[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවන ප්‍රාර්ථනාවක් පමණ ද ?

නිවන ප්‍රාර්ථනාවක් පමණ ද ?

ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සියලු දෙනා විසින් ම ලෝකෝත්තර ධර්ම මාර්ගයේ දී සමාන විය යුත්තේ ය. මේ නිසා අවබෝධයෙන් යුතුව එදිනෙදා කටයුතුවලදී සතර සතිපට්ඨානයේ පෙන්වා දෙන සිහිය පවත්වාගෙන ආශ්‍රව ධර්මයන්ගේ සන්සිඳීම පිණිස ප්‍රධන් වීර්යය වැඩිය යුත්තේ ය.

බොහෝ පිරිසක් ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය වීමට සිහිය සහ නුවණ දියුණු කර ගැනීමකින් තොරව සිරිත් විරිත් පමණක් අනුගමනය කරමින් සිටින බව පෙනේ. එසේ කරමින් චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධය සහ නිවන ප්‍රාර්ථනාවන්ට පමණක් සීමා කරති.

මේ නිසා බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා නමින් පෙනී සිටින ගිහි පැවිදි දෙපාර්ශ්වය ම අභ්‍යන්තර ප්‍රත්‍ය හෙවත් ආධ්‍යාත්මික ප්‍රත්‍ය නිතර මෙනෙහි කළ යුත්තේ ය. තම අභ්‍යන්තරයෙහි සකස් වෙන මූල හේතූන් මනාව හඳුනා ගත්විට පහසුවෙන් ම ඵලයන් ලෙස උපදින්නා වූ කුසලාකුසල ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගත හැකි වන්නේ ය. එහිදී අකුසල ධර්ම බැහැර කොට යථාවබෝධය පිණිස කුසල ධර්ම උපකාර කොට ගත හැකි වන්නේ ය. එනම් තණ්හා, කෙලෙස් , ආශ්‍රව අකුසල ආදී විවිධ වචනවලින් හඳුන්වන චිත්ත චෛතසික ස්වභාවය විපාක කර්ම නොවන ස්වභාවයට පත්කර ගැනීම ය.

පැවිද්දාගේ ඒකායන අරමුණ හෝ අරමුණු සකස් විය යුත්තේ එම අදහස මත පිහිටා ය. එයට හේතුව නම් පැවිදි ජීවිතයට පත්වන්නේ “සබ්බදුක්ක නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය” සියලු දුක් නිමා කොට නිවන් අවබෝධය පිණිසය නම් වූ අධිෂ්ඨානයෙනි. එසේ නොවන්නේ නම් මූලිකවම ඇතිකර ගත් ආධ්‍යාත්මික පොරොන්දුව බිඳ ගත්තෙකි. ගෘහස්ථ ජීවිත ගත කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් තෙරුවන් සරණ යාම සමඟින් ම ආධ්‍යාත්මික පොරොන්දු මත පිහිටා සිටින්නේ ය. මේ අනුව භවය සසර පැවැත්ම සහ දැනට ලබා ඇති මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය යම් වූ ද ආකාරයකින් අනුක්‍රමයෙන් අවබෝධ කරගත යුතු වන්නේ ය. එනම්, මෙම ජීවිත ගමනේ දී ජරා මරණ, සෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී දුක්ඛයන්ට මුහුණ දීමට ඇති සම්භාවිතාවයි. එනම් මෙම දුක් උරුමයෝ ය. එනමුත් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නම් මෙම දුක්ඛයන්ගෙන් නිදහස් විය හැකි වන්නේ ය.

පරමාර්ථ ධර්ම අවබෝධය නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියලු ඵල, විපාකයෝ ඒ හේතු ප්‍රත්‍යයන්ගේම විසිර යාමෙන් නැතිව යන්නෝ ය. මේවා හඳුන්වන්නේ සංඛත ධර්ම ලෙස ය. සවිඤ්ඤාණක අවිඤ්ඤාණක සියලු වස්තූහු ම මෙම සංඛතයන්ට අයත් ය.

සංඛතයන්ට ඇතුළත් නොවන කිසිවක් ලොව නැත. මේ සියලු සංඛතයන්ගේ හටගැනීම සහ නැතිව යාම තවත් ආකාරයකට විස්තර කරන්නේ නම්, මේ සියලු සංඛත ධර්මයෝ අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණයට යටත් ය. මේ නිසා සම්මුතියට අනුව ලෝක පැවැත්මේ දී මම, මාගේ යැයි පණ ඇති හෝ පණ නැති වස්තූන් පරිහරණය කළත්, පරම සත්‍ය වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් මම හෝ මගේ නොවන්නේ ය.

මේ අවබෝධයෙන් යුතුව ජීවිත පැවැත්මේ දී කර්ම සකස් නොවන ආකාරයෙන් චිත්ත චෛතසික පවත්වන්නේ නම්, මේ ජරා මරණ මුල් කරගත් සියලු දුක් නිමා කර ගන්නට අවස්ථාව සලසා ගන්නේ ය. බොහෝ පිරිසක් පින්කම් නමින් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් තොරව කායික සහ වාචසික ක්‍රියාවලියක යෙදී සිටිති. සැප විපාක යම් වූ ද ආකාරයකින් ලබා දෙන උපධි සකස් වුව ද දුක් නිමා කරන පරමාර්ථ ධර්ම අවබෝධය අවශ්‍ය ය, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස උපකාර නොවන්නේ ය.

මේ නිසා ගිහි පැවිදි දෙපාර්ශ්වයට එදිනෙදා ජීවිතයේ සෑම කාර්යයකම පරමාර්ථ ධර්මයන්ට යටත්ව සම්මුතියෙන් පිහිටා ක්‍රියා කිරීම පිළිබඳ අවබෝධයක් අවශ්‍ය ය. මෙය ධර්ම මාර්ගය අනුගමනය කිරීමට කැමති සියලු දෙනා විසින් ප්‍රඥාවෙන්, ප්‍රධන් වීර්යයෙන් සහ සති සම්පජඤ්ඤයෙන් යුතුව අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතයි.

පවුල් පරිසරයේ පටන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතකි. මෙය දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධයට පූර්ව නිමිති හෙවත් පූර්ව සමාධි නිමිති ලෙස උපකාර කර ගත යුත්තේ ය. එසේ නොමැති වීමෙන්, බොහෝ පිරිස් සිතන්නේ එකවිටම ශරීරයේ මහා වෙනසක් සිදුවන්නාක් මෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය පහළ වන බවයි. එය එසේ නොවේ. සෑම මොහොතක ම සතර සතිපට්ඨානයේ පෙන්වා දෙන ආකාරයෙන් සිත, සිහිය පිහිටුවා ගනිමින් පුහුණු කළ යුතු පිළිවෙත් මාර්ගයකි. ජීවිතය නම් වූ ස්කන්ධ පඤ්චක ලෝකය පිළිබඳ අනුපූර්ව ක්‍රමයෙන් අවබෝධයක් ඇතිකරගත යුතු වන්නේ ය.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පඤ්චකය, හේතුඵල දහමට යටත් කොට දැකිය යුතු වන්නේ ය. එනම් හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස් වූයේ ද එම හේතූන්ගේම විසිර යාමෙන් රූපය ද, වේදනාවෝ ද, සඤ්ඤාව ද, සංඛාර ද විඤ්ඤාණය ද නැතිව යන්නේ ය. සෑම මොහොතක් පාසා ම මෙම හටගැනීම සහ නැතිව යාම සිදුවෙයි. හටගෙන නැතිවන විටම එය ඇසුරු කරගෙන නැවත හටගැනීම සිදුවෙයි. ක්ෂණයකින් නැතිව යයි.

මෙය පියවි දෑසින් නොව මනසින් අවබෝධ කරගත යුතු සිද්ධාන්තයකි. ගලන්නා වූ ගඟක් ඈතට එකතැනකම පවතින්නා සේ දුටුව ද එම ගඟ ගලන්නේ ය. ගලා යන්නේ ය. ස්කන්ධ පඤ්චකය ද මේ අයුරින් ම ඒ නුවණට හසුකර ගත යුතු වන්නේ ය.

එදිනෙදා ජීවිතයේ දී නින්දට පෙරාතුව ඔබේ රූපය දෙස පියවි දෑසින් දකින්න. ආධ්‍යාත්මික ඇස හෙවත් පරමාර්ථ ධර්මය පුහුණු කරන දහම් ඇසින් ද මෙනෙහි කරමින් දකින්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ සතර මහා ධාතූන්ගෙන් සමන්නාගත මේ රූප කාය ජරා, ව්‍යාධි, මරණයට යටත් ය. මේ මොහොතෙහි පි‍්‍රයකරුව පැවතියත් දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් ය. නිතොර දොරටුවලින් එළියට ගලනා අපවිත්‍රබවින් යුතු ය.

මේ නිසා නිතර සෝදා පිරිසුදු කළ යුතු වන්නේ ය. මොනතරම් මා කැමති වුවත් මා කැමති පරිදිම නොපවත්නේ ය. මෙය නිත්‍ය නොවන බව, හැමදා සුවයක් නොවන බව, මා කැමතිම පරිදිම නොපවත්නා බව මම දනිමි. සම්මුති පැවැත්මෙහි පිරිසුදු කොට වස්ත්‍රාභරණාදියෙන් සරසා, සුවඳ විලවුන් ගල්වා රසවත් ආහාර ලබා දී ඉරියව් පැවතිවුවත් මා කැමති පරිදිම පවත්වා ගත නොහැකි ය.

මේ පැවැත්ම ද තාවකාලික ය. විඤ්ඤාණය ස්කන්ධ පඤ්චකයෙන් ඉවත් වූයේ ද මම, මගේ නම් වූ සම්මුති වන්නේ ය. සම්මුති පැවැත්මෙහි පිරිසිදුව ප්‍රසන්නව ඔවුනොවුන් කෙරේ යුතුකම් කරමින් ජීවිතය පවත්වමි. එනමුත්, පරම සත්‍ය වශයෙන් මම, මගේ නොවන බව ද, මම නම් ස්ථිර යමෙක් නොමැති බව ද සියල්ලම හටගැනීම සහ නැතිව යාමට යටත් බව උරුම බව අවබෝධ කර ගනිමි. මේ නිසා කිසිවෙක් හෝ කිසිවක් කෙරේ දැඩිව නොඇලෙන්නටත්, වෙනස්වන තැන හෝ අකමැති අරමුණේ දී පටිඝය නම් වූ තරහව උපදවා නොගන්නටත් සිත පුහුණු කරයි.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]