Print this Article


සිල් රැකිය යුතු ඇයි?

සිල් රැකිය යුතු ඇයි?

රාත්‍රිය උදා වෙන්නේ ජීවත් වීමට තිබූ දහවලක් අහිමි කරගෙන. උදෑසන උදාවෙන්නේ ජීවත් වීමට තිබූ රාත්‍රියක් අහිමි කරගෙන. බලන්න, රෑ දහවල ගතවෙනවා. අවුරුද්දකට දින 365ක් තිබෙනවා. මේ දින සියල්ලම සමහරවිට අපි නො වටිනා දේවලට යටකර දමනවා විය හැකියි. එක එක දෙයට අවධානය දී කාලය අහිමි කර දමනවා. මුළු අවුරුද්දට ම පසළොස්වක පෝය දින 12 යි උදා වෙන්නේ. යම් පුද්ගලයෙක් වසරක් පුරා කරන සියලුම කටයුතු පෝ දිනට අතහැරලා එදිනට උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන්වීමට වෙන් කළා කියල හිතමු. ඔහු මුළු වසරට ම උපෝසථ සීලය සමාදානයට වෙන් කරන්නේ දින 12ක් පමණයි. දින 365කින් දින 12 වගේ අඩු කාලයක් තමා උපෝසථ අෂ්ඨාංගයට වෙන් කරන්නේ. බොහෝ දෙනෙක් ඒ දින 12 ම සම්පූර්ණ වන තුරු සිල් සමාදන් වෙන්නෙත් නැහැ. එනිසා හිතන්න, අපේ ජීවිතයට වටිනා සීලය කෙ තරම් වේගයෙන් අපට මඟහැරී යනවා ද?

ජීවිතයේ නොයෙක් කටයුතු අතරේ අපි උනන්දු වෙනවා නම් උපෝසථ සීලය රකින කෙනෙක් වෙන්න ඒක කොතරම් සුන්දර ද? මේ ජීවිතයේ අපිට මේ මිනිස් ලෝකයේ ඉතාම කෙටි කාලය යි ජීවත්වෙන්න අවස්ථාව තිබෙන්නේ. එනිසා මාසයකට එක දිනක් උදාවෙන පෝ දින අමතර වැඩවලට යොමු කරන්න එපා. මේ පෝ දින සිල් සමාදන් නොවී ඊළඟ පෝයට සිල් සමාදන් වෙන්න අපට කරන්න පුළුවන් දෙයක් වෙන්නත් පුළුවන්. බැරිවෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා, අද අදම මේ මොහොතේ ම යහපතේ ම යෙදෙන්න කියලා. මරණය කියන දේ ඊළඟ මොහොතේ පැමිණිය නොහැකියි කියලා කාටනම් කිව හැකි ද? ඇයි අප සිල්වත් විය යුත්තේ.? බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, සීලය තිබෙන්නේ පිරිසුදු ජීවිතයක් උදෙසායි. පසුතැවෙන දේ නො කරන්නයි. එනිසා සීලය ඔබත් මේ මොහොතේම පටන් පුරුදු කරන්න යනුවෙන්උන්වහන්සේ වදාළා.