Print this Article


බෙලිඅත්ත කහවත්ත රාජමහා වෙහෙර

බෙලිඅත්ත කහවත්ත රාජමහා වෙහෙර

මහනුවර යුගයට අයත් මෙම කහවත්ත රාජමහා වෙහෙර මහානාග රජු විසින් ඉදිකලා යයි සැලකේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කහවත්ත නම් වූ ග්‍රාමවරයෙහි මෙම පුදබිම පිහිටා ඇත.

දකුණු ගිරුවා දනව්ව හරහා ගලා බසින රමණීය නදියක් වන කිරමඔය අසබඩ මෙම පින්බිම පිහිටා ඇත. අක්කර 08ක පමණ වූ පරිසරය තුළ විශාල ගල්කණු - වෙහෙර, විහාර, ගොඩනැඟිලි බෝධි ප්‍රාකාර වැනි ඉදිකිරීම්වල නටබුන් පොළවට යටවී ඇත. විවිධ ස්ථානවල එම පාදම් මතුවී ඇත. එකල රජ දවස ඉදිකල ගරා වැටී ඇති චෛත්‍ය මත වසර 2000ක් පමණ ඉපැරැණි ඉතා අනුහස් බලැති බෝධිය පිහිටා ඇත.

මෙම ස්ථානයෙහි මහරහතුන් වහන්සේ පන්සියයක් පමණ වැඩ සිට ඇති අතර, උන්වහන්සේ කිරම ඔයෙන් සිවුරු සෝදා වේලෙන්නට ප්‍රදේශය පුරා අතුරා තිබූ බැවින් කසා වස්ත්‍රයෙන් බැබළුණු ප්‍රදේශයක් හෙයින් “කහවත්ත” යැයි නම් ලැබී ඇත. 1800 දී පමණ මෙම ස්ථානයට මුල්ගිරිගල සඟ පරපුරේ මහනුවරින් පළමු උපසම්පදාව ලද වටරක්ගොඩ ධම්මපාල හිමියන්ගේ ශිෂ්‍යනමක් වන ගල්වැවේ සෝභිත හිමි පැමිණ කුටියක් තනා අතිදුෂ්කර දිවියක් ගෙවමින් භාවනානුයෝගීව වැඩ සිට ඇත. අනතුරුව කහවත්තේ බුද්ධරක්ඛිත හිමිගෙන් පසු වඳීන පුදන ස්ථානයක් බවට පත්කරමින් වැඩ සිට ඇත. ඉන්පසු අකුරුගොඩ සුදස්සී, කහවත්තේ පියරතන, ගලගම රතනජෝති, ඌරුගමුවේ ධම්මාලෝක යන හිමිවරුන් යටතේ ජනතාවගේ ආගමික කටයුතු ඉටුකර ගැනීම සඳහා සුදුසු ලෙස පරිසරය සකස් කර ඇත.

වත්මන් විහාරාධිපතීන් වහන්සේ වන්නේ කහවත්ත මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී වටරක්ගොඩ ඥාණසිරි හිමියන් ය. විහාරාධිකාරි හිමියන් වහන්සේ, නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතන පිරුවෙනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති ඕමාරේ පුඤ්ඤසිරි හිමියන් ය.

මෙම බුද්ධ පුත්‍රයන් වහන්සේ දෙනමගේ අප්‍රතිහත ශක්තිය මත කහවත්ත පුරාණ රාජමහා විහාරය ආගමික කටයුතු සඳහා විහාරස්ථානයකට තිබිය යුතු අංගෝපාංගයන්ගෙන් සමන්විත විහාර පින්බිමක් ලෙස සංවර්ධනය කර ඇත.