Print this Article


කෙනකුගෙන් කෙනකුට ඇයි මෙතරම් වෙනසක්

කෙනකුගෙන් කෙනකුට ඇයි මෙතරම් වෙනසක්

තරගකාරි වත්මන් සමාජය දෙස බැලීමේ දී මිනිසුන් අතර නොයෙක් ආකාරයේ උස් මහත්කම්, වෙනස්කම් දක්නට ලැබෙන බව අපට පෙනෙනවා. එසේම සමහර අය බොහෝ කල් ජීවත් වෙනවා. සමහර අය අඩු වයසින් මිය යනවා.

සමහර අය බොහොම නිරෝගීව සිටිනවා. සමහර අය රූප සොබාවෙන් ඉතාමත් ලස්සනයි. සමහර අය උසස් කුලවල මහේශාක්‍යව උපදිනවා. සමහර අය පහත් කුලවල අන්ත දුක්ඛිතව උපදිනවා. සමහර අය ප්‍රඥාවන්තයි. තවත් අය දුෂ්ප්‍රාඥයි. මේ ආකාරයට මිනිසුන් තුළ විවිධත්වයක් ඇතිවන්නේ ඇයි? යන ප්‍රශ්නය ඔබට ද නිරන්තර සිතෙන්නට ඇති.

මෙවැනි ප්‍රශ්න රාශියක්, බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන කාලයේ දවසක් තෝදෙය්‍ය කියන බ්‍රාහ්මණයාගේ පුතා වන සුභ නමැති තරුණයාට ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මුණගැහිලා සුහද පිළිසඳරකින් පසුව බුදුරජාණන් වහන්සේගෙන් “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් අතර නොයෙක් උස් – පහත්කම් වෙනස්කම් දකින්න ලැබෙනවා. සමහරු බොහෝ කල් ජීවත් වෙනවා. සමහරු අඩු වයසින් මැරෙනවා. යනාදී වශයෙන් උන්වහන්සේගෙන් අසන අතර ‘මෙවැනි වෙනස්කම් ඇතිවන්නට හේතු වන කරුණු මොනවාද?” කියා අසනවා. ඒත් සුභ තරුණයා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත්වෙලා හිටියේ නැහැ.

බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා “පින්වත් තරුණය, සියලු සත්ත්වයෝ තමාගේ දේ කරගෙන සිටින්නේ කර්මයයි. කර්මය, උප්පත්ති ස්ථානය කරගෙන, කර්මය ම දායාද කරගෙනයි ඉන්නේ. කර්මය තමයි හැමෝගේම නෑදෑයා. කර්මය පිළිසරණ කරගෙනයි මේ සියලු දෙනා ජීවත් වෙන්නේ. අන්න ඒ කර්මය විසින් තමයි මේ සත්ත්වයින් අතර උස් පහත්කම් ඇති කරලා තියෙන්නේ.

සුභ තරුණයාට මෙය එතරම් තෙරුම් ගියේ නැහැ. සුභ තරුණයා කියනවා” අනේ පින්වත් ගෞතමයන් වහන්ස, කෙටියෙන් කියන ලද එම කාරණය, මට හරියට තේරුණේ නැහැ. ඒ නිසා විස්තර වශයෙන් කියලා දෙනවා නම් මම හරි කැමතියි.”

එවිට බුදුරජාණන් වහන්සේ “එසේ නම් පින්වත් සුභ අහන්න, මම ඒ කාරණය විස්තර වශයෙන් කියලා දෙන්නම්” කියලා සුභ තරුණයා ඇතුළු සැම දෙනාටම මේ දේශනාව වදාළා.

පින්වතුනි, මේ ලෝකයේ, ඇතැම් මිනිස්සු ඉන්නවා රුදුරු අය, අත්වල ලේ ගාගෙන නොයෙක් ආයුධ ඇතිව සතුන් මරනවා. සතුන් ගැන ඔවුන්ට අනුකම්පාවක් නැහැ. ඔය විදියට ජීවත් වෙන මිනිස්සු ඒ කර්මය හේතුවෙන් මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකයේ ඉපදුණොත් අඩු වයසින් මරණයට පත් වෙනවා.

මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා සතුන් මැරීමෙන් වැළකිලා. අවි– ආයුධ අත ඇරලා සියලු සතුන් කෙරේ අනුකම්පාවෙන් ඉන්න. සතුන් මරන්න ලජ්ජයි බයයි. ඔය විදියට ජීවත් වෙලා ඒ කර්මය හේතුවෙන් මරණින් මතු සැප සම්පත් සහිතව දෙව්ලොව උපදිනවා. යම්කිසි හේතුවකින් මිනිස් ලෝකයේ ඉපදුණොත් දීර්ඝායුෂ ලබනවා.

මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා අත – පයින්, ගල් – මුගුරුවලින් ආදියෙන් සතුන්ට හිංසා පීඩා කිරීමෙන් ජීවත් වෙන අය. ඒ විදියට ඔවුන් රැස්කරන කර්ම හේතුවෙන් මරණින් මතු දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකයේ ඉපදුණොත් නිතරම නොයෙක් ලෙඩ රෝගවලින් පීඩා විඳිමින් ජීවත් වෙන්නට සිදු වෙනවා. කොයි මොහොතේ බැලුවත් මොකක් හරි අසනීපයකින් පීඩා විඳිනවා.

මේ ලෝකයේ ඇතැම් අය ඉන්නවා අත පයින් හෝ පොලු මුගුරුවලින් ආයුධ ආදියෙන් හෝ සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකී ජීවත් වෙනවා. එසේ රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ සැප විපාක සහිත වූ සුගතිය නම් වූ දිව්‍ය ලෝකයේ උපදිනවා. මිනිස් ලෝකයේ ඉපදුණොත් නිතරම ඉතාම නිරෝගී ජීවිතයක් ලබනවා.

මේ ලෝකයේ ඇතැම් අය නිතරම ඉන්නේ තරහ ගිහින්. ඉතාම පොඩි දේකටත් ගොඩාක් තරහ ගන්න බලාගෙන ඉන්නේ. නිතරම වෛරයෙන්, තරහින්, තදගතියෙන් පිරිලා ඉන්නේ. සිත් තැවුලෙන් ජීවත් වෙනවා.

ඔවුන් ඒ විදියට රැස්කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලොව ඉපදුණොත් දුර්වර්ණ වූ කැත රූපයක් තමයි ලබන්නේ.

මේ ලොව සමහර මිනිස්සු ඉන්නවා වෛරයෙන් පිරිලා නෑ, සුළු දේටත්, ලොකු දේටත් තරහ ගන්නේ නැහැ. නොසතුටු බවක් දක්වන්නෙත් නැහැ. අන් අයගේ වැරැදිවලට සමාව දෙමින් සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් වාසය කරනවා. එසේ රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ සැප විපාක සහිත වූ සුගතියේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකේ ඉපදුණොත් ඉතා ලස්සන, සිත් ඇදගන්නා සුළු රූපයක් ලබනවා.

මේ ලෝකයේ ඉන්න ඇතැම් මිනිස්සු අනික් අයගේ යහපතට ඊර්ෂ්‍යා කරනවා. විශේෂයෙන්ම තමන් අකැමැති අය හොඳ ජීවිත ගත කරනවාට ඒ අය කැමැති නැහැ. එමෙන්ම ඔවුන් තමන්ට නැති ගෞරව, ලාභ සත්කාර, වැඳුම්, පිදුම්, කීර්ති – ප්‍රශංසා ලැබීම ගැන නොසතුටෙන් ඉන්නවා. ඒ ආකාරයට රැස්කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ දුක් – විපාක සහිත වූ අපායේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකේ ඉපදුණොත් හරියට කෑමක් – බීමක් නැතිව දුගී දුප්පත් පවුල්වල උපත ලබලා ජීවිතය ගෙවන්න සිද්ධ වෙනවා.

මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු දන් දෙන්න සැදී පැහැදී ඉන්නවා. ලෝභකමින් තොරව තියෙන පොඩි දෙයක් හරි සිතේ පැහැදීමෙන් දෙනවා. තමන්ගේ දේ අනුන්ට දීමෙන් සතුටු වෙනවා. එසේ රැස් කරන කර්ම හේතු කොටගෙන මරණින් මතු සුගතියේ උපදිනවා. මනුස්ස ලෝකයේ ඉපදුණොත් යාන වාහන, සේවකයන්, සුව – පහසු නිවාස, මිල – මුදල් බොහෝ තිබෙන පොහොසත් පවුල්වල උපත ලබලා ජීවත් වෙනවා.

මේ ලෝකයේ ඇතැම් මිනිස්සු ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැහැ. සිතට අරන් දැඩි මාන්නයෙන් සිටිනවා. පිදිය යුත්තන් පුදන්නේ නැහැ. ඒ විදියට රැස්කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරිවෙලාවත් මනුස්ස ලෝකේ ඉපදුණොත් හීන කුලයේ උපත ලබනවා.

මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා ගරු කළ යුත්තන්ට ගරු කරනවා. සත්කාර කරනවා. නිහතමානීව ඉන්නවා. පිදිය යුත්තන් පුදනවා. එසේ රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ ඔවුන් සුගතියේ උපදිනවා. බැරි වෙලාවත් මනුස්සස ලෝකේ ඉපදුණොත් උසස් කුලවල උපත ලබනවා.

මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ දැනගත යුතු දේවල් සේරම මම දන්නවා. තවත් දැනගන්න දෙයක් නැහැ කියලයි. ආර්ය මහා සංඝරත්නය මුණගැහිලා කුසල් – අකුසල් පිළිබඳ,හොඳ, නරක ගැන යහපත – අයහපත ගැන, දන්නා – නොදන්නා දේ ගැන දැනගන්න උනන්දු වෙන්නේ නැහැ. තමන් නොදන්නා බවවත් දන්නේ නැහැ. ඔය විදියට රැස් කරන කර්මය මරණින් මත්තේ විපාක ඇති අපායේ උපදින්න හේතුවෙනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකයේ ඉපදුණොත් කියන දේ නොතේරෙන දුෂ්ප්‍රාඥ මෝඩ කෙනෙක් වෙනවා.

මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා. ඒ අය පින්වත් ස්වාමීන් වහන්සේලා මුණගැහිලා තමා නොදන්නා දේ අසා දැනගෙන තමාගේ යහපත පිණිස පවතින දේ මෙන් ම තමාගේ අයහපත පිණිස පවතින් දේත්, කුසල් මෙන්ම අකුසල් ගැනත්, තමා නොදන්නා දේ ගැනත් අසා දැනගෙන ඒ අනුව කටයුතු කරනවා. ඒ ආකාරයෙන් රැස්කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ ඔවුන් සැප විපාක දෙන සුගතියේ උපදිනවා.

බැරි වෙලාවත් මිනිස් ලොව ඉපදුණොත් වහා වැටහෙන නුවණ ඇති අදාළ දේ සුදුසු වෙලාවේ දී තේරුම් යන ප්‍රඥාවන්තයෙක් ලෙස උපදිනවා.

පින්වත් සුභ, ඔය ආකාරයෙන් මම දේශනා කළේ සියලු සත්වයෝ තමාගේ දේ කරගෙන සිටින්නේ කර්මයයි. කර්මය උප්පත්ති ස්ථානය කරගෙනයි දායාදය කරගෙනයි ඉන්නේ. කර්මය තමා හැමෙගේම නෑදෑයා. කර්මය පිළිසරණ කරගෙන මේ සියලු දෙනා ජීවත් වෙන්නේ. අන්න ඒ කර්මය විසින් තමයි මේ සත්ත්වයින් අතර උස් පහත් වූ විවිධ වෙනස්කම් ඇති කරන්නේ.

මෙය අසා සිටි සුභ මානවක භාග්‍යවතුන් වහන්ස, ඉතා පුදුමයි. හරිම ආශ්චර්යයි.

යටිකුරුව තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ, වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගේ, අතරමං වෙලා හිටපු කෙනකුට පාර පෙන්නුවා වගේ, කළුවරේ සිටින අය රූප දකිත්වා කියලා තෙල් පහනක් පත්තු කළා වගේ, මම අද පටන් බුදුරජාණන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් දිවි හිමියෙන් සරණ යනවා'යි තේරුවන් සරණ ගියා.