංහිත ගංගාධර කුමරුවාත්, දඹදිව ආනන්ද බෝධි ශාඛාව සනත් නන්දන මහතාත්, දඹදිව ශ්‍රී මහා බෝධි ශාඛාව අනුර ජයවර්ධන මහතාත් උඳුවප් මස හෙවිසි හොරණෑ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රෝපණය කෙරුවා. අද අප විහාරස්ථානය සුවිශේෂී විහාරස්ථානයක් බවට පත්වෙලා කාගේත් ගෞරවයට ආදරයට ලක් වන ස්ථානයක් වෙලා”.

සියවස් ගණනාවක් ඈතට දිවෙන ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන දෙකටන නාමළුව පුරාණ විහාරස්ථානය අද බෝධීන් වහසේ තුන් නමකගේ සිසිලෙන් නැහැවී සැදැහැවත් සිත් සතන් පහන් කරන බෞද්ධ උරුමයක් බව නොරහසකි.