සම්ප්‍රදායෙන් හා දහමෙන් උරුම වූ
පින්කම
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි,
ශාස්ත්‍රපති
බොරලැස්ගමුවේ පේමරතන හිමි
දාන යන්නෙහි අර්ථය දීමයි. කරුණාවෙන් හා ගෞරවයෙන් සිදුකෙරෙන පරිත්‍යාග දානයයි.
ආරම්භක යුගයේ සිටම බොහෝවිට සිල්වත්, ගුණවත් උතුමන්ගේ පැවැත්ම සඳහා ආහාර, චීවර ආදිය
පරිත්‍යාග කළේ උන්වහන්සේලා කෙරෙහි ඇති ගෞරවය හා කරුණාව නමැති උතුම් මානුෂීය ගුණාංග
පාදක කරගෙන ය.
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි ධර්ම ප්‍රචාරක කටයුතුවල නියුතු තම ශ්‍රාවකයන්ට
ගිහි පින්වතුන් ආමිස දානයෙන් සංග්‍රහ කළේ උන්වහන්සේලා කෙරෙහි ගෞරවය, කෘතවේදීත්වය
ප්‍රකාශ කිරීමටයි.
“ගිහීනමුපකරොන්තානං -
නිච්චමාමිස දානතො
කරොථ ධම්ම දානේන -
තෙසං පච්චුපකාරකං”
යනුවෙන් භික්ෂුහු ධර්මය නැතහොත් ආමිස දානයෙන් සිදුකෙරෙන සත්කාරයට ප්‍රතිඋපකාර ලෙස
ගිහි පින්වත්තු ආමිස දානයෙන් සංග්‍රහ කරති.
බුදුසමය පහළ වූ සමයේ භාරතිය පසුබිම තුළ එහි සංස්කෘතිය පසුබිම් කරගත් විවිධ යාග හෝම
හා පුද පූජා පැවැති බව පාලි සූත්‍රානුගත ත්‍රිපිටකය තුළින් ප්‍රකට වේ. මේවා බොහෝ
දුරට පැවැත්වුයේ මියගිය අය වෙනුවෙනි. එකී සමාජය තුළ නව්‍ය වූ දර්ශනයන් හඳුන්වාදීමේ
දී සමාජය තුළ පැවති එවැනි පුද පූජා සම්පූර්ණයෙන් බැහැර නොකළ බුදුරජාණන් වහන්සේ ඒ
වෙනුවට නව අර්ථ විවරණ තුළින් උපදේශන ක්‍රියාවලියේ යෙදුනහ. ධර්ම ම ය පදනමකින් යුතුව
සිදුකළ එවැනි උපදේශනයක ප්‍රතිඵලයක් ලෙසට මළගිය අය සඳහා කරන යාග හෝම වෙනුවට
ශ්‍රමණයන්ට දන් දී පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය බුද්ධ කාලයේ දී පැවති බවට ඛුද්දක
නිකාය තුළ ඇති චිරං ජීවන්තු නො ඤාති යෙසං හේතු ලබාමසේ, අම්භකඤ්ච කතා පූජා - දායකාච
අනිප්ඵලා යන ගාථාවෙන් පැහැදිලි වෙයි.
කරුණාව බුදු දහමේ ඉගැන්වෙන යහපත් ගුණාංගයකි. කරුණාව අප පැතිරවිය යුත්තේ ජීවත්ව
සිටින අයට පමණක් ම නොවේ. මියගිය අය වෙනුවෙන් ද ගුණානුස්මරණය සිදුකරනුයේ ද කරුණාව
නමැති උතුම් ගුණය පෙරදැරි කරගෙන යි, පුනර්භව සංකල්පය ජනපි‍්‍රයවීමත් සමඟම දුගතිගාමී
පරලොව ගිය ඥාතීන්ට එම ආත්ම භාවයෙන් මිදි සුගතිගාමී වීම සඳහා පින්දීම ථේරවාද, මහායාන
සම්ප්‍රදාය දෙකෙහි ම සිදුකෙරෙනු ලබයි. දානයක් පූජා කිරීමෙන් කරුණාව නැමැති බෞද්ධ
මූලධර්මය ද සම්පූර්ණ වන අතර ත්‍රිපිටකයේ පේතවත්ථුපාලියෙහි එය සඳහන් වන්නේ “සො ඤාති
ධම්මෝච අයං නිදස්සිනො - පේතාන පූජා කතා උළාරා යනුවෙනි.
ඕනෑම යහපත් කටයුත්තක දී අප බලාපොරොත්තු වන්නේ කීර්තිය හා ප්‍රශංසාවයි. එය බෞද්ධ මූල
ධර්මයට ද අනුගත වූවකි. දානය ප්‍රදානය තුළින් ද තමන් අපේක්ෂා කළත් නොකළත් කීර්තිය,
ප්‍රශංසාව හා හොඳ නම දිනා ගැනීමට හැකියාව ලැබේ.
අග්ගස්මිං දානං දදතං -
අග්ගං පුඤ්ඤං පවඩ්ඪති
අග්ගං ආයුංච වණ්ණෝච -
යසෝ කිත්තිං සුඛං බලං
යනුවෙන් අංගුත්තර නිකායේ දක්වා ඇත්තේ එම කාරණයයි.
දානය දීම තුළින් සතුට හා සන්තෝෂය ලබා ගත හැකි බව බුදුදහමේ ඉගැන්වෙන තවත් මූල
ධර්මයකි. සතුට යනු බුදුසමයෙහි පරම ධනයක් ලෙස ද හැඳින්වේ.
“සන්තුට්ඨි පරමං ධනං”
එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය පිණිස සතුට අත්‍යවශ්‍ය ය. විශේෂයෙන් අභිචාර විධියක්
ලෙසින් දානය ආශ්‍රයෙන් පුද්ගලයාට සතුට ලබාගත හැකි බව ප්‍රකාශ වී ඇත්තේ ගිහියන් බහුල
වශයෙන් සතුට පිණිස අනුගමනය කරන අසාර්ථක හා අහිතකර කටයුතු නිසා ය.
එනම් නොකල්හි වීථි සංචාරය, සුරා පානය, ස්ත්‍රී ලෝලත්වය, දූකෙළිය වැනි ක්‍රියා
බුදුසමය විසින් බැහැර කර ඇත. ඒ වෙනුවට දානය වැනි පුණ්‍ය ක්‍රියා නිසා ලබන නිරාමිස
පී‍්‍රතිය ප්‍රාණ චිකිත්සාවක් ලෙසට සතුටක් ලබා දෙයි. එතුළින් මෙලොව පරලොව දෙකෙහි දී
ම සතුටු වෙයි.
දානය දීමෙන් කිසි විටෙකවත් අනුතපනය වීම සිදු නොවේ. අනුතපනය යනු යම් ක්‍රියාවක්
සිදුකිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව වන මානසික තැවීමයි. ප්‍රතිඵලය තැවීම නම් එබඳු
ක්‍රියා සාධු සම්මත නොවේ. “තතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති” යනුවෙන් එකී
මූලධර්මය බුදුසමයෙහි දක්වා ඇත.
බටහිර ආචාර ධර්ම න්‍යායන් අතර ඉතා ප්‍රචළිත මතයක් වන ඵලවාදය (Pragmatism)
යනුවෙන් එය හඳුන්වා ඇත. ඕනෑම ක්‍රියාවක ප්‍රතිඵලය යහපත් වන්නේ මුල, මැද, අග යන
අවස්ථා තුනෙහිම සිතිවිලි යහපත් වීම තුළින් ය. දානය යනු බුදුසමයේ උගන්වන නානුනාපන
න්‍යාය හා ආදි මජ්ඣපරියෙසාන කළ්‍යාන න්‍යාය ප්‍රකට කරන කාරණයකි. අංගුත්තර නිකායේ ඒ
බව දක්වා ඇත්තේ,
පුබ්බේව දාතා සුමනා -
දදං චිත්තං පසාදයේ
දත්ථා අත්තමනෝ හෝති -
ඒසං යඤ්ඤස්ස සම්පදා යනුවෙනි.
ඇතැම් පූජාවිධීන් අපට උරුම වී ඇත්තේ සම්ප්‍රදාය තුළින් ය. එහෙත් දානය සම්ප්‍රදාය හා
බුදුසමයෙන් අපට උරුම වූ පින්කමකි. අතීතයේ පමණක් නොව අනාගත ලෝකයේ ද විවිධ පරිසරයන්ට
අනුගතව දානමය පින්කම අදත් බොහෝ පිරිස් සිදුකරනු ලබන්නේ කාලානුරූපව හෝ දේශානුරූපව ඒ
ඒ සංස්කෘතීන්ට අනුව විවිධ ස්වරූපයෙන් සංවර්ධනය වූ නිසයි. මජ්ක්‍ධිම නිකායේ අරණවිභංග
සූත්‍රයේ දද “සමඤ්ඤං කතිධාව්‍යෙය” යනුවෙන් දේශනා කොට ඇති පරිදි සමාජ සම්මුතිය
නොඉක්මවාගිය පින්කමක් ලෙසට දානමය පින්කම් පෙන්වාදිය හැකි ය. සමාජ විරෝධයක් මතු නොවන
අයුරින්, භාවනා ආදී දුෂ්කරතාවකින් තොරව සමාජ ජීවිතයේ අනෙක් කටයුතු රැසක් මැද වුව ද
දානමය පින්කමක් කළ හැකි බැවින් එය බුදුදහම අනුමත බහුජන සම්මතයට අනුගත වූවකි.
දානයක් දීමේ දී ආධ්‍යාත්මික වශයෙන් වැදගත් වන්නේ නිර්වාණාවබෝධයට පටහැණි සසර ගමන
දිගු කරන ලෝභ, ද්වේෂ, මෝහ, අකුසල, සිතිවිලි අඩු කිරීම ය. දානය පුරුද්දක් වශයෙන්
පැවැත්වීමේ දී සිතෙහි එම කෙලෙස් අඩු වීමට හුරු වේ. කෙලෙස් අඩු කිරීම ක්‍රම 3කි.
බෞද්ධ න්‍යාය ධර්මයක් වන එය තදංග, වික්ඛම්භන, සමුච්ඡේද න්‍යාය වේ. විශේෂයෙන් ගිහි
ජනතාවට ලෞකික ජීවිතය ගත කරමින් කෙලෙස් නැසීමේ පිළිවෙත සෘජුව හා වහා සිදු කළ නොහැකි
ය. නිසි ක්‍රමවේදයක් තිබිය යුතු ය. එනම් අකුසල මූල ධර්ම තාවකාලික, කාලීන හා
සම්පූර්ණ යනාදී ලෙසට යටපත් කිරීමයි. දානය දීම තුළින් සංසාරික ගමනට බලපාන ලෝභාදී
අකුසල ධර්ම යටපත් කර ඊට ප්‍රතිවිරුද්ධ අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල සිතිවිලි සන්තානය
තුළ වර්ධනය වේ. පරිණාමයක් හෙවත් මුහුකුරා යාමක් වශයෙන් කිසියම් දිනක එම කෙලෙස්
සහමුලින් ම තම සිතින් උදුරා දැමීමට උපකාරී වේ. “පරිනාමචසෙහෙච හෝතු මොක්ඛුප නිස්සයං”
යනු ඒ ධර්ම කාරණයයි.
බුදුසමයට අනුව සියලු දුක්ඛයන්ට පදනම වන්නේ වින්දනය හෙවත් එහි සංවර්ධනයක් වන
තණ්හාවයි. තණ්හාව නිසා උපාදාන හෙවත් දැඩිව ග්‍රහණය කරයි. ඒ නිසා නැවත නැවත භව,
ජාති, ජරා, මරණ, තත්ත්වයන්ට පත්වේ. එසේ නම් ඒ තුළ විරාගයක් ද ඇති නොවේ. රාගය,
තණ්හාව විසින් ඇතිවන උත්තේජනය තුළින් අසහනය උදාවේ. අසහනය තුළ උපසමය හෝ සංසිඳීමක් ද
ඇති නොවේ. තෘෂ්ණාව දුරුකල කල්හි නිර්වේදයක්, විරාගයක් සංසිඳීමක් ඇතිවේ. දානය තුළින්
ලැබෙන වැදගත්ම ප්‍රතිඵලය වන්නේ එකී තත්ත්වයයි. එම තත්ත්වය නිබ්බිදාය, විරාගාය,
උපසමාය යන වැදගත් මූලධර්මයයි. ඒ අනුව දානය යනු බුදුදහමේ ඉගැන්වෙන බෞද්ධ මූලධර්ම
රැසක් ප්‍රායෝගිකව සිදුකිරීමට උපකාරී වන මහානීය පින්කමකි. |